හේමරතනගේ ෆයිල් එක නීතිපතිට! විමර්ශන ඉවරයි!

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ, අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ලබන 22 වන දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබුවා.

ඒ මෙම සිද්ධියට අදාළව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (15) පැවති නඩුකරයේ දී යි.

එහි දී නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බවත්, අදාළ විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බවත් ය.

කෙසේ නමුත් කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර හිමිනම වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළම ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙම නඩුකරයේ දී සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ, තම සේවාදායකයා වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන ලෙසත් ය.

ඒ අනුව, ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මෙම නඩුව යළි එළැඹෙන 22 වන දින කැඳවීමට තීන්දු කළ අතර, සැකකාර හිමිනම එදිනට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කරනු ලැබුවා.

මේ අතර, සැකකාර හිමිනම වෙත තම බාලවයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයක් සඳහා චේතාන්විතව ම මුදලට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් දිසානායක අධිකරණයෙන් කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් නියෝග කළේ, සැකකාර දැරියගේ මව මේ මස 22 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්‍රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න අද අධිකරණයේ පෙනී අතර, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වනු ලැබුවා.

මෙහි දී සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 20 දෙනෙක් පමණ පෙනී අතර, වින්දිත දැරියගේ මව වෙනුවෙන් නිතීඥ ප්‍රදීප් දිසානායක පෙනී සිටිනු ලැබුවා.

නමුත්, දූෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් පෙනී නොසිටීම විශේෂත්වයක්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading