චීවර ප්‍රශ්නය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව රැගෙන ඒමට හැකි වන පරිදි බන්ධනාගාර රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සංශෝධනය කර සම්මත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින් සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී දැනට අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහානායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කර තිබුණා.

ඒ හා සබැඳි ශාසනික සහ සමාජීය කරුණු පිළිබඳව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, වත්මන් බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත්නිලධාරීන් ක්‍රියා කර ඇත්තේ පවතින නීති රාමුව තුළ බවයි.

පවතින නීතිය අභිබවා තනි තනි පුද්ගලයන් උදෙසා විශේෂ නියෝග දීමට තමන් සූදානම් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිදු කළ යුතුව ඇත්තේ නීතිය වර්තමානයට අනුරූප වන පරිදි සංශෝධනය කිරීම බව පෙන්වාදුන්නා.

නීති යනු සදාකාලිකව එකම තැන පවතින උත්තර ඓතිහාසික දේ නොවන අතර නිරන්තරයෙන් සංශෝධනය වන බවත් නීති එසේම තිබියදී වෙනස් නියෝග ලබාදුනහොත් නීතිය පසෙකට වී එය තමන්ගේ නීතිය වන බැවින් කිසිසේත්ම තමන්ගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා..

එමෙන්ම පෙර දිනයේ වැඳ නමස්කාර කළ හාමුදුරුවන් වහන්සේ නමක් පසුදින වෙනස් ආකාරයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවට මෙන්ම මහා සංඝරත්නයට ද දැඩි කම්පනයක් හා විමතියක් ඇති කරවන බව තමන් පිළිගන්නා බවත් යළි කිසිදු භික්ෂූන් වහන්සේ නමක් මෙවැනි තත්ත්වයකට පත් නොවිය යුතු බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කළ යුතු බව පවසා සිටියා.

මෙහිදී මහා සංඝරත්නය වෙනුවෙන් අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් පෙන්වා දෙනු ලැබුවේ, භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයටම සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බවයි.

ඒ අනුව යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයකින් වරදකරු වී වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවලදී උන්වහන්සේ අයත් වන නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳව දැනුම්දී එම නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් හා නිර්දේශ මත උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය විසින් යෝජනා කර තිබුණා.

එමඟින් මෙම සහනය අවභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවද උන්වහන්සේලා පෙන්වාදුන්නා.

මහා නායක හිමිවරුන් විසින් කරන ලද එම යෝජනාව තුළින් විනිවිදභාවයක් ඇති වන බව පිළිගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එය ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය නීතිමය රෙගුලාසි සකස් කරන ලෙසත් සති දෙකක කාලය තුළ එම කටයුත්ත අවසන් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා වෙත උපදෙස් ලබා දුන්නා.

මේ අතර ජනාධිපතිවරයා සහ මහා සංඝරත්නය අතර පැවති සාකච්ඡාවේ එකඟතාව පරිදි බන්ධනාගාර ආඥා පනත යටතේ වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පසුගිය 08 වැනිදාම සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කෙරුණා.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන් ඇතුළත් වනවා.

මෙම විශේෂ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති ප්‍රින්ස් සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 09 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දීම අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් සිදු කරනු ලැබුවා.

එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර එම සංශෝධනවල භික්ෂූන් වහන්සේලාට අදාළ යෝජනා පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා එළඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.

මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව එතැන් සිට සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට නිල වශයෙන් කටයුතු සම්පාදනය වනු ඇති බව එම මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading