සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු වන චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද නමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අද (05) අධිකරණ අවසරය ලබා දී තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන රැසක් ක්‍රියාත්මක වේ. එම ඝාතනය මෙහෙයවීම හෝ ඊට අනුබල දීම සම්බන්ධයෙන් සැක සහිත කරුණු අනාවරණය කර ගැනීම සඳහා දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන ‘ගණේමුල්ල සංජීව’ හෙවත් සජීව කුමාර සමරරත්න නැමැත්තා ඉලක්ක කර ගනිමින් පසුගිය පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදීම මෙම බීහිසුණු වෙඩි තැබීම සිදු කෙරිණි.
කෙසෙල්වත්ත පොලිස් වසමට අයත් මෙම අධිකරණ පරිශ්‍රය තුළ නඩු වාරයක් සඳහා ඔහු පෙනී සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදු වූ අතර, ඒ සඳහා වෙඩික්කරුට සහාය වූ බව කියන 25 හැවිරිදි පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව ද වෙඩික්කරු සමඟ අධිකරණ භූමියට පැමිණ තිබූ බව විමර්ශනවලදී අනාවරණය විය.
