Wednesday, October 4

IMF ලංකාවේ සංවර්ධනය මැරූ හැටි කියන, IMF එක්ක වැඩ කරපු මහාචාර්යවරයා! – ඇඟ හිරිවැටෙන කතාවක්

මතක තබාගන්න, මේක ශ්‍රී ලංකාව IMF යන පළවැනි වතාව නෙවෙයි. අපි මේ ඉන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය සහ එයට අනුබද්ධ වූ ගෝලීය මූල්‍ය බලවතුන්ගේ උපදෙස් මත ලංකාව ‘ගොඩනගන්න‘ යන කාලෙක. ඒ ‘ගොඩනැගීමේ‘ බර මේ වෙද්දී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය- බහුතර- වැඩකරන මිනිස්සුන්ගෙ කොඳු හරහා පහරක් විදියට වැදිලා හමාරයි.

හැබැයි ශ්‍රී ලංකාව මේ තත්වයට වැටුණේත් මීට කලින් IMF නිර්දේශ මත වැඩ කරලායි. විශේෂයෙන් පෞද්ගලිකකරණය ගත්තාම, ඒක අනූ ගණන්වල මුල සිට අග දක්වා ශ්‍රී ලංකාවේ සිදු වූ දැවැන්තම ක්‍රියාවලිය. එදාත්, පාර්ලිමේන්තුවේ සෑහෙන බලාපොරොත්තු දීලා, ආයතන පෞද්ගලිකකරණය කරමින්- කර්මාන්තවල තරගකාරීත්වය ඇති කරලා රට දියුණු කරන හැටි ගැන කතා කළා.

ඉතින් ඒ කාලයේ සාකච්ඡාවල හිටපු මහාචාර්ය හොවර්ඩ් නිකලස් මෑතකදී ප්‍රසිද්ධියේ කීවා, සංවර්ධන බැංකු පෞද්ගලිකකරණය ගැන කතාවක්. ඔය මහාචාර්යවරයා මෑතකදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් තියුණු අදහස් මාධ්‍යවලින් කී බව ඔබ දකින්න ඇති.

එයා අයිඑම්එෆ් ගැන කියන්නේ අපේ ‘ආර්ථික විද්වතුන්‘ වගේ එළියේ ඉඳන් බලා නෙවෙයි. ඔහු කෙළින්ම සිදුවීම් දන්නවා.

‘ලංකාවේ සිදු වූ නරකම දෙයක් තමයි එන්ඩීබී සහ ඩීඑෆ්සීසී පෞද්ගලිකකරණය. හේතුව තමයි හැම සාර්ථකම රටකම එක ප්‍රතිපත්තියක් තිබුණා. එකම එක ප්‍රතිපත්තියක්, සියල්ලේම මුල්ගල වුණා.

ඒ තමයි සංවර්ධන බැංකු. රාජ්‍ය සංවර්ධන බැංකු.

සංවර්ධන බැංකු පිළිබඳ ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒවා සමාගම්වලට දියුණු තාක්ෂණයට ප්‍රවේශ වෙන්න ඉඩ සලසනවා. මම චීනය උදාහරණයකට ගන්නම්. චීනය නිර්මාණය කරපු ‘නයිට් විෂන් ටෙක්නොලජි‘ කියන්නේ ලෝකයේ ඉතා දියුණුම තාක්ෂනයක්. චීනය වැනි ලාබ ශ්‍රමයක් සහිත තැනකින් එවැන්නක් අපේක්ෂා කරන්නත් අමාරුයි.

චීනය කළේ මොකක්ද? චීනය කළේ lower value added manufacturing (අඩු අගයක් එකතු කළ නිෂ්පාදනවලට) පමණක් සීමා වුණේ නෑ. අපි higher value added manufacturing (ඉහළ අගයක් එකතු කළ නිෂ්පාදනවලට) යොමු වෙනවා කියලා හිතපු එක.

ඒ සඳහා යතුර වුණේ සංවර්ධන බැංකු.

මම මේ පිළිබඳ ඉතා සමීප අත්දැකීමක් ලැබූ කෙනෙක්. මොකද මගේ ශිෂ්‍යයෙක් නයිට් විෂන් තාක්ෂණය සංවර්ධනය කළ සමාගමක කටයුතු කළා. ඔහු කිව්වා චීන සංවර්ධන බැංකුවෙන් විශාල ණය මුදලක් ලැබුණු බව. එයාලාගේ රාජකාරිය වුණේ විදේශ තාක්ෂණය සහ විශේෂඥ දැනුම මෙම තාක්ෂණය දියුණු කරන්නට ලබාගැනීම. එය ඉතා දියුණු තාක්ෂණයක් වුණා. සංවර්ධන බැංකු ඒ සඳහා ණය ගැනීමට වැදගත් වුණා.

අවුරුදු දෙකක් ඇතුළත මේ සමාගම ලෝකයේ අංක දෙක බවට පත් වුණා. චීනයට ඕනෑ අඩු වැටුපෙන්, අඩු වියදමකින් කරන කටයුතු විතරක් නෙවෙයි. ඔවුන්ට පුළුල් ප්‍රවේශයක් ඕනෑ වුණා.

මම කණගාටුවෙන් කියනවා, එන්ඩීබී සහ ඩීඑෆ්සීසී පෞද්ගලිකකරණය පිළිබඳ සාකච්ඡාවේ මම හිටියා. ඒ කාලෙ අයිඑම්එෆ් නියෝජිතයා, -මේක දිග කාලෙකට කලින් සිදු වූ දෙයක් නිසා මට මේක විවෘතව කියන්න පුළුවන්- කීවේ, හොවර්ඩ් මේක මතවාද අතර යුද්ධයක් කියලා.

අපට සංවර්ධන බැංකු පෞද්ගලිකකරණය කරන්නම සිද්ධ වෙනවා. මොකද අපට තවත් නැගෙනහිර ආසියානු ‘සාර්ථකත්වයේ කතාවකට‘ ඉඩ දෙන්න බැහැ කියලා.

සිංගප්පූරුව, කොරියාව, ජපානය වගේ රටවල් ගොඩනැගුණේ රාජ්‍ය සංවර්ධන බැංකු නිසා. ඔබට කිසිම ජපාන සමාගමක් නම් කරන්න බැහැ, රාජ්‍ය සංවර්ධන බැංකුවක ණයකින් ජීවිතය ආරම්භ නොකරපු.

චීනයට ලෝක වෙළඳ සංවිධානයට සම්බන්ධ වෙන්න ඕනෑ වුණාම, එයාලාට යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් ආපු අංක එක් ඩිමාන්ඩ් එක මොකක්ද දන්නවාද? ඔබට අනුමාන කරන්න පුළුවන්. බෑන්ක් ඔෆ් චයිනා පෞද්ගලිකකරණය කිරීම.

ඇයි? මේ බැංකුවෙන් චීන අධිතාක්ෂණ සමාගම් ප්‍රතිරක්ෂණය කරනවා.  ඇත්තටම බටහිරට අභියෝගයක් වූ සමාගම් ඒ. ඇත්තටම අඩු වැටුප් ලබාදෙන සමාගම් ගොඩක් වැදගත් නෑ. එවැනි සමාගම් බටහිර තියෙන තාක්ෂණයමයි පාවිච්චි කරන්නේ.

මම හිතන්නේ, සමහර ක්ෂේත්‍ර රීලොකේට් වෙන්න පුළුවන්. ඒත්, ඒක නවත්වන්න බැහැ. අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය නිවැරදි ටූල්ස්. මට පුලුවන් නම් මම ආපහු ලංකාවේ නැවතත්, සංවර්ධන බැංකු ඇති කරනවා. හැබැයි මම දන්නවා බටහිර ඒකට අතිශය තදින් විරුද්ධ වේවි.

මම ඒක දන්නේ බටහිර ආයතනවල මම අවුරුදු 16කට කලින් වැඩ කරපු නිසා. මම දන්නවා ශ්‍රී ලංකා රජය සහ අයිඑම්එෆ් හා ලෝක බැංකුව අතර හුවමාරු වෙන සමහර රහසිගත වාර්තා ගැන. ඔවුන් වැඩිපුරම බය සංවර්ධන බැංකුවලට. මොකද ඒක තමයි හරය.

ඔබට (ශ්‍රී ලංකාවට) රාජ්‍ය සංවර්ධන බැංකු ලැබුණ ගමන්, ඔබ සම්පූර්ණයෙන් වෙනස් සෙල්ලමක ඉන්නේ. මතක තබාගන්න, ප්‍රේමදාස ආ විගස ඔවුන් මුලින්ම ඇහුවේ ඩීඑෆ්සීසී සහ එන්ඩීබී පෞද්ගලිකකරණය කරන්නයි.

මේ බැංකු දෙක ලංකාවේ වඩාත් කාර්යක්ෂම බැංකු දෙක වුණා. ඇයි ඒ දෙක පෞද්ගලිකකරණය කරන්න ඕනෑ වුණේ? ඒ සංවර්ධන බැංකු දෙක පෞද්ගලිකකරණය කළාට පස්සේ ඔවුන් ලංකා බැංකුව හෝ අනෙකුත් රජයේ බැංකු පෞද්ගලිකකරණය පස්සෙන් දිව්වේ නෑ. ඇයි ඩීඑෆ්සීසී සහ එන්ඩීබී පස්සෙන් ගියේ. දැන් ඔබ දන්නවා. ඇතැම් වාර්තාවල පවා තියෙනවා, මම මේ ගැන ඉතා ඍජුව ඒ ආයතනවලින් විමසුවා.

ඔවුන් කීවා හොවර්ඩ් මේක ආර්ථික යුද්ධයක්. මම විදේශිකයන්ට බණින්නේ නෑ.‘

එහෙත් මහාචාර්ය නිකලස් තමන්ගේ කතාව අවසන් කරපු විදිය තමයි අපි හැමෝම ඉතාම උනන්දවෙන් මතක තියාගන්න ඕනෑ දේ. ඔහු මෙහෙම කීවා.

‘මම බටහිර රටවල්වලට බණින්නේ නෑ. මේක ආර්ථික මතවාද යුද්ධයක්. කාටද බණින්නේ? මම බණින්නේ අපේ මිනිස්සුන්ට. එයාලගෙ රස්සාව ඔබව බ්ලොක් කරන එක. ඒක නෙවෙයි ප්‍රශ්නය. සැබෑ ප්‍රශ්නය ඔබ ඒ ගැන මොකක්ද කරන්නේ කියන එක.‘

Author

1 Comment

  • Lanka

    “ප්‍රේමදාස ආ විගස” යන්න “ප්‍රේමදාස ඝාතනය වූ විගස” යනුවෙන් නිවැරදි විය යුතු නේද ?

Comments are closed.

%d bloggers like this: