“බුලත් විටේ දුම්කොළ තිබුණොත් පොලිසියෙන් අල්ලලා, සංස්කෘතියට ගහනවා” ආණ්ඩුව එළවන එක එළවනවාමයි – වජිර අබේවර්ධන

බුලත් විට සඳහා දුම්කොළ භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් ශතවර්ෂ ගණනාවක් පැරණි මෙරට දේශීය සංස්කෘතිය විනාශ කිරීමට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට වත්මන් පාලනය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ 159ක් සිටියද වැඩි කාලයක් යන්නට මත්තෙන් නියත වශයෙන්ම වත්මන් ආණ්ඩුව පලවා හරින බව එහිදි ඔහු සඳහන් කළා.

ගාල්ල නගර ශාලාවේදී පැවති “සත්‍ය දිනවමු, හොරුත් බොරුත් පරදවමු” මැයෙන් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණය අමතමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව පෙරළීමට වෙනත් කිසිවෙකු අවශ්‍ය නොවන බවත් ඔවුන් විසින්ම සිදුකරන විනාශකාරී ක්‍රියාකලාපයන් නිසාම මෙම පාර්ලිමේන්තුව නියමිත කාලයට බොහෝ කලින් අවසන් වන බවයි.

ශ්‍රී ලාංකේය ඉතිහාසය හා බැඳී පවතින බුලත් අතක් සම්පූර්ණ වීමට පවා දුම්කොළ අවශ්‍ය වන සංස්කෘතියක් තිබියදී, බුලත් විටේ දුම්කොළ තිබුණහොත් නඩු පවරන තත්ත්වයක් උදාකර ඇතැයි වජිර අබේවර්ධන චෝදනා කළා.

සිගරට් සමාගම්වලට දුම්කොළ විකිණීමට නිදහස තිබියදී සාමාන්‍ය ජනතාවගේ බුලත් විටේ දුම්කොළ තහනම් කරන්නේ සංස්කෘතිය විනාශ කිරීමට බව පැවසූ ඔහු පෙන්වාදෙන්නේ, විහාරස්ථාන මෙන්ම බෞද්ධ හා මුස්ලිම් දහම් පාසල් පවා දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.

පවතින ආර්ථික විද්‍යාත්මක පසුබිම අනුව ආණ්ඩුවට වැඩිදුර යා නොහැකි බවත් ජනතාව එක්වේලක් පමණක් ආහාරයට ගන්නා තරමට ජීවන තත්ත්වය දරුණු ලෙස කඩා වැටී ඇති බවත් ඔහු පැවසුවා.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට මන්ත්‍රී ආසන 159ක් තිබුණද ඔවුන්ම දිනපතා ආණ්ඩුව පෙරළා ගැනීමේ මාවත සකස් කරගනිමින් සිටින බැවින් විපක්ෂය සූදානම් විය යුත්තේ ආණ්ඩුව වැටුණු පසු රට ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ සැලසුම් සකස් කිරීමට බව වජිර අබේවර්ධන පෙන්වාදෙනවා.

එමෙන්ම ඔහු පවසන්නේ, රටත් ජාතියත් ගොඩනැගීම වෙනුවෙන් විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් එකමුතුව කටයුතු කිරීම ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය බවයි.

මේ අතර තමන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ 12කට මුහුණ දී ඉන් 5කදීම ලක්ෂයකට වැඩි මනාප ලබාගෙන ඇති බව පැවසූ ඔහු, පසුගිය මහ මැතිවරණයට තරග නොකළේ රටේ සිදුවන දේශපාලන පරිවර්තනය හොඳින් නිරීක්ෂණය කිරීම සඳහා බවත් මෙම පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට සිදුවන බවත් වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading