චමරිගේ දස්කම් වෙනුවට, ඇඟේ හැඩ බලන පත්තර!

මෙරටින් බිහි වූ විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සලකන චමරි අතපත්තුගේ, ක්‍රීඩා කෞෂල්‍ය වෙනුවට ඇගේ බාහිර පෙනුම සහ ශරීරය පිළිබඳ සිය අදහස් සටහන් කරමින් පුවත්පත් කිහිපයක් වාර්තාකරණයේ යෙදුණු ආකාරය එතික්ස් අයි ආයතනයේ නිරීක්ෂණයට ලක් වී තිබේ.

ක්‍රීඩාව වාර්තා කරන බොහෝ වාර්තාකරුවන් ක්‍රීඩිකාවන් ගැන වාර්තා කිරීමේදී ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය වෙනුවට ශරීර පෙනුමට මුල් තැනක් දෙන අයුරු කාලයක් තිස්සේ ප්‍රවණතාවක් ලෙස දක්නට ලැබී ඇති කාරණයකි.

එම ආයතනය පහත පළකිරීම සිදු කර තිබේ.

පුවතට අදාළ වන්නේ, ඇයගේ ක්‍රීඩා කෞශල්‍යය ද? බාහිර රූපය ද?

ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස් කොට සැලකීම්, තවමත් මාධ්‍ය තුළ දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ඇති වාර්තාකරණයන් අතර වෙනස ද වන්නේ මෙම ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ වෙනස්කම්ය.

විශේෂයෙන්ම ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය සම්බන්ධයෙන් සඳහන් කරනවා වෙනුවට, ක්‍රීඩිකාවන්ගේ බාහිර ස්වරූපය ඉස්‌මතු කිරීම් ඔස්සේ ඔවුන්ව ලිංගික වස්තූන් ලෙස හුවා දැක්වීම දක්නට හැක. නමුත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී, එසේ ඔවුන්ගේ බාහිර රූපය ඉස්‌මතු කිරීම් දක්නට නොලැබෙන තරම් වේ.

මෙසේ ක්‍රීඩිකාවන් බොහෝ විට ලිංගික වස්තූන් ලෙසින් හුවා දක්වමින් වාර්තා කිරීමත්, ක්‍රීඩකයින් සම්බන්ධයේදී ඔවුන්ගේ ක්‍රීඩාව වෙත අවධානය යොමු කිරීමත් ඔස්සේ, ඇතැම් මාධ්‍ය උත්සාහ කරන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තා දායකත්වය පුරුෂ පාර්ශවයේ දායකත්වය තරම් වැදගත් නොවන බව දැක්වීමට දැයි පාඨක අප ඇසිය යුතුයි.

මෙම පසුතලය යටතේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු සම්බන්ධයෙන් අරුණ (ජූලි 05, 2023) සහ ඉරිදා ලංකාදීප (ජූලි 09, 2023) පුවත්පත් වාර්තා කර තිබූ ආකාරය සලකා බැලිය යුතු වේ.

අරුණ – “බර අඩුකරගත් චමරී ලෝක ශ්‍රේණිගත කිරීමේ මුදුනටම නගී”

ඉරිදා ලංකාදීප – “ලොව මුදුනට රට ගෙනියන හැඩකාර චමරිගෙ දඟකාර ඉනිම්”

ඔබ සිතන ලෙසට,

1) චමරි අතපත්තු සම්බන්ධ ලිපියක සිරස්තලයන් තුළට ඇයගේ “හැඩකාර” බව, ඇය “බර අඩු කරගැනීම” වැනි කරුණු යොදාගැනීම තුළින්, ඇයගේ බාහිර ස්වරූපය ඉස්මතු නොකෙරෙන්නේ ද? ඒ අනුව මෙම සිරස්තල තුළ ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ඇගේ ක්‍රීඩා කෞශල්‍යයට සහ ඇය ක්‍රීඩිකාවක් ලෙසින් රටට ගෙන එන කීර්තියට නොවේද?

2) එසේ නම්, මෙම පුවත් සිරස්තලයන් ඔස්සේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වෙමින් ක්‍රීඩිකාවන්ව වෙනස් කොට නොසලකන්නේද?

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading