පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනා 21 දක්වා රිමාන්ඩ්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ඔක්තෝබර් 07) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ බව සඳහන් පළමු සැකකරු වන යාසිම් බාවා ජෙගිල්පාස් සහ දෙවැනි සැකකරු වන සරත් සමන්ත නමැති බුද්ධි නිලධාරීන් දෙදෙනාය.

සැකකරුවන් දෙදෙනා අද බන්ධනාගාරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුවේ තෙවැනි සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ නම් කර තිබේ.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කළේය.

CIDය අධිකරණයට දැනුම් දී ඇත්තේ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ලැබුණු බව කියන ඇතැම් තීරණාත්මක තොරතුරු සහ ඒවා ඉහළ නිලධාරීන් වෙත වාර්තා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැකකරුවන් ලබාදී ඇති ප්‍රකාශ සහ සාක්ෂි විශ්ලේෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඒ අනුව නඩුව ලබන 21 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Author

1 Comment

  • හමුදාවේ නිලධාරීන් කොහොමද පොලිස් බුද්ධි නිලධාරීන් උනේ?

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading