දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ එක් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හා එය සංශෝධනයට ලක්කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැයි 05 දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
දේශීය ආදායම් සංශෝධන පනතේ 34(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ධාධිකරණය තීරණය කර තිබෙන අතර එය ‘වැරදි සඳහා නඩු පැවරීම’ යනුවෙන් දේශීය ආදායම් සංශෝධන පනතට අලුතෙන් ඇතුළත් කර ඇති වගන්තියකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නිගමනයට අනුව, අදාළ වගන්තිය මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නඩු පැවරීමේ පරම බලය පැවරීම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව නිරීක්ෂණය වී ඇත. සාපරාධී වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමේ සහ ඒවා මෙහෙයවීමේ වගකීම නීතිපතිවරයා සතු ස්වාධීන බලයක් බවත්, විධායක නිලධාරියෙකුට එම බලතල පැවරීම මගින් යුක්ති සහගත නීතිමය ක්‍රියාවලියකට බාධා පැමිණවිය හැකි බවත් නිරීක්ෂණය වී තිබේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා රජය මෙම කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ බදු පරිපාලනය වඩාත් විධිමත් කිරීමේ සහ බදු පැහැර හරින්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කඩිනම් කිරීමේ අරමුණෙනි. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස මෙම නව සංශෝධන හඳුන්වා දී ඇති අතර, එහිදී මීට පෙර පැවති නඩු පැවරීමේ ක්‍රියාවලිය වඩාත් දැඩි කිරීමට මෙම 34(1) වගන්තිය යෝජනා කර තිබුණි.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ අදාළ වගන්තිය සංශෝධනය කර නඩු පැවරීමේ ක්‍රියාවලිය ‘නීතිපතිවරයාගේ අනුමැතිය හෝ උපදෙස් මත’ සිදු විය යුතු බවට වෙනස් කරන්නේ නම්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවයි. එවැනි සංශෝධනයක් සහිතව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් ඒ සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන අතර පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කර ගැනීමට රජයට හැකියාව පවතී.
මේ අනුව, අධිකරණයේ නිර්දේශයන්ට අනුකූලව පනත් කෙටුම්පතේ අදාළ වගන්ති සංශෝධනය කර ඉදිරි පාර්ලිමේන්තු දිනයකදී එය විවාදයට ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
