තරිඳු උඩුවරගෙදර
උපුල් ශාන්ත සන්නස්ගලගේ අලුත්ම පොත No stopping or turning back මේ වෙද්දී විජේරාම හන්දියේ රෝයල් තැප්‍රොබේනියන් එකෙන් ගන්න පුළුවන්. ලොකුම ලොකු කාලෙකට පස්සේ සන්නස්ගල මුණගැහිලා මේ පොත මිලට ගන්න තැප්‍රොබේනියන් එකට ගියා. ඔහුගෙන් ලැබෙන සුපුරුදු මිත්‍ර ආශ්‍රය ලැබෙන අතරේම, පොතේ පිටු සීයකට වඩා එතැනදීම කියවන්න හැකි වුණා.
මේ සටහන, පොත ගැන සම්පූර්ණ විචාරයක්ම නෙවෙයි. එහෙත්, පොත් කියවීම- සංස්කෘතිය- තැප්‍රොබේනියන්- සන්නා සහ මේ පොත ගැන වැදගත් යෝජනා කිහිපයක්.
තැප්‍රොබේනියන් එකට ගොඩ වෙද්දී, සන්නස්ගල කතාබහක. පොත මිලට ගන්න ආ අයට පොත් අත්සන් කරමිනුයි හිටියේ. ඡායාරූපවලට පෙනී ඉන්න ගමන්. ඒ අතරතුරේ, මේ පොතේ කලාත්මක පිටකවරය නිර්මාණය කරපු පසන් තිලකවර්ධන පියානෝවේ ලස්සන වාදනයකත් නිරත වුණා.
එක ක්ෂණයෙන් මේ අවකාශය සහ කලබලකාරී බුක් ෆෙයාර් එක අතර වෙනස වැටහුණා. බුක්ෆෙයා එකේ තියෙන්නේ කලබලකාරී පොළකට හිමි වෙහෙසකාරී බරක්. එහෙත්, තැප්‍රොබේනියන් එකේ තියෙනවා විවේකී, කලාකාමී නිවුණු ගතියක්. ඒ විවේකී හැඟීම අපට නිතර මගහැරෙනවා.
උපුල් ශාන්ත සන්නස්ගලගේ ශිෂ්‍යයෙකු ලෙස මා ඉගෙනගත් වැදගත්ම දේ තමයි සිංහල සාහිත්‍ය විෂය. අනිවාර්යයෙන්ම.
එහෙත්, එයින් පස්සේ ඔහුගේ මිත්‍රයෙකු ලෙස මා ඉගෙනගත් වැදගත්ම දේ වැඩවලදී දක්වන විනය. යම් වැඩක් ආරම්භ කළාට පස්සේ, ඒ වැඩේ වෙනුවෙන් කැප වෙන්න තියෙන හැකියාව. ඔව්, අපට වගේ නෙවෙයි සන්නස්ගල වැඩක් කරද්දී ඒක සාර්ථක කරන්න වෙහෙසෙන අය ගොඩක් ඔහු වටේට ඉන්නවා. හැබැයි, ඔහු ටියුෂන් කළ කාලයේ සිට, අනුන්ගේත් සහයෝගය ඇතිව ගොඩදැමූ වැඩ බොහොමයි.
උදාහරණයක් විදියට ඔහු උසස්පෙළ පංති සඳහා කරලා තියෙන උපකාරක පොත් ටික ගන්න පුළුවන්. බොහෝ විට ඇගයීමට ලක් නොවුණාට ඔහු විවිධ මූලාශ්‍රවලින් කරුණු උපුටාගෙන ජාතක කතා පොත, සංදේශ කාව්‍ය, සද්ධර්මාලංකාරය ආදී විවිධ සාහිත්‍ය කෘති කියවීම පහසු කරන්නට වැදගත් පොත්පත් ලියා තියෙනවා. ඒ ඒ සාහිත්‍ය යුගවල විශේෂ ලක්ෂණ ගැන කවදාවත් සිලබස් එකේ උගන්වන්නෙ නැති කරුණු ඇතුළත් පොත්පත් ඔහු කරලා තියෙනවා. අදටත්, තැප්‍රොබේන් එකේදී ඒ වටිනා පොත් ගන්න පුළුවන්.
යූටියුබ් එකේදී පවා ඔහු වැඩකදී අපේක්ෂා කරන ප්‍රමිතිය, ඉතා ඉහළයි. හැමවෙලාවෙම අපි යොදාගන්න කාලරාමුවලට අනුව වැඩ ඉවර කරන්න අමාරු වෙනවා තමයි. ඒත්, ඔහු පුළුවන් තරම් කාලරාමුවලට අනුව වැඩක් ඉවර කරන්න දඟලනවා. තංගමලේ ඩයරීස් කියන ඔහුගෙ ෆිල්ම් එක හුදෙක් සංකල්පයක් පමණක් වූ වෙලාවෙ, ඒක පිටපතක් දක්වා ගන්නට මුල්ම අදියරේදී ඔහු එක්ක වෙහෙසුණ කෙනෙක් විදියට මා ඒක හොඳට දන්නවා. පසුව වෙන වැඩවල පැටලෙද්දී- තංගමලේ ඩයරීස් වැඩෙන් මා ඈත් වෙලා ගියත්- ඔහු ඒ චිත්‍රපටිය නිර්මාණය වෙන තැන දක්වාම ඇදගෙන යන්නට සූදානම්.
ඊළඟට ඔහු සාහිත්‍යකරුවෙකු විදියට මා ඉතා ප්‍රිය කරන කෙනෙක්. කොහොමත් අපේ පරම්පරාව විසින් කියවූ ලේඛකයන් අතරින්, විශිෂ්ඨම රොමෑන්ටික් ලේඛකයා ඔහු බව මා හිතනවා. ඔහුගෙ මුල් කාලයේ පොත් සහ මෑතකාලීන පොත් අතර පැහැදිලි වෙනසක් අපි හැමෝම දන්නවා. අම්මා ඔහුගේ පොත් ලිවීමේ මාදිලිය වෙනස් කළා. මෑත කාලීනව ඔහුගේ පොත්වල ප්‍රබන්ධ චරිත, සැබෑ සිදුවීම් මිශ්‍ර වෙන විදියත්- නවකතා සහ සැබෑ කතා අතර දෝලනය වෙන විදියත්, ඔහුගේ අදහස් පෙළගැස්වීම් සහ කතාන්දර කීම අතර පැටලෙන විදියත් මා ඇතැම් තැන්වලදී ප්‍රිය නොකරන- තවත් තැන්වලදී ප්‍රිය කරන මාදිලියක් බවට පත්වෙලා.
No stopping or turning back තුළ සැබෑ චරිත හිටියත්, එය නවකතාවක්. එය ගලා යන්නේ, වර්තමාන කතාවකුත්- අතීතයෙන් අහුලාගත් කතාන්දර කොටස් ගොන්නකුත් එක්ක. චත්‍ර කියන ප්‍රධාන චරිතයේ වර්තමානය සහ පාසල් කාලය අතර කතාව දුවනවා.
මා වඩාත්ම ප්‍රිය කරන්නේ පොතේ ආරම්භයට. කතාව පටන් ගන්නේ උබර් රියදුරෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්. පොදු කතාවට කොහෙත්ම අදාල නැති නමුත්, කොළඹ සිට කටුනායක දක්වා යන මාර්ගයේ සිනමාත්මක විස්තරයකුත්, කතාවේ ප්‍රධාන චරිතය නොවන උබර් රියදුරෙකුගේ පැත්තෙන් ඔහු තමන්ගෙ පිටිපස්සෙ ඉන්න නාඳුනන තරුණ මගියාට ප්‍රතිචාර දක්වන විදියෙනුත් කතාව පටන් ගන්නවා. මේ පරිච්ඡේදය ඉවර වෙද්දී ප්‍රධාන චරිතය ගැන කිසිදෙයක් අපි දන්නේ නෑ. උබර් රියදුරා ගැන දැන ගන්නවා. ඒත්, ඒ නිසාම! මේ ප්‍රධාන චරිතය ගැන කුතුහලය කියවන කෙනාට එනවා. කවුද මේ?
ඉන් පස්සේ කතාවේ මුල්ම කොටස ගලා යන්නේ පාසල් සිසුවෙක්, ඔහුට ප්‍රේම කරන තරුණියක් සහ ඔහුගේ ප්‍රේමය ලබන ගුරුවරියක් ගැන.
මෙන්න මේ ප්‍රේමණීය කොටස තුළ එනවා ඉතාම උද්වේගකර, හදවත කළඹන ප්‍රේමණීය කොටසක්. අර පරණ රොමෑන්ටික් සන්නස්ගල ඒ ලාලිත්‍යයෙන්ම ඒ කොටස තුළ ඉන්නවා. සිපගැනීමක්- ළං වීමක්- පොපියන ප්‍රේමයක ගැස්මක් ඒ කොටසේ පුදුම විදියට ඉන්නවා.
ඊළඟට එනවා තවත් ඉතාම ප්‍රබල සිදුවීම් දෙකක්. එකක් විනය පරීක්ෂණයක්- දෙවැන්න ටියුෂන් ක්ලාස් එකක්.
පොත කියවන්න ඉන්න කෙනෙකුගේ රස නසන්න බැරි නිසාත්, විචාරය කරන්නට නම් පොත කියවා හමාර කරන්න ඕනෑ නිසාත් ඒ කොටස් ගැන වැඩි විස්තර කියන්නේ නැහැ. එහෙත් ඒ සිදුවීම් පෙළගස්වා තිබෙන ආකාරය අතිවිශිෂ්ඨයි. බොහෝ සිංහල ලේඛකයන්ගේ ඒ කතා කීමේ ප්‍රතිභාව නැහැ.
මා දේශපාලන ප්‍රතිපත්ති අතින් වගේම, පොදු සමාජය ගැන දෘෂ්ඨිවාදය අතින් සන්නස්ගලට වඩා බොහොම වෙනස් කෙනෙක්. ඒ නිසාම පොතේ ඇතැම් තැන්වල තියෙන අදහස්වලට එකඟ වෙන්න බැරි වේවි කියා- අරගලය ගැන තියෙන ඇතැම් කොටස් එක්ක හැඟුණා. තවම ඒ කොටස කියවා ඉවර නෑ
එහෙත්, ඔහු ලියන කතාන්දර සතු බලය මා දන්නවා. සම්මාන උළෙලවල්වල සිට, සාම්ප්‍රදායික වේදිකා මත සන්නස්ගලව කොච්චර හෑල්ලුවට ලක් කළත්- සන්නස්ගල සන්නස්ගලම තමයි.
සන්නස්ගල ‘ටියුෂන් කාරයෙක්‘ විතරක් නෙවෙයි ‘මල් පත්තර‘ කාරයෙක්. සිංදු ලියන්නෙක්. හඳගමගෙ ෆිල්ම් එකක් නිෂ්පාදනය කළා කියලා, සිනමා- සාහිත්‍ය කලාවෙ ඉන්න අය ආශ්‍රය කළා කියලා. ඒ අය අතරෙ ඉන්න සමහර වැඩි මුදලක් අතේ නැති පුද්ගලයන් එක්ක ටිකක් මිල අධික සාදයක් දාන්න හැකියාව තිබුණා කියලා සන්නස්ගල කවදාවත් සීරියස් සාහිත්‍යධරයෙක් විදියට බාර ගත්තේ නැහැ.
ලංකා පත්තරේ ලියූ ‘අම්මා‘ පොත කෙතරම් උත්තුංග ආත්ම ප්‍රකාශනයක් වුණත්, ඒක කිසි කෙනෙක්ට හයියක් නැති තරම් ප්‍රබල ඉදිරිපත් කිරිමක් වුණත්, ඔවුන්ට ඒක ‘අම්මාව විකුණාගෙන කෑමක්‘ පමණක් වුණා.
ඒත් මම සන්නස්ගලගෙන් ඉගෙනගන්න කොටස තමයි, ඔහු ඒවාට උත්තර විදියට වැඩ කරපු බව. ඔහුගේ වැඩවලට ආකර්ෂණය වූ දසදහස් ගණන් පිරිස් ඉන්නවා. ඔහුට කොච්චර බැන්නත්, ඔහුව මඟහැර යන්න කාටවත් බැහැ. සම්භාව්‍ය සමාජයටත් බැහැ. විකල්ප අවකාශයටත් බෑ. ප්‍රධාන ධාරාවටත් බෑ. ඔහුව කිසි කොටසකට ඇතුළත් කරන්නත් බෑ.
ඔහු ඉන්නවා. මටත් සමහර විවේචන තියෙනවා. ඒත්, ඒවා අදාල නෑ. ඔහු ඉතාම ප්‍රබල විදියට ඉන්නවා. ඔහු දැනුත් මට වඩා කාර්යක්ෂමව, මහන්සිවෙලා වැඩ කරනවා. ඔහුව විවේචනය කරන අයට වඩා වැඩිපුර වැඩ කරනවා.
මගෙන් වෙන් වෙන මොහොතේ ඔහු මට කීවා, ‘ඇඟේ නෙවෙයි මචං හයිය තියෙන්නේ- ඔලුවෙ- මගෙ ඇඟ දුර්වලයි- ඒත් මං හයියයි‘ කියලා.
ඒක ඇතුළේ සන්නස්ගල ලස්සන නවකතාවක් ලියලා, ලස්සන අවකාශයක් විවෘත කරලා, විජේරාම හන්දියේ බලා ඉන්නවා තමන්ගෙ වැඩවලට ආදරය කරන මිනිසුන් මුණගැහෙන්න. පුළුවන් නම් ඔබත් යන්න.