Wednesday, October 4

මරණය වෙනුවට යහපත් කොන්දේසි වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ – කල්ප මධුරංග

ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදු වන ඛේදනීය සිදුවීම් වලින් පෙනී යයි. පසු මැයි 11 වනදා සිට සමාජය තුළ දැඩි ලෙස කතා බහට ලක් වෙන මාතෘකාවක් වන්නේ කුප්‍රකට ව්‍යාපාරික සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ ආර්. රාජකුමාරි නම් ගෘහ සේවිකාව ඝාතනයට ලක් වීමයි.  මෙම සිද්ධියට අදාළව දැනට නඩු විභාගයක් සිදු වෙමින් පවතී. නමුත්  එම නඩු විභාගය දිනෙන් දින කල් යාමෙන් සිදු වන්නේ යුක්තිය ප්‍රමාද වීමයි. ආර්. රාජකුමාරිගේ සිද්ධියේදී ඇයගේ ස්වාමි පුරුෂයා කරනු දක්වමින් කියා සිටියේ යට පහරදී ඇත්තේ වැලිකඩ පොලිසියේ නිළධාරීන් විසින් බවයි. මක් නිසාද ඔහු රාජකුමාරිට අවසන් ඇමතුම ලබා ගන්නා අවස්ථාවේ එම ඇමතුමට සුධර්මා නෙත්ති කුමාර පිළිතුරු දුන් බවත් පසුව රාජ කුමාරිට කතා කිරීමට දුරකථනය දුන් බවත් පැවසීය.

පසුව රාජකුමාරී විසින් අයගේ ස්වාමි පුරුෂයා හට පවසා ඇත්තේ පොලීසිය තමාට පහර දෙන බවත්, ඔහුට පැමිණ බේර ගන්නා ලෙසත් එසේ නොපැමිණියහොත් තමා  මිය යනු ඇති බවත්ය. මීට අදාළව පසුගිය 21 වෙනිදා පැවති නඩු විභාගයේ දී සාක්ෂි විමසීම සඳහා, ආර්. රාජකුමාරිව රැකියාවට ගෙන ආ තැරව්කරු ඉදිරිපත් කර ඇති අතර ඔහු සඳහන් කරන ආකාරයට වැලිකඩ පොලීසියේ නිළධාරීන් විසින් මෙම ගෘහ සේවිකාවට ආමනුෂික අන්දමින් පහර දී ඇත.

රාජ කුමාරි මියැදී අවසන්ය. මෙවැනි සිද්ධියකදී පොලීසිය රඟ දක්වන පරණ පිටපතට අනුවම නැවත රඟ දැක්වීමේ ජවනිකාවක් ලෙස නිළධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර තවත් දෙදෙනෙකු ස්ථාන මාරු දී ඇත. මේ නඩු විභාගය සිදු වෙමින් පවතින නිසා අපට නිශ්චිතවම පූර්ව තීරණ වලට එළඹිය නොහැකි වුවත් මේ පිළිබඳව දැඩි ලෙස අවධානයෙන් සිටිය යුතු වේ. මක් නිසාද යත් රිෂාඩ් බදුර්දින්ගේ නිවසක සේවය කළ හිෂාලිනි දැරියගේ මරණයට ද යුක්තිය පේන මානයක නොමැත. මෙමගින් ගම්‍ය  වන කාරණයක් වන්නේ සාධාරණත්වයට සහ යුක්තියට ප්‍රවේශ වීමට ඇති දුෂ්කර බව හා එම දුෂ්කර බව තුළ නීතිය සහ යුක්තිය පිළිබඳව විශ්වසනීයත්වය බිඳ වැටුණු සමාජයකට සාක්ෂි එකතු වීමයි.      

ශ්‍රී ලංකාවේ ගෘහස්ත කම්කරුවන් ලෙස රැකියා කිරීම යටත් විජිත සමය දක්වා දිව යයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2020  ගෘහස්ථ කම්කරුවන් සඳහා වන සුනිසි රැකියා පිලිබඳ අධ්‍යනයට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ ගෘහස්ථ කම්කරුවන් 80000ක් පමණ වන අතර එයින් 60000ක් පමණ කාන්තාවන් වේ. එසේම ඔවුන් ගෘහ සේවයට අදාළව විවිධ රැකියා වල නිරත වන අතර ඔවුන් නිවෙස් වල නතර වී සහ යමින් එමින් සේවය කරයි.

මෙහිදී මතු වන ගැටළු කිහිපයක් වේ. ඉන් ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකාවේ රජය,  කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුව මෙම කම්කරුවන් හඳුනාගෙන ඇත්තේ කෙසේද සහ එම කම්කරුවන් වෙනුවෙන් ගෙන ඇති පියවරයන් මොනවාද යන්නය. වසර ගණනාවක් තිස්සේ මෙම කම්කරුවන් කම්කරුවන් ලෙස සලකන ලෙසත් ඔවුන් වෙනුවෙන් යහපත් රැකියා කොන්දේසි හා කම්කරු අයිතිවාසිකම් නීති ගත කරන ලෙසත් ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති ඉල්ලීම් කරමින් සිටී. නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැත. මෙවන් තත්ත්වයක් තුළ වතුකරයෙන් හා විවිධ ප්‍රදේශ වලින් කොළඹ ප්‍රමුඛ ප්‍රධාන නගර කරා ගෘහ සේවය සඳහා පැමිණෙන ගෘහස්ථ කම්කරුවන් තම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අනෙක් දුක් විඳිමින් රැකියාව කරයි.   එසේම රැකියාව කිරීමේදී එම කම්කරුවාටද තමන් කරන්නේ රැකියාවක් බව පිළිබඳව වන සිතීම අවම මට්ටමක පවතින් බව පෙනෙන අතර එම නිසාම රැකියා කොන්දේසි හෝ අයිතිවාසිකම් පිළිබඳව සිතන්නේ  නොමැති තරම්ය.

එවන් මානසිකත්වයක් තුළ හිංසනයන්ට හා පීඩාවන්ට ලක් වීම, වෙනස් කොට සැලකීමකට ලක් වීම හා ඉන් උච්චතම අවස්ථාවකදී අර්ධ වහල් තත්ත්වයෙන් ක්‍රියා කිරීම ඔවුන්ගේ මනස තුළම සාමාන්‍යකරණය වීමක් දක්නට ලැබේ. මෙම තත්ත්වයේ අවසානය වන්නේ වැඩ කිරීමට අපහසු වී ශක්තිය ක්ෂය වී ගිය පසු මාසයක හෝ දෙකක වැටුප් දී රැකියාව අවසන් කර නැවත ගෙදර යැවීමයි. බොහෝ විට එලෙස යන ගෘහස්ථ කම්කරුවා එම නිවසේ වසර 10ක් හෝ 20ක කාලයක් සේවය කර තිබෙන්නට ඇති නමුත් අවසානයෙදී කිසිදු සමාජ ආරක්ෂණයක් නොමැතිව හිස් අතින් ජිවිතයේ අවසන් කාලය දුක්ඛිත ලෙස ගෙවා දමනු අප දැක ඇත.  අප වෘත්තීය සමිති ලෙස දීර්ග කාලයක් තිස්සේ සිදු කළ ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස 2021 අගෝස්තු මස 4 වෙනිදා පාර්ලිමේන්තුවේදී සුවිශේෂී කතාවක් සිදු කළේය. එනම් ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් පිහිටුවීමටත් , ඊපිඑෆ් සහ ඊටීඑෆ්, ජාතික අවම වේතන පනත සහ පාරිතෝෂික ගෙවීමේ  පනත් සංශෝධනය කර ගෘහස්ථ කම්කරුවන්ට එම පනත් වල ආවරණය ලබා දීමට පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කරන ලදී. එය සැක හැර දැන ගැනීම සඳහා 2021 අගෝස්තු 10 දින අප අමාත්‍යංශයට ගොස් අමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව විමසූ විට ඔහු අපටද එම පොරොන්දුව ලබා දුන්නේය.

එය ඇසූ අපගේ සමහර ගෘහ සේවිකාවන් කණ්ඩායම් ලෙස එක්ව එහි සතුට සැමරූහ. නමුත් ඔවුන් එදා සැමරූ බලාපොරොත්තුවට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් එය යතාර්ථයක් කරන්නට ශ්‍රී ලංකාවේ රජය අසමත් වී ඇත.  නව කම්කරු නීති සංශෝධනය පිළිබඳව සාකච්ඡා වට 7 ක් පමණ කම්කරු අමාත්‍යංශයේ මුලිකත්වයෙන් අමත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී නූතන තාක්ෂණය සහ ප්‍රචාරණයන් සහිතව පැවැත්විණි. එහිදී නව කම්කරු නීති පිළිබඳව වෘත්තීය සමිති තම සිතීම INFLUX වේදිකාවේ දිග හරින ලද්දේ විවිධ අපේක්ෂාවන් පෙරදැරි කරගෙන විය යුතුය. අපද මෙම කම්කරු නීති සංශෝධනය ගෘහස්ථ කම්කරුවාගේ අපේක්ෂාවන් ඉටුකරන පරිදි සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව කම්කරු අමාත්‍යවරයාට ලිඛිතව යැවූ අතර අනෙක් සහෝදර වෘත්තීය සමිති ගෘහස්ථ කම්කරුවන් ගැන එම වේදිකාවේ සටහන් කිරීම අමතක කළේ නැත. නූතන ලෝකයකට (Modern world) අදාළ කම්කරු නීති ගැන කතා පවත්වන මනුෂ නානායක්කාර කම්කරු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මෙම ගෘහස්ථ කම්කරුවන් පිළිබඳව මොඩර්න් ලෙස සිතා ඇති ආකාරය පිළිබඳව බැලීමට අප අවධානයෙන් බලා සිටින්නෙමු. මක් නිසාද මේ හදන කම්කරු නීති මොඩර්න් නම් යටත් විජිත යුගයේ සේවා ක්‍රම ගෘහස්ථ කම්කරුවන් කෙරෙහි තිබිය නොහැකි අතර එවන් පැරණි කම්කරුවන් නූතන ශ්‍රම බලකාය තුළ සිටිය නොහැකිය.

එම නිසා අප ප්‍රතිඵල එනතුරු  බලා සිටින නමුත් ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් දිනා ගන්නා තෙක් ඒ වෙනුවෙන් කටයුතු කරන අතර 2021 වසරේ මෙන් නැවත නොරැවටෙන බවද සඳහන් කළ යුතුය.   මෙම ගෘහස්ථ කම්කරු දිනයේදී අප සුවිශේෂී ලෙස සිතිය යුතු කරුණක් ඇත. මෙම ගෘහස්ථ කම්කරුවන් මෙරට ආර්ථිකයට සෘජුව සහ වක්‍රව දායකත්වය සපයයි. එම නිසා මෙම කම්කරු ප්‍රජාව රට තුළ පිළිගැනීමකට ලක් කිරීමට තවත් ප්‍රමාද විය යුතු නැත. ගෘහස්ථ කම්කරුවෙකු සේවයට ගන්නා සෑම හාම්පුතෙකු විසින්ම එම කම්කරුවා ලියාපදිංචි කළ යුතුය. ඒ හරහා එම කම්කරුවාට අදාළ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුසුකම් ලැබිය යුතු අතර අනතුරු සඳහා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැලසිය යුතුය.

ජාතික අවම වේතන පනතෙන් ගෘහස්ථ කම්කරුවා සේවකයෙකු නොවන බව සලකන වගන්තිය ඉවත් කළ යුතුය. සෑම කම්කරුවෙකුම ලියාපදිංචියේදී යහපත් රැකියා කොන්දේසි සහිත පත්වීම් ලිපියකට හිමිකම් කියන අතර සාධාරණ වැටුප්, නිවාඩු, විවේකය වැනි අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය.

ගෘහස්ථ කම්කරුවන් සඳහා පඩි පාලක සභාවක් හෝ සුවිශේෂී නීතියක් සකස් කල යුතු අතර එය එම රැකියාවේ සිවිශේෂිතා ආවරණය කරන්නක් විය යුතුය.  එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2011 දී ගෘහස්ථ කම්කරුවන්ගේ රැකියාව සුනිසි රැකියාවක් බවට නොඑසේනම් ශිෂ්ට රැකියාවක් බවට පත් කිරීම සඳහා සම්මත කරන ලද C189 සම්මුතිය රට තුල අපරානුමත කළ යුතුය.  ගෘහස්ථ කම්කරු  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීති හා  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් මෙම පවතින ගැටළු වලට  විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ.

මෙයට නීතිමය ආරක්ෂණ සහ ප්‍රතිලාභ, සාධාරණ සේවා තත්ත්වයන් සහතික කිරීම සඳහා වන ක්‍රමවේදයන් සඳහා යෝජනා සකස් කිරීම අප සතු වගකීමකි. ගෘහස්ථ කම්කරුවන් හඬ වඩාත් තීව්ර වන්නේ ඔවුන්ගේ වෘත්තීය සමිති වල බලය හා ශක්තීන්  භාවිතා කර ගොඩනගනු ලබන සංවිධාන ශක්තියෙන් ගොඩ නැගෙන බලය මතය. එම බලය ගොඩ නැගීම විධිමත් අංශයේ වෘත්තීය සමිති හෝ කම්කරුවන් අතර සංවිධාන බලය ගොඩනැගීම  තරම් පහසු නොවේ. මේ සඳහා අනෙකුත් වෘත්තීය සමිති සමිති සිවිල් සංවිධාන සහ වගකිවයුතු රාජ්‍ය ආයතන වල මැදිහත් වීමද ඉතා වැදගත් වනු ඇත.

රට තුළ ශ්‍රම බලකාය නියෝජනය කරන විධිමත් අවිධිමත් අංශයේ සෑම කම්කරුවෙක්ම මේ රටේ ආර්ථිකයේ කොටස්කරුවන්ය. ඒ සෑම කම්කරුවෙක්ම ආරක්ෂා කිරීම අප සතු වගකීමකි. නැවත හිෂාලිනිලා මේ භුමිය මත අකාලයේ මියදිය යුතු නැත. ආර් රාජකුමාරිලා  ඝාතනය විය යුතු නැත. අප ජිවත් වන්නේ ශිෂ්ට මිනිසුන්  ජිවත් වන සමාජයක නම් මෙවන් ඛේදවාචක  සිදු විය  නොහැක. මේ සුවිසල් මැදුරු තුළ සියලු දෙනාට නෑසෙන මොරදීම් වේදනාවන් තිබෙන බව නිතර සිතමු. මේ අසාධාරණය නැසූ කනවා සිටීම නොපෙනී සිටීම තරම් නරුම කමක් තවත් නැත. සැබෑ මිනිසුනි ගෘහස්ත කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙලගැසෙමු.

Author

%d bloggers like this: