හිටපු නීතිපතිට ගෙවන්න සල්ලි නැතිකමින්, අවුරුදු 11ක් අසාධාරණයට ලක් වූවෙක්ගේ දුක් ගැනවිල්ලක් මත, මහේස්ත්‍රාත්වරියගෙන් නිදහස!

නඩුවකට නීතිඥයෙකු ලෙස ඉදිරිපත් වීමට හිටපු නීතිපතිවරයෙකු ඉල්ලු ඉහළ ගාස්තුව ගෙවාගන්නට බැරි වූ නිසා අවුරුදු 11ක් තිස්සේ අධිකරණයට යන්නට සිදු වූ තාරක මිනිනාථ නම් හිටපු ගුවන් තොටුපොළ නිලධාරියාගේ දුක් ගැනවිල්ල අසා, මීගමුව මහේස්ත්‍රාත් දර්ෂිමා ප්‍රේමරත්න මහත්මිය ඔහුව චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළාය.

මෙයට හේතු වී තිබුණේ එම චෝදනාවන්ටම ලක් වූ සිව්දෙනෙකු අතරින් තාරක එක් අයෙකු පමණක් වීමත්, අනෙක් තුන්දෙනාම මිල අධික හිටපු නීතිපතිවරයාට ගාස්තු ගෙවා, ඔහුගේ පෙනී සිටීම මත නිදහස් වීමය.

2011 අගෝස්තු 10 දින කටුනායක ගුවන් තොටුපළේදී ආගමන විගමන පනත උල්ලංඝනය කරමින්, අවිධිමත් ගුවන් බලපත්‍රයකින් නීතිවිරෝධී ලෙස පුද්ගලයෙකුට ඉතාලි යෑමට පහසුකම් සැලසුවායැයි මෙම තාරක ඇතුළු සිව්දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

ඔහු 2022 දෙසැම්බර් 28 වැනිදා අධිකරණය ඉදිරියේ විත්තිවාචකයක් ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී රජයේ නීතිඥවරයාද කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා තිබුණි.

‘මා සමග චෝදනාවට ලක් වූ අනෙක් විත්තිකරුවන් තිදෙනා නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගිය හිටපු නීතිපතිවරයෙකු ඔවුන්ගේ නඩුවට අල්ලාගත්තා.

එම නීතිඥවරයා විදුහල්පතිවරයෙකු වූ මගේ තාත්තාටත් කතා කරලා තිබුණා. නීතිපතිතුමාට කතා කරලා හතරදෙනාම නිදහස් කරලා දෙන්නම් කියලා. ඒ වෙලාවේ මගේ තාත්තාට එතුමා ඉල්ලපු ගාස්තු ගෙවන්න බැරි වුණා. ඒ වගේම මම වරදක් නොකරපු හින්දා මට එහෙම නිදහස් වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ.

අවුරුදු එකොළහක් නොකරපු වරදකට මම මේ උසාවියට ආවා. මේ සිද්ධිය නිසා මට රැකියාවත් අහිමි වුණා. මම එදා ඉතාලි යෑමට පැමිණි කිසිවෙකුට බෝඩිං පාස් එකක් නිකුත් කළේ නෑ. මට සිදු වූ මේ අසාධාරණයට ලෝකයේ වෙනත් කිසිවෙකුට නොවේවායි මා ප්‍රාර්ථනා කරනවා. මේ නඩුවේ සියලු සාක්ෂි සලකා බලා යුක්තිය ඉටු කර දෙන ලෙස මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.‘ යනුවෙන් තාරක එදින ප්‍රකාශ කර තිබුණි.

විත්තිකරුගේ විත්තිවාචකය අනුව බලවත් අසාධාරණයක් වී ඇති බව විත්තියේ නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු හා හඬා වැළපෙමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය තාරකව නිදහස් කිරීමට ඊයේ නියෝග කළාය.

ඔහු වෙනුවෙන් නීතිඥ දර්ශන කුරුප්පු සමග දිනෙරු බණ්ඩාර මහතා පෙනී සිටියේය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading