ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට සැප්තැම්බර් 26 වැනිදා දැනුම් දී තිබේ.
ඕස්ට්‍රේලියාවේදී 2022 දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්‘ ආගමික කණ්ඩායමේ බලපෑම් එල්ල වූ බවට ඇති වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාවට අදාලව විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගන්නා බව දැනුම් දී තිබේ.
එම කමිටු වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා මේ බව දන්වා තිබේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්සීබීඑස් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී ක්‍රීඩා ඇමතිවරයා වනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දැනුම් දුන්නේ මේ කරුණට අදාලව රජයේ විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාව ලැබී ඇති බවය. එය අධ්‍යනය කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවේ ඉදිරියේදී කරුණු දැක්වීමට පියවර ගන්නා බව ඒ මහතා සඳහන් කළේය.
අතරමැදි පෙත්සම්කරුවෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කුවේර ද සොයිසා මහතා එහිදී ඉල්ලා සිටියේ මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තීන්දුවක් ගෙන දැනුම් දෙන තෙක් මෙම පෙත්සම සලකා බැලීම කල් දමන ලෙසය.
ඒ අනුව මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
අදාළ විගණන වාර්තාව ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීමට මීට පෙර ලබා දුන් ප්‍රතිඥාව ලබන නොවැම්බර් මස 7 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ක්‍රීඩා ඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේය. අදාළ පෙත්සම නොවැම්බර් මස 7 වැනිදා කැඳවීමට නියම කෙරිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ලේකම් මොහාන් සිල්වා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.