එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන මතභේදාත්මක එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ විමර්ශනවලට අදාළව, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (22) වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එසේම සිද්ධියට අදාළ තවත් සැකකරුවකු වන ශමීන්ද්‍ර රාජපක්ෂ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තු ක්‍රියාත්මක කිරීමට මෙතෙක් පියවර නොගැනීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැඩි ලෙස විමසා සිටියේය. එම සැකකරු ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මෙහිදී CID නිලධාරීන්ට නියෝග කර ඇත.

මේ අතර, අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති අදාළ සිද්ධියටම සම්බන්ධ තවත් නඩුවකට අදාළව, හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව නැවත මැයි මස 20 වනදා කැඳවීමට නියෝග කළේය. එදිනට සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවේ නම්, ඔහුව විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද බන්ධනාගාර බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙරිණි.

2013 වසරේදී එවකට පැවති රජය යටතේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර් බස් (Airbus) සමාගමෙන් A330 යානා 6ක් සහ A350 යානා 8ක් වශයෙන් නව ගුවන් යානා 14ක් මිලදී ගැනීමට සහ බදු පදනම මත ලබා ගැනීමට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක දැවැන්ත ගනුදෙනුවකට එළඹ තිබේ. කෙසේ වෙතත්, මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීම සඳහා එයාර් බස් සමාගම විසින් ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට පසුව බරපතල චෝදනා එල්ල වූ අතර, විමර්ශන මගින් අනාවරණය වූයේ අදාළ ඇණවුම ලබා ගැනීම වෙනුවෙන් එයාර් බස් සමාගම ඩොලර් මිලියන 16.8ක කොමිස් මුදලක් ලබා දීමට පොරොන්දු වී ඇති බවයි.

එම එකඟතාවය අනුව, ඉන් ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ ලියාපදිංචි කරන ලද ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් එවකට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට දූෂණ විමර්ශන ඒකක මගින් චෝදනා කර ඇත.

මෙම වංචාව මුලින්ම හෙළිදරව් වූයේ ශ්‍රී ලංකාව තුළින් නොව, බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය (Serious Fraud Office – SFO) මගින් ක්‍රියාත්මක කරන ලද සුවිශේෂී පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි. එයාර් බස් සමාගම ලොව පුරා විවිධ රටවලට ගුවන් යානා අලෙවි කිරීමේදී අල්ලස් ලබා දී ඇති බවට එල්ල වූ බරපතල චෝදනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු බලධාරීන් ඒකාබද්ධව පරීක්ෂණ පැවැත්වූ අතර, එහිදී අල්ලස් ලබා දුන් රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ද ප්‍රමුඛස්ථානයක පසුවන බව අනාවරණය විය. මෙම ජාත්‍යන්තර විමර්ශන හමුවේ එයාර් බස් සමාගම තමන් අතින් සිදුවූ වරද පිළිගත් අතර, ඒ හේතුවෙන් ඔවුන්ට අතිවිශාල දඩ මුදලක් ගෙවීමට ද සිදුවිය.

ජාත්‍යන්තර වාර්තා නිකුත් වීමත් සමඟ මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ වූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව පුළුල් විමර්ශන දියත් කරන ලදී. මෙහි ප්‍රධාන සැකකරුවෙකු ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා නම් කෙරුණු අතර, අල්ලස් වශයෙන් ලැබුණු මුදල් ලබා ගැනීම සඳහා සිංගප්පූරුවේ ලියාපදිංචි කළ ව්‍යාජ සමාගමක අධ්‍යක්ෂවරියක ලෙස පෙනී සිටිමින් ඊට ආධාර අනුබල දුන් බවට ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මියට ද චෝදනා එල්ල විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading