තරිදු උඩුවරගෙදර
ප්‍රියා සූරියසේන කියන්නේ සංගීත ලෝකයේ අහිංසකම මනුස්සයෙක්. ඔහුට පසුගිය සතියේ සුමති සම්මාන උළෙලේදී දුන්න උපහාරය හැමෝවම සංවේදී කළා, එදා සිට අද දක්වා අන්තර්ජාලය තුළ ප්‍රියා ගැන සංවාද, ප්‍රියාගේ ගීත හුවමාරු කිරිම් විතරක් නෙවෙයි ගුවන්විදුලි නාළිකාවලත් ප්‍රියාගේ ගීත වැඩි වැඩියෙන් වාදනය වීම දක්නට ලැබුණා.
අපි ගෙවා දැම්මේ ප්‍රියා වසන්තයක්. ඇත්තටම මනුස්සයෙක් ජීවත්වෙද්දීම එවැනි සැමරුම් විදීම අපූරුයි.
ඒ අතරතුරේ පොඩි පොඩි සංවාද ඇති වුණා, තිලංග සුමතිපාල වගේ කෙනෙකු, ප්‍රියා සූරියසේන වගේ අහිංසක, හැමෝගේම ආදරය ලැබූ සංගීතවේදියෙකුගේ ජනප්‍රියත්වයෙන් සුමති සම්මාන උළෙල වගේ හිස් ව්‍යාපාරයක් ගොඩදාන්න උත්සාහ කරන විදිය ගැන. ප්‍රියා අයියා ලෙස හැමෝගේම ආදරය ලැබූවෙක්ට, ඔයවගේ උපහාරයක් කරන්නට තරම් වියදම් කරන්න පුළුවන්, රේස් ඔට්ටුවලින් දුප්පතාව හූරාකෑ සුමති පවුලට වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ රජයට හෝ වෙන කිසිම මහජන ආයතනයකට හැකියාව ලැබී නැහැ ටෙලිනාට්‍ය කලාවට අදාලව පිළිගත හැකි මට්ටමේ සැමරුමක් කරන්නට. නළුනිළි සංගම්, විචාරක සංගම් ආදී සංගම් එකමුතු තිබුණාට කිසිදු ආයතනයකට එයට අදාල සංවිධාන ශක්තියක් නෑ. ඒ නිසා අපි හිතන්නේ, මිනිස්සුන්ගෙම රේස් ඔට්ටුවලින් කොල්ලකෑ සල්ලිවලින් වුව මේ වගේ වැඩක් කෙරෙනවා නම් ඒක වින්දාට අවුලක් නෑ. අවුල තියෙන්නේ ඒක විදලා ඒවා සංවිධානය කරන මිනිස්සුන්ට වන්දනාමාන කරනවා නම් විතරයි.
සුපර්ස්ටාර් තුළින්
2006 අවුරුද්දේ ලංකාවේ ජනප්‍රියම ගීය ඈත රන් විමන් තුළින් බව කවුරුන් හෝ කියා තිබුණා. ඒ, සුපර් ස්ටාර් දින්න අජිත් බණ්ඩාර ඒ වෙනුවෙන් ඈත රන් විමන් ගීය ගැයූ හින්දා. ෂිහාන් මිහිරංගලා, මලිත් පෙරේරාලා, අමිල පෙරේරා ඇතුළු විවිධ අය විවිධ ගායකයන්ගෙන් ආභාසය ලබා ගයද්දී, සුපර්ස්ටාර් දින්නේ ප්‍රියාගේ ආභාසයෙන් ගැයූ අජිත් බණ්ඩාර. අපි පොඩි කාලේ, පිස්සුවෙන් වගේ මේ මැජිකල් ගීය ඇසූ හැටි මතකයි.
අජිත් බණ්ඩාර වගේ ජනප්‍රිය අවකාශයේ විතරක් නෙවෙයි, යාළු මිත්‍ර සමාගම්වලදී වුණත් ඕනෑ සෙට් එකක ඉන්නවා ප්‍රියාගෙ සිංදු කියන්නෙක්. හරියට කීවොත් ප්‍රියා වගේ ගීත ගයන්න උත්සාහ කරන කෙනෙක්. අජිත් වගේ, ප්‍රියා කටහඩ අදින විදිය අනුකරණය කරන කෙනෙක්.
වෙනත් පැත්තක් බැලුවොත්, ප්‍රියාගෙ කටහඩ ඇදෙන විදිය අසංග ප්‍රියමන්ත පීරිස් වගේ තරුණ පරම්පරාවේ උපහාසයට ලක් වුණේ නෑ. ඒ වෙනුවට හැමෝම ඒ වගේ ගයන්න ආසා කළා.
ප්‍රියා කවදාවත් යටපත් නොවෙන්නේ, ලංකාවේ සාදවලට හෝ කිසි තැනකට ප්‍රියාව මගහැරලා යන්න බැරි නිසා. දිනපතා සජීවීව ප්‍රියාගේ කවර් වර්ෂන් පොදුජනතාව ජීවිතේටවත් අහලා නැති සමහර සුන්දරම කටහඩවල්වලින් සාද ඇතුළේ යළි යළිත් ගැයෙන නිසා. ඒ විදියට ගයන්න පුළුවන් සරලකමක් මේ ගීතවල තියෙන නිසා.
ප්‍රියාගේ ගීත
ප්‍රියාගේ ගීත එකතුව අපූරුයි. ප්‍රියා ගැන මේ සටහන ලියන්නට කලින්, ප්‍රියාගේ ගීත රාශියක මුල් පිටපත් අහන්න අපි යොමු වුණා. මොකද, බොහෝ ගීත දැන් සන්ෆ්ලවර්කරණය වී ඇති නිසා.
රසවත් අතුරු කරුණක් කීවොත්, ඒ හොයද්දී ඈත රන් විමන් සිංදුවේ, ක්ලැරන්ස් විජේවර්ධන ගයන වර්ෂන් එකක් අන්තර්ජාලයේ හමු වුණා. ගිටාරයක් සහ, සරල බොංගෝ ටයිප් බෙරයක් (හැම සංගීත භාණ්ඩයක්ම තිතට හදුනාගන්න තරම් සංගීත ඥාණයක් මට නැහැ.) එක්ක තමයි මියුසික් ඇරේන්ජ් කරලා තියෙන්නේ. ඒ සංගීත ආකෘතියෙන් තමයි ප්‍රියාගේ මුල් වර්ෂන් එකත් තියෙන්නේ.
ක්ලැරන්ස් පමණක් නෙවෙයි, එදා ඔහුට සිංදු හැදූ තවත් විශිෂ්ඨ සංගීතඥයන් කිහිපදෙනෙක් ඉන්නවා. ඈත රන් විමන්, පැතුම් පිරීලා ආදී සිංදු කරපු ක්ලැරන්ස්ට අමතරව මාගෙ සැමරුම් පොතේ හදපු ස්ටැන්ලි පීරිස්, සරතැස නිවා හැදූ රොක්සාමි ආදී සංගීතඥයන් ගණනාවක් හිටියා. සරතැස නිවා ලීවේ ප්‍රේමකීර්ති ද අල්විස්. ප්‍රේම් ඊට අමතරව ආදරණීය නේරංජනා, හෙට දවසේ ආදී තවත් විශිෂ්ඨම සිංදු ප්‍රියාට ලියා තියෙනවා. දයා ද අල්විස්ගේ ආපසු එනවා, කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ බිගු වැළපීලා ආදී ගීත රචනාත් ප්‍රියාගේ එකතුවේ තියෙනවා.
සරතැස නිවා දිවි කතරේ කියන සිංදුව, රොක්සාමිගේ ස්ටයිල් එකට මේ සිංදුව සර්පිනාව එක්ක මුහුවෙච්ච සංගීතයක් තියෙන ගීයක්. තබ්ලාව පසුපසින් ඇහෙනවා.
ආපසු එනවා කියන්නේ දයා ද අල්විස් හෙවත් ප්‍රේමකීර්තිගේ බිරිද ලියූවක්. මේකත් සංගීතවත් කළේත් ප්‍රියාමයි. ඔහුට හුරු උත්තර ඉන්දීය ආභාසය මේ සිංදුවේත් තියෙනවා.
ඒත්, ක්ලැරන්ස් කරපු සිංදු සම්පූර්ණයෙන් වෙස්ටටර්න් පොප්, රොක් ඇන්ඩ් රෝල් ආභාසයෙන් තැනූ ඒවා. ආපසු එනවා වගේ ගීතයක් පවා ඔහු ෆෝචූන්ස් සංගීත කණ්ඩායම එක්ක සජීවීව ගයනවා, අපූරුවට වෙස්ටර්න් පොප් ස්ටයිල් එකට මේ ගීය ඔහුට හැකි වෙනවා.
ඇත්තටම ක්ලැරන්ස්ගේ මියුසික් ස්ටයිල් එකත්, වික්ටර් රත්නායකගේ ස්ටයිල් එකත් කියන දෙකටම අයත් එළිමහන් සහ රගහල් වේදිකාවල ගයන්නට ප්‍රියාට හැකියාව තියෙනවා.
අන්තිමේ, ඒ ඔක්කොම සිංදු සන්ෆ්ලවර් එක්ක රීමේක් කරද්දී, කොහොමත් ඔක්ටපෑඩ්- කීබෝඩ් සහ ගිටාර් එක්ක නීල් වර්ණකුලසූරිය ස්ටයිල් එකට ප්‍රියාගේ ගී සීමා වුණා. ප්‍රියාගේ සිංදුවල තිබුණු එක් එක් සංගීත ආභාසයන් ඒ තුළ අහෝසි වී ගියා. අද යූටියුබ් සර්ච් කළත් අපට මුලින් අහන්න ලැබෙන්නේ ඒ පසුකාලීන වර්ෂන්.
වයලීනය, සිතාරය, සර්පිනාව, බටනලාව, තබ්ලාව, බොංගෝ හෝ අනෙක් සියලු භාණ්ඩ අහෝසි වෙලා රිදම්, බේස් ගිටාර් සහ කීබෝඩ් එකේ කර්කෂ වාදනයන් එක්ක ප්‍රියාගේ සිංදු රීමේක් වුණා. ඔය සෙතේ ඉතින් ප්‍රියාට විතරක් නෙවෙයි, කපුගේ ඇතුළු බොහෝ ගායකයන්ට සිද්ධ වුණා. ඒ කිසිවක් අපරාධ, වැරදි හෝ සංගීතය විනාස කර දැමීමක් විදියට අපි හිතන්නේ නෑ. ලක්ෂ ගණන් මිනිස්සු එදිනෙදා ඔවුන්ව රසවිදින තැනට ඒ කැසට් පීස් සංගීතය හේතු වුණා.
එහෙත්, දැන් අපි ආයෙත් ප්‍රියා වසන්තයක ඉන්න නිසා, ඔහුගේ සිංදු අහද්දී පුළුවන් තරම් ඔරිජිනල් එක හොයාගෙන අහන්න උත්සාහ කරනවා නම් මරු. ඒ ඔරිජිනල් සංගීත ඇරේන්ජ්මන්ට් එකේ තමයි ලස්සන තියෙන්නේ.
ප්‍රියාගේ සංගීත ස්ටයිල් එක ගැන ප්‍රශ්නය මහේෂ් හපුගොඩ ලියූ ලිපියක සදහන් කරලා තිබුණා.
‘ලෙඩක් දුකක් වෙලා සුමති සම්මාන ස්ටේජ් නගිනකල්ම ප්‍රියා සූරියසේන කියන ගායකයාට කවදාවත් ලොකු ඇගයීමක් ලැබුණේ නැහැ කියල කියන්න පුළුවන්.
ඒ වගේම එයාගේ ගීත වෙනුවෙන් ලොකු ඇගයීමක් සිද්ද උණෙත් නැහැ. කවුරුවත් විචාරකයෙක් ඔහු ගැන ලොකුවට යමක් ලිව්වෙත් නැහැ. මම මේ ලියන්නෙත් ඔය සුමති ස්ටේජ් එකෙන් පස්සේ ආපු සෝෂල් මීඩියා වේව් (wave) එක එක්ක.
ඒ සිංදු අතරේ ආත්මයේ ප්‍රකාශන තිබ්බා ඒවා සෝල් (Soul) වෙන්න තිබ්බ. දුක කණගාටුව අතපසුවිම තිබ්බ. ඒවා බ්ලුස් (Blues) වෙන්න තිබ්බ. නටන්න පුළුවන් රොක් ඇන්ඩ් රෝල් (Rock and Roll) වෙන්න නියමිත හිට් තිබ්බ. ආදරය එක්ක ගමන් කරන රිදම් ඇන්ඩ් බ්ලූස් (R&B) වෙන්න නියමිත හිට් තිබ්බ. හැබැයි ඔක්කොම එකම ආරේ ලාංකික පොප් (Sri Lankan Pop) බවට පත්වුණා. ඒක අවාසනාවක්. ඒක ප්‍රියාගේ ප්‍රශ්නයට වඩා ලංකාවේ අතිශයින් සීමාසහිත අසන්නන් ධාරිතාව, උන්ගේ රසවින්දනය සහ මාකට් එක බලපෑවා. ඒකටම හරියන නීල් වර්ණකුලසූරිය ඔක්කොම එක රොත්තට ඔක්ටපෑඩ් එකක් කරලා දැම්ම. ස්ටැන්ලි පීරිස්ල මොනවා හරි විදියකට හදල දීපු එකත් ඒකෙන් නැතිවෙලා ගියා.
නමුත් ලෝකේ ගායක ගායිකාවන් හඳුනාගන්නේ එයාලගේ ශෛලිය (style) සහ නැඹුරුව එක්ක. නිකම් බලන්න එයාලගේ ප්‍රොෆයිල්.
මීට වඩා දෛවයක් අපිට මෙහෙ බලාපොරොත්තු වෙන්න බැහැ. ඇත්ත වශයෙන් ප්‍රියා කොයිවගේ ගායකයෙක්ද කියන එකවත් ඔහු මිය යනකම් ඔහුම දන්නේ නැති වෙයි.
කමක් නැහැ. මෙහෙම හරි ප්‍රියා ගැන කතාකරන එක හොඳයි. හැබැයි සම්භාව්‍ය උන් ගාවගන්නේ නැතුව සහ උන්ට බණින්නේ නැතුව ප්‍රියා ප්‍රියා විදියට තේරුම්ගන්න බලමු. මොකද එහෙම සංසන්දනය කරන එක ප්‍රියාට කරන අවමානයක්.‘
මහේෂ් හපුගොඩගේ මේ සටහන ඉතාම සුන්දර විදියට ප්‍රියාව දකින අතරේ, මේ මියුසික් ස්ටයිල් එක ගැන ප්‍රශ්නයටත් අවධානය යොමු කරනවා.
හැබැයි ප්‍රියාගේ ස්ටයිල් එකටත් වඩා ප්‍රියා සූරියසේන කියන මනුස්සයා ගැන ලස්සන දෙයක් ෆේස්බුක් පෝස්ට් එකක තියෙනවා දුටුවා. අනිල් බණ්ඩාර කියන නමින් තිබුණ ඒ පෝස්ට් එක මෙහෙමයි,
‘මගේ යාලුවෙක් ඉන්නවා බැන්ඩ් එකක් කරන. දවසක් අලුත් අවුරුදු උත්සවයක හවස මියුසිකල් ෂෝ එකේදී, මගේ යාලුවගේ බෑන්ඩ් එකට ප්ලේ කරන්න චාන්ස් එකක් ආවා. මාත් ගියා ඒක බලන්න..
මුලින්ම ස්ටේජ් එකට නැග්ගේ අජිත් බණ්ඩාර. එයා ප්‍රියාගේ සිංදු 3 ක් කිව්වා. ෂෝ එක බලන්ඩ ඇවිත් හිටපු අය ‘‘වන් මෝ’’ කියලා කෑ ගැහුවා. තව ෂෝ එකකට යන්න තියෙනවා කියලා අජිත් බණ්ඩාර ස්ටේජ් එකෙන් බැස්සා. සංවිධායකයෝ එයාට රුපියල් 40,000 ක් දුන්නා. ඒක ගත්තු අජි්ත් බණ්ඩාර මූන බුම්මගෙන යන්ඩ ගියා.
ඊට ටික වෙලාවකට පස්සේ ආවේ ප්‍රියා සූරියසේන. ප්‍රියා එයාගේ සිංදු 3 ක් කිව්වා. ප්‍රියාටත් අර විදිහටම ෂෝ එක බලන්ඩ ආපු කට්ටිය ‘‘වන් මෝ’’ කිව්වා. ප්‍රියා ඒක පිළිඅරගෙන තව සිංදු 2 ක් කිව්වා. සංවිධායකයෝ ප්‍රියාට රුපියල් 7500 ක් දුන්නා.. ඒක ගත්ත ප්‍රියා ප්‍රේක්ෂකයන්ට අතවනලා හිනා වෙලා යන්න ගියා.
ඒ තමා ප්‍රියා.‘
අපේ මේ සියලු කතාවලට පාදක වෙච්ච, සුමති සම්මාන උළෙලේ ප්‍රියා සූරියසේන උපහාරය දෙසට හැරෙමු. එතැනදී, රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ තමන්ගේ ගී ගයනවා ඇහුවාට පස්සේ ප්‍රියා දැඩිව අමන්දානන්දයට පත් වුණා විතරක් නෙවෙයි, හැගීම්බර කළ බව පේනවා. ඒ තමයි ප්‍රියා.
ප්‍රියාගේ මනුෂ්‍යත්වය සහ කෘත්‍රිම බුද්ධිය
විශිෂ්ඨයෙක් තමන්ගෙ ජීවිතයෙ හැන්දෑවරුව ගත කරනවා. ප්‍රියාගේ මේ සියලු උපහාරයන් දැක්කාම හැගුණා.
මේක අවසානයේ පහුගිය දවස්වල හිතට වධ දුන් කාරණයක් එකතු කරන්න හිතුණා. මේක පිටින් ගේන උප මාතෘකාවක් ප්‍රියා සූරියසේන නම් කලාකරුවාට සම්බන්ධ කරලා අදහසක් ඉදිරිපත් කිරීමක්.
ඒ තමයි කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කිරීම ඇතුළේ කලාකරුවා කවුද කියන එක. ඒක ගායකයන්ට විතරක් අදාල දෙයක් නෙවෙයි. වෙනත් කලා මාදිලියන් පවා කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් අද දකිනවා. කවි, සිනමා, නවකතා, තිර පිටපත් ආදී බොහෝ දේවල්වලට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරනවා.
කෘත්‍රිම බුද්ධියෙන් ගීත නිෂ්පාදනය ගැනත් කතා කියැවෙනවා දැන්. යූටියුබ් ගියොත්, ඉතා විශිෂ්ඨ ගායකයන්ගේ හඩ පාවිච්චි කරලා කෘත්‍රිම බුද්ධියෙන් කරපු රසික නිර්මාන ගොඩක් දකින්න පුළුවන්. හැබැයි දැන් යූටියුබර්ස්ලා විතරක් නෙවෙයි, ඒආර් රහුමාන් වගේ අය පවා කෘත්‍රිම බුද්ධියෙන් කටහඩවල් නැවත මතු කර ගැනීමට උත්සාහ කරනවා.
ඉතින්, කලාකරුවන්ට මොනවා වේවිද? කලාවට මොනවා වේවිද?
හිතේ තිබුණු ඔන්න ඔය ප්‍රශ්නයට උත්තරය ප්‍රියා සැමරුම දුටුවාම ලැබුණා. දැන් අපි දවස් කිහිපයක් තිස්සේ අත්නොහැර යළි යළිත් ප්‍රියාගේ සිංදු අහන්නේ ඒ ගීතවලට අනන්‍ය විශේෂත්වයක් නිසාම විතරක් නෙවෙයි. අනිවාර්යයෙන් අපි ඒ සිංදු අහන්නේ රසය නිසා වුණත්, එයිනුත් එහා මේ මොහොතේ ලොකු රැල්ලක් හැදුණේ ප්‍රියා සූරියසේන කියන කලාකරුවා කෙරෙහි අප දක්වන පුද්ගල බද්ධතාව නිසා. මනුෂ්‍යයා කෙරෙහි තියෙන ආදරය නිසා. අපි ආත්මීය බැදීමක් හදා ගන්නේ ප්‍රියා ගැන විතරක් නෙවෙයි ඔහුගේ කලාව එක්ක. හැබැයි, කෘත්‍රිම බුද්ධිය එක්ක ඒ් සම්බන්ධය හැදෙනවා.
ප්‍රියාගේ ගීත එකතුව පිටිපස්සේ ඉන්නවා බෝතලයක් වෙනුවෙන් හෝ එසේ නැතිව, අද වචන දෙකක් ලියා පහුවදා ඉතිරි කොටස ලියාගෙන ආපු ප්‍රේමකීර්ති අද අල්විස් නම් මිත්‍රයා.
නැත්නම් ප්‍රේම්ගේ ආදරය එක්ක හැප්පුණ දයා ද අල්විස් නම් කාන්තාව.
කේ.ඩී.කේ. මේ සිංදු පිටිපස්සේ ඉන්නවා. සංගීත විශේෂඥයා රොක්සාමි ඉන්නවා. තමන් ගායනා කරන්නේ නැතිව ලෝබ නැතිව ඈත රන් විමන් වගේ සුන්දරම ගීයක් ප්‍රියාට දුන්න ක්ලැරන්ස් විජේවර්ධන ඒ පසුපස ඉන්නවා.
ඒ මිනිස්සු, ඒ මිනිසුන්ගේ කතා නැතිව මේ කිසි ගීයකට තේරුමක් ලැබෙන්නේ නෑ. වටිනාකමක් ලැබෙන්නේ නෑ. ප්‍රියා සුන්දරම මනුස්සයෙක්. ප්‍රියාගේ ගීය රූකාන්ත හා චන්ද්‍රලේඛා ගැයූ පසු, අසීරුවෙන් වචන ගලපාගෙන ප්‍රියා රූකාන්තට ආචාර කරපු හැටි, ඒ ආචාර කරද්දී රූකාන්ත වගේ ටිකක් හැගීම් එළියට නොදමන මනුස්සයෙක්ගේ ඇස්වලින් කදුලු එන හැටි වගේ, කොල්ලෝ කෙල්ලෝ සෙට් එක පසුපස පේළියේ ඉදන් කෑගහලා සිංදු කියන හැටි ආදී කොතෙකුත් මනුෂ්‍ය සම්බන්ධතා ගොඩක් මේ ගීත අතරේ තියෙනවා. ඒ සියල්ලෙන් ගීත එකතුව සම්පූර්ණ වෙනවා.
ප්‍රියා සුන්දරම මනුස්සයෙක්. ඔහුගේ ගීත ඒ මනුෂ්‍යත්වයේ ප්‍රතිබිම්බයක්. රේස් ඔට්ටුකාරයාගේ සුමති සම්මාන උළෙලේ වේදිකාව මත වුණත්, මතු වුණ ඒ මනුෂ්‍යත්වය අපට කිසි කහටක් නැතිව අපේ කරගෙන බාරගන්න පුලුවන්.
