පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයකු වන රවි කරුණානායක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එක්තරා විශේෂ යෝජනාවක් ගෙන ආවේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වේගවත් කර නායක රනිල් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේදී පක්ෂය ශක්තිමත් ව සංවිධානය කිරීමට නම් දැනට තිබෙන තනතුරුවල පුළුල් වෙනසක් ඇති කළ යුතු බව ඔහුගේ අදහස විය.
තමන්ට මේ සඳහා මහ ලේකම්කම හෝ නියෝජ්‍ය නායකකම ලබා දෙන්නැයි රවි මෙහිදී යෝජනා කර තිබුණි. මෙයට උත්තර දුන් පක්ෂ නායක රනිල් රවිට මෙසේ කීවේය.
හරි… අපි මේක මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කරමු. ඔයත් එන්න. අනිත් අයත් ඒවි. අපි මේක එතනට දාලා බලමු…
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුවේ රැස්වීම පටන් ගන්නට පෙර මධ්‍යම කමිටුවේ විශේෂ රැස්වීමක් රනිල් විසින් කැඳවන ලදි. මේ සඳහා පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර පැමිණෙන්නට ප්‍රමාද වූයේ ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැස්වීමකට සහභාගි වී ගමන ප්‍රමාද වී තිබූ නිසාය. ඔහු එන්නට පෙර රනිල් සාකච්ඡාව පටන් ගත්තේය.
ඒ අනුව රුවන්, සාගල, වජිර සහ අකිල යන පක්ෂ ජ්‍යෙෂ්ඨයන් එම හමුවට සහභාගී වී සිටියේය. මෙහිදී කතා බහ අරඹමින් රවි කරුණානායක කියා ඇත්තේ තමාට වැඩ කිරීමට නම් තනතුරක් අවශ්‍ය බවයි. නියෝජ්‍ය නායකකම හෝ මහ ලේකම් ධුරය ලබා දුනහොත් තමාට වැඩ කරන්නට හැකි බවද රවි කියා ඇත.
එහිදී වජිර කියා ඇත්තේ මෙපමණ කලක් පක්ෂයේ වැඩ කටයුතු හොඳින් කරගෙන ආ බවයි.
ජනපති මහජන ඡන්දයකින් දිනවන්නට අපට හැකියාව නොලැබුණු නමුත් මේ වන තෙක් පක්ෂ නිලධාරීන් ඉතා හොඳින් වැඩ කටයුතු ඉදිරියට මෙහෙයවමින් සිටින අතර තනතුරු වෙනස් කිරීමේ කිසිම උවමනාවක් පැනනගින්නේ නැති බවද වජිර කීය.
සාගල රත්නායක මෙහිදී අදහස් දක්වමින් කියා ඇත්තේ කවුරුත් කර ඇර ගිය වෙලාවේ ඉතිරි වූයේ ඉතා සීමිත පිරිසක් පමණක් බවයි. සිරිකොත වැඩ කටයුතු ද ඉතා හොඳින් කරගෙන යන අතර මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ද රටවටා යමින් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ කරට ගෙන උනන්දුවෙන් කරගෙන යන බව සාගල පවසා ඇත. පක්ෂයේ විනය ද ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන බවත් මේ මොහොතේ තනතුරු වෙනසක අවශ්‍යතාවයක් තමා නොදකින බවත් සාගලගේ අදහස වී තිබේ.
සාගලගේ අදහස අනුමත කරමින් රුවන් විජයවර්ධන ද පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සඳහා තමා රට වටේ යෑම අරඹා තිබෙන බවත් තනතුරු තිබුණත් නැතත් පක්ෂය වෙනුවෙන් කළ යුතු දේ සිදු කරන බවත් සඳහන් කළේය.
රුවන් සමග එකතු වී තමාද පක්ෂය ගොඩ ගැනීමේ වැඩසටහන මෙහෙයවන බව අකිල විරාජ් එහිදී සඳහන් කළේය.
පක්ෂයේ සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික මතයට ඇහුම්කම් දෙමින් රවි නිහඬවම සිට තිබේ.
රංගේ මේ රැස්වීම අවසන් වන විට එතනට ආවේය.
“ඔයා දන්නවද දැන් මෙතන සිද්ධ වෙන්න ගියපු දේ… තව ඩිංගෙන් මහ ලේකම්කමයි නියෝජ්‍ය නායකකමයි දෙකම නැතිවෙනවා.”
“මට ආරංචියි මගට… ගාල්ල පැත්තේ සාස්තරකාරයෙක් එයාට කියලලු එයාට ප්‍රබල
රාජයෝගයක් තියනවා කියලා. ඒකයි ඔය තනතුරු ඉල්ලන්නෙ.. කියමින් රංගේ කළමනාකරණ මණ්ඩල රැස්වීම වෙත ගොස් ඇත.
උපුටාගැනීම – දිවයින