මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ වාර්තාව ප්‍රතික්ෂේප කරයි – ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන මහ බැංකුවෙනුත් වාර්තාවක්

ඩොලර් මිලියන 2.5ක මුදලක් බාහිර පාර්ශවයකට ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ ඇති මහ බැංකුවේ වගකීම පිළිබඳව වන කරුණු එහි අධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ වාර්තාවේ ඇති මහ බැංකුවේ වගකීම පිළිබඳව වන කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ඇතුළත් වාර්තාවක් ලබාදීමට මහ බැංකුවට අවසර ලබාදී තිබේ.

ජුනි 08 පවැනිදා පාර්ලිමේන්තුවේ පැවති මුදල් කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ මහ බැංකුවේ එම වාර්තාවද ලැබුණ පසු එම වාර්තා දෙක අධ්‍යයනය කර සිය කාරක සභාවද වාර්තාවක් සකස් කරන බව සහ එම වාර්තා තුනම මහජනයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම සිදුවීමේදී මහා හොරකමක් සිදුවී තිබෙන බවද, එම මුදල් යළි සොයා ගැනීමට හැකිවේද යන්න අවිනිශ්චිත බවද, අවසානයේ එම මුදල් ගෙවීමට සිදුවන්නේ ජනතාවට බවද, ඒ සම්බන්ධයෙන් වන අපරාධ පරීක්ෂණය පොලීසිය විසින් සිදුකරනු ඇති බවද ඔහු පැවසීය.

මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ ඊමේල් හුවමාරුව හරහා බවද, එය කල් ඉකුත් වූ එකක් බවද, සර්ට් ආයතනය විසින් 2023 වර්ෂයේදී යාවත්කාලීන කරන ලෙස දැනුම් දී තිබුණත් එය සිදුකර නැති බවද ඔහු පැවසීය.

එමෙන්ම මෙම මුදල් ගෙවීමේ ක්‍රියාවලිය පිළිබඳ විශාල ප්‍රශ්න තිබෙන බවද, මහ බැංකුව එම මුදල් බැර කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද ඊට පසු සිදුකළේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Author

Related Posts