ශිරන්තිගේ නමට ලිව්ව, නානායක්කාරගේ කොළඹ හතේ ගෙදර! ළගදීම රජයට පවරාගනීවිද?

කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි අංක 260/17 දරන ලිපිනය අද වන විට සාමාන්‍ය නිවසක් නොවේ. එය එක් අතකින් නාමල් රාජපක්ෂ මහතාගේ CSN නාලිකාවේ ලියාපදිංචි ලිපිනයයි. අනෙක් අතින්, රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මැදුරකි. මේ වෙද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ මැදුර ගැන විමර්ශනයක නිරත වේ.

මෙම නිවස වසර දහයකට පමණ පෙර මිලදී ගෙන ඇත්තේ “මේරි ලූඩ්ස් වික්‍රමසිංහ” යන නමිනි. මෙය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ උප්පැන්න සහතිකයේ සඳහන් සැබෑ නම වුවත්, ඇය දේශපාලන කරළියේ එම නම භාවිතා කළේ ඉතා කලාතුරකිනි.

ඇය නිවස මිලදී ගැනීමටත් පෙර, එනම් 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී කුලී පදනම මත පදිංචිව සිටි මෙම නිවස, පසුව සින්නක්කරවම මිලදී ගෙන තිබුණේ රුපියල් මිලියන 35ක වැනි සොච්චම් තක්සේරුවකට බව වාර්තා වේ. ශිරන්ති රාජපක්ෂගෙන් මෙම මුදල් උපයාගත් ආකාරය පිළිබද විමසීම් කර තිබුණි. ඇයගෙන් තවම මුදල් උපයාගත් ආකාරය ගැන පැහැදිලි කර නැත.

මෙම මිලදී ගැනීමේදීද සැබෑ ලෙස මුදල් ගෙවීමක් සිදු කර තිබෙන්නේද යන්න අපැහැදිලිය. නමුත් මෙහි සැබෑ වටිනාකම රුපියල් කෝටි 40ක් හෙවත් මිලියන 400ක් පමණ වනු ඇතැයි වාර්තා විය.

මෙම ගනුදෙනුවේ ඇති බරපතළම ගැටලුව වන්නේ මුදල් ගෙවූ ආකාරයයි. අදාළ ඔප්පුව ලියූ නොතාරිස්වරයා පවසා ඇත්තේ තමන් ඉදිරිපිට කිසිදු මුදල් හුවමාරුවක් සිදු නොවූ බවයි. ශිරන්ති රාජපක්ෂ මහත්මිය පවසන පරිදි, නිශාන්ත වික්‍රමසිංහගේ (හිටපු ශ්‍රී ලංකන් සභාපති) පුත්‍රයා විසින් ප්‍රභාත් නානායක්කාරගෙන් මෙම ඉඩම මිලදී ගෙන පසුව ඇයට පවරා ඇති බවය. ඒ සඳහා ඔහු “අත්පිට මුදල්” ගෙවූ බව කියැවේ. එනම් මුදල් ගෙනැවිත් දුන් බවය. එහෙත් සැබෑ ලෙසම මුදල් දුන්නාද යන්න සැකයකි. අනෙක් අතට මෙම “අත්පිට මුදල්” වල ප්‍රභවය කුමක්ද යන්න දැන් පැනනැඟී ඇති ප්‍රධාන ප්‍රශ්නයයි.

අනෙක් අතට දැනට පවතින තවක් සැකයක් වන්නේ ප්‍රභාත් නානායක්කාර නම් ව්‍යාපාරිකයාට අධිවේගී මාර්ග ඉදිකිරීම් ඇතුළු නොයෙකුත් ව්‍යාපෘති පැවරීම වෙනුවෙන් අල්ලසක් ලෙස මෙම නිවස පැවරුවාද යන්නයි. මෙම නිවස රාජපක්ෂ පවුලට ලබා දී ඇත්තේද අල්ලසක් ලෙසද යන්න සැකයක් පවතී. විමර්ශන සිදු කරන්නේ ඒ සැකය මත පදනම් වෙමිනි.

මෙම විමර්ශනයේදී රජය භාවිතා කරන්නේ 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත (Proceeds of Crime Act) වේ.

පනතේ 34 (1) වගන්තිය අනුව, යම් පුද්ගලයෙකු සතු දේපළක් ඔහුගේ නීත්‍යානුකූල ආදායමෙන් ලබාගත නොහැකි එකක් නම්, එය අපරාධයකින් උපයාගත් දේපළක් ලෙස අධිකරණයට උපකල්පනය කළ හැකිය.

පනතේ 34 (3) වගන්තිය යටතේ, එම දේපළ අපරාධයකින් උපයාගත් එකක් නොවන බව ඔප්පු කිරීමේ සම්පූර්ණ බර පවතින්නේ සැකකරු මතමය.

පනතේ 68 (1) වගන්තිය අනුව විමර්ශන නිලධාරීන්ට ඕනෑම සැක කටයුතු දේපළක් ගැන ප්‍රශ්න කිරීමට සහ තොරතුරු ඉල්ලා නොතීසි නිකුත් කිරීමට බලය ඇත.

පනතේ 71 (1) වගන්තිය අනුව, යම් දේපළක් අපරාධයකින් උපයාගත් එකක් බවට සැක නම්, එය පැවරීම හෝ විකිණීම වැළැක්වීමේ නියෝග නිකුත් කළ හැකිය. දැනට ටොරින්ටන් නිවසට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මෙම බලතලයයි.

ඊළඟ පියවර: නිවස රාජසන්තක වෙයිද?

පනතේ 125 සහ 126 වගන්ති අනුව, මෙම ක්‍රියාවලිය “වරදකරු කිරීම මත පදනම් නොවන රාජසන්තක කිරීමක්” (Non-conviction based forfeiture) දක්වා ගෙන යා හැකිය. එනම්, ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව අපරාධ නඩුවක් පවරා එය ඔප්පු වන තෙක් නොසිට, දේපළෙහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් පමණක් වුවද එම නිවස රාජසන්තක කිරීමට රජයට බලය ලැබේ.

විමර්ශන කණ්ඩායම් දැනුම් දී ඇත්තේ දින 90 ඇතුළත මෙම කරුණු මහාධිකරණය හමුවේ ගොනු කළ යුතු බවයි. පනතේ 127 (17) වගන්තිය ප්‍රකාරව, යම් හෙයකින් කිසිදු පාර්ශවයකට මෙම දේපළ නීත්‍යානුකූලව උපයාගත් බව ඔප්පු කිරීමට නොහැකි වුවහොත්, එම දේපළ රජයට පවරා ගනු ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading