කාන්තාවකගේ කොණ්ඩය කපා දැමීමේ සිද්ධියෙන් ඔබ්බට : සැබෑ වින්දිතයා කවුද ?

චූලානන්ද සමරනායක

වර්තමානය යනු කිසිවක් සිතා ගන්නටත් ඉඩක් නොලැබෙන අයුරින් සිදුවීම් හටගන්නා, ඒ ගැන කතාබස් විදුලි වේගයෙන් පැතිර යන කාලයකි. ප්‍රතිචාර ලැබෙනුයේ ඉතා වේගයෙනි. එහෙත් මේ සියල්ල මැද බොහෝ විට අපට වැදගත්ම පාර්ශවයන් මගහැරෙයි.

රෙදිපිළි අලෙවිසැලක බඩු සොරකම් කිරීමේ චෝදනාවට වියපත් කතකගේ කොණ්ඩය කපනා වීඩියෝ පටය මේ වන විට සෑහෙන සාකච්ඡාවට බඳුන්ව හමාරය. ඒ වියපත් කතගේ කොණ්ඩය කපනා දර්ශනය මෙන්ම ඇය අසරණව සිටින ආකාරයත් ඇයට එරෙහිව ඇගේ පීඩකයන් කටයුතු කරනා ආකාරයත් දැන් රටම දනී.

එසේම එහි ප්‍රතිපලයක් ලෙස කොණ්ඩය කැපීමට දායක වූ කත ඇතුළුව අදාල සිදුවීමට හවුල් කිහිප දෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

කවර නීති විරෝධී කටයුත්තකදී වුව නීතිය අතට ගැනීමට කවර පුරවැසියකුට වුව අයිතියක් නැති බව අවිවාදිතව පිලිගනු ලබන්නකි. එසේම මේ සිදුවීමේදී අදාල කතට හිංසා කරනා පිරිස බරපතල වරදක් කරන බවද අවිවාදිතය. එහෙත් මේ තත්වය පිටුපස ඇති පසුබිමද අප සැලකිල්ලට ගත යුතුව තිබේ. එහෙත් ඒ පීඩකයන් නිදහස් විය යුතුය යන අදහසින් නොවේ. මේ පවත්නා තත්වයන් පිටුපස ඇති සංකීර්ණතාවන් වටහා ගැනීම පිණිසය.

වියපත් කාන්තාවගේ කොණ්ඩය කපනා අතර පීඩකයන් පවසන වදන් තුළින් ගම්‍ය වන දෙයක්ද තිබේ. ඒ දිගු කාලයක් තිස්සේ මේ වෙළඳ සැලෙහි සොරකම් සිදුව ඇති බවයි. ඒ දෙබස් අතර එක් දෙබසක් මේ ආකාරය.

“යකෝ අපි කොච්චර නං සර්ලගෙන් බැනුම් ඇහුවද.”

ඒ කියනුයේ සිදුව ඇති සොරකම් නිසා වෙළඳ සැලේ සේවකයන් කළමණාකාරීත්වය සහ හිමිකරුවන් හමුවේ පීඩනයට ලක්ව ඇති ආකාරයයි. මේ පීඩකයන් ලෙස කටයුතු කරනා පිරිස්ද ඉහල වැටුප් ලබන්නන් නොවන බව ලංකාවේ ශ්‍රම වෙළඳපල ගැන දන්නෝ දනිති. ඔවුන් වැඩ කරනුයේද අවම වැටුප් මතය. එසේම සේවා මුරයන්ද දිගුය. අනෙක් අතින් උත්සව සමය යනු ඔවුන් හට දරාගන්නට නොහැකි විඩාබර කාලයකි. අවුරුද්දට පෙර දින ලංකාවේ ප්‍රකට “සුපර්-මාරකට්ටුවකට” ගොඩ වැදුනෙමි. එහි බඩු කිරනා තරාදියක් අස හොඳටම හෙම්බත්ව සිටිනා දියණියකි. ඇය වැඩ කරනුයේ යාන්ත්‍රිකවය. මගේ දියණියගේ වයසේ පසුවන ඇය දෙස බොහෝ වේලාවක් බලා සිට මම මහන්සිද පුතේ යයි ඇසීමි. ඇය එවේලේ පෑ මදහස මට දැනුදු වදනට නගන්නට නොහැකිය. මම එහිම සිටි තවත් තරුණයෙකුගෙන් අවුරුදු නිවාඩුව ගැන ඇසීමි.

“එහෙම එකක් නෑ සර්. අපි කණ්ඩායම් හැටියට මාරුවෙන් මාරුවට ගෙවල්වල යනවා.”

“එතකොට මේ දවස්වල ඉන්නෙ?”

“බෝඩිමේ තමයි.”

වැටුපක් ලබනා විට වැඩ කරන්නට සිදුවන බව සත්‍යයකි. එහෙත් වැටුප සහ ඉටු කරනා සේවය අතර පරතරය අප සලකා බලන්නේ නැත. ඉහත රෙදි වෙළඳසැලෙහි දෙබසින් කියවෙනුයේ සොරකම් හේතුවෙන් තමන් තම පාලකයන් ඉදිරියේ අසරණව සිටින ආකාරයයි. සමහර විට සිදුවන පාඩු වල අලාභය අඩුවනු ඇත්තේද සේවකයන්ගේ වැටුපින් විය හැකිය.

එවන් තත්වයක් යටතේ තමන් හට අසුවන පුද්ගලයා පිටින් සියළු කෝපය පිටකර හරින්නට සේවකයන් උත්සුක වූ අතර අවසන අත්අඩංගුවට පත්වන්නට සිදුවූවේද ඔවුන්ටමය. මේ කිසිවකින් ඔවුන් අතින් වූ දෙය නිවැරදි යයි නොකියමි. එහෙත් අප මතුපිටින් බලනා විට දකිනා තත්වයට වඩා අභ්‍යන්තරය සංකීර්ණ බවත් මෙවන් සිදුවීම් වලදී බොහෝ අය වින්දිතයන් බවත් පමණක් කියමි.

අප වෙනස් කළ යුතුව ඇත්තේද පීඩිතයා ගේ පීඩකයා බවට පීඩිතයාම පත් කරනා මේ සමාජ ක්‍රමයයි. එය ලෙහෙසි නැත. නමුත් ඒ සඳහා වැඩ නොකරන තුරුම අපට පීඩනය දෛනික අත්දැකීම වනු නියතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading