Wednesday, October 4

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම සාකච්ඡාවේදී මැතිවරණයකට මුල් ලබා දීම පිළිබඳ කතාබහ කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. කෙසේ වෙතත් අප කළ විමසීම්වලදී වාර්තා වුණේ, ජනාධිපතිවරණයක් ලබන වසරේ මුල පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූල පසුබිමක් නොමැති බවයි.

ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේයැයි මව්බිම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවද එහි වාර්තා කර ඇත. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා කර ඇත.

ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කොපමණ මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවාදැයි කොමිසමෙන් විමසා ඇති ජනාධිපතිවරයා මේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සූදානම් කරගැනීමට සිදුවන බව සඳහන් කර ඇත. එම මුදල් අයවැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

අදාල ඇස්තමේන්තු සකස් කර හැකි ඉක්මනින් ලබාදෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත. එය කඩිනමින් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන ලෙසටද උපදෙස් දී ඇතැයි මව්බිම වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මේ වන විට මෙරට මැතිවරණයක් ප්‍රකාශයට පත් කොට තිබෙන අතර, එම මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් වෙන් නොකොට එය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි චෝදනා එල්ල වේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිදහස් කරන ලෙස  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතත් එම නියෝගය අනුවද කටයුතු කර නොමැත.

මේ වන විට එම මැතිවරණය නොපැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙමින් පවතී. වෙනත් මැතිවරණයකට මුදල් ලබා දීම ගැන ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කර ඇතැයි මෙම වාර්තා පළ වන්නේ, එක් මැතිවරණයකට මුදල් නොමැති බව රජය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර තිබියදීය. අප කළ විමසීමකදී මැතිවරණ කොමිසමට සමීප ආරංචිමාර්ගයක් ප්‍රකාශ කළේ, නව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය සතියේ මුණගැසුණු බවත්, එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව පමණක් ජනාධිපතිවරයා මුණගැසුණු බව තමන්ට දැනගැනීමට ලැබුණු බවත්ය.

එමෙන්ම මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින්, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩු කටයුතුවලදී මැතිවරණ කොමිසමේ නීතිඥයා ලෙස ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ව ඉවත් කිරීමට බලපෑම් කර ඇති බවද එම ආරංචිමාර්ගය පැවසීය.

සාලිය පීරිස් වෙනුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන පත් කිරීමට එහිදී බලපෑම් එල්ල වී තිබේ. මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් පස් දෙනෙකු අතරින් තුන්දෙනෙකු පමණක් පත් කර ඇති අතර, රාමසාමි රමේෂ් සහ සුජාතා ගමගේ යන අයව පත් කිරීමට නියමිත බවට සාකච්ඡාවක් තිබුණත්, තවමත් එම පත් කිරීම් සිදු වී නොමැත.

අපගේ ආරංචිමාර්ගය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙසේය. ‘මලයග දෙමළ පුද්ගලයෙක් වන නිසා කථිකාචාර්ය රාමසාමි රමේෂ්ව පත් කරන්න යෝජනා වුණා. එහෙත්, ඔහු මලයග දෙමළ වන නිසාම ඇතැම් පිරිස් මේ පත්කිරීමට විරුද්ධ බවට ආරංචියක් තිබෙනවා. ඊට අමතරව ආචාර්ය සුජාතා ගමගේගේ නම යෝජනා කරලා තියෙනවා. එහෙත්, ජනාධිපතිවරයා කැමතියිලු නඩු ටික ඉවර වෙනතෙක් තුන්දෙනාගෙන් ඉදිරියට යන්න.‘ යනුවෙන් ප්‍රකාශ කළේය.

මීට අමතරව, ජනාධිපතිවරයා නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට නම්, දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවනු ඇතැයි අප සමග අදහස් දැක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පැවසීය. ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ.

‘ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විසීම, ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළ පැවැත්විය යුත්තේය.

මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් (දෙවන ධුර කාලයක් සඳහා) තමා තෝරා පත් කර ගැනීමෙන් ධුරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ (තම අභිලාෂය තම ප්‍රථම ධුර කාලය ආරම්භ වී අවුරුදු හතරක් ඉකුත්වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැක්කේය.)‘

අප සමග අදහස් දැක්වූ ව්‍යවස්ථා විශේෂඥයෙකු වත්මන් ජනාදිපතිවරයාට මෙය අදාල වන්නේදැයි විමසූ විට මෙසේ පැවසීය. ‘මෙම වගන්තිය අදාල වන්නේ ජනාධිපතිවරණයකින් තේරී පත් වූ ජනාධිපතිවරයෙක්ට තමන්ගෙ දෙවැනි ධුර කාලයක් දක්වා යද්දී පමණයි.‘

ව්‍යවස්ථාවේ පැහැදිලිවම ජනාධිපති ධුරයේ බලතලවලට එහා ගොස්, තනතුරේ සිටින පුද්ගලයාට අදාල වන මෙවැනි ඇතැම් වගන්ති ‘අනුප්‍රාප්තික‘ ජනාධිපතිට අදාල නොවන බව සඳහන් වේ.

එමෙන්ම 32 වැනි වගන්තිය වැනි ජනාධිපති ධුරයේ සිටින පුද්ගලයා වෙනුවෙන් වූ යම් වගන්තියක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයාටත් අදාල වන්නේ නම්, එවැනි අවස්ථාවක පැහැදිලිවම ‘ජනාධිපති ධුරයට තෝරා පත් කරගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා‘ යනුවෙන් සඳහන් වේ. කෙසේ වෙතත් මෙම නිශ්චිත මාතෘකාව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී අර්ථකතනය කර නොමැත.

අප සමග අදහස් දැක්වූ විශේෂඥ ව්‍යවස්ථා දැනුමක් ඇති ජනාධිපති නීතිඥවරයෙකු මේ පිළිබඳ ප්‍රකාශ කළේ, ‘ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවන්න පුළුවන් කියලා ව්‍යවස්ථානුකූලව කියනවා නම්, අමුතු අර්ථකතනයක් දෙන්නට සිද්ධ වෙනවා.‘ යනුවෙනි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ‘නමුත් නියමිත දිනට කලින් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුළුවන්.‘ යනුවෙනි. එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබුණහොත්, ජනාධිපතිවරණය නියමිත දිනට පෙර පැවැත්වීමේ හැකියාවක් තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Author

%d bloggers like this: