සමිල ද සිල්වා ලියන ලද සටහනකි
ඇමරිකාවේ පැවැත්වුණු “සාම පාගමන” තුළින් දිස් වූ නිහඬ සහ ශාන්ත ස්වරූපය ශ්‍රී ලංකාවේදී දැකගත නොහැකි වීම පිළිබඳව බොහෝ දෙනා විවේචනාත්මකව අදහස් දක්වති.
බැලූ බැල්මට එහි සත්‍යතාවක් ඇති බව පෙනුනද, මෙම තත්ත්වය දෙස වඩාත් තාර්කිකව බැලීමේදී අප රටවල් දෙකේ පවතින “භූගෝලීය සාධක” කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ඇමරිකාව යනු අතිවිශාල භූමි ප්‍රමාණයක් හිමි රටකි.
ටෙක්සාස් සිට වොෂින්ටන් ඩීසී දක්වා වැටී ඇති මාර්ගය සැතපුම් දහස් ගණනක දිගකින් යුක්ත වන අතර, එහි ජනාවාස පවතින්නේ නගර ආශ්‍රිතව පමණි.
විශාල නගර දෙකක් අතර සැතපුම් 500-600 ක පමණ දුරක් පවතින අතර, එම අතරමැදි ප්‍රදේශ හුදෙක් හිස් භූමියක් හෝ පාළු මාර්ගවලින් සමන්විතය.
මෙවැනි හුදකලා පරිසරයක සාම පාගමන සිදුවන විට, බාහිර බාධාවලින් තොරව එම “සාමය” නිරූපණය වීම ස්වභාවිකය.
එසේම එකල මෙම හිමිවරුන් ඇමරිකාව තුළ එතරම් ප්‍රසිද්ධියට පත්ව නොසිටීම ද එම පාගමනේ හුදකලා බව රැක ගැනීමට ඉවහල් විය.
නමුත් එම පාගමනම ශ්‍රී ලංකාවට පැමිණෙන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගනී.
මේ වන විට සමාජ මාධ්‍ය හරහා මෙම ස්වාමීන් වහන්සේලා සහ “ආලෝකා” සුනඛයා පිළිබඳව ලෝකයම දැනුවත්ව සිටි අතර, එය ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක් තුළ විශාල ආකර්ෂණයක් ඇති කිරීමට සමත් විය.
විශේෂයෙන්ම වසර දෙදහසකට අධික ථේරවාදී බෞද්ධ උරුමයක් ඇති, ජනගහනයෙන් 70% කට වඩා බෞද්ධයන් වෙසෙන රටක, මෙවැනි ආගමික නැඹුරුවක් සහිත ක්‍රියාවක් කෙරෙහි ජනතාව දක්වන ප්‍රතිචාරය ඇමරිකාවට වඩා බෙහෙවින් වෙනස්ය.
ශ්‍රී ලාංකීය ජනතාව තුළ පවතින ගැඹුරු ශ්‍රද්ධාව නිසාම, පාන්දර පැවැත්වෙන කඨින පෙරහැරක් බැලීමට පවා ඔවුන් පාරට බැසීමට පසුබට නොවන සංස්කෘතියක් අපට ඇත.
අනෙක් අතින්, ශ්‍රී ලංකාවේ මෙම පාගමන සඳහා තෝරාගත් මාර්ගය දෙස බැලීමේදී පෙනී යන්නේ එය අනුරාධපුර, දඹුල්ල, මාතලේ සහ මහනුවර වැනි අතිශය ජනාකීර්ණ සහ බෞද්ධ පූජා භූමි කේන්ද්‍ර කරගත් නගර හරහා වැටී ඇති බවයි.
ඇමරිකාවේ මෙන් නොව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග දෙපස සෑම විටම ජනාවාස සහ වෙළඳසැල් පවතී. මෙවැනි පරිසරයක, තමන් මහත් සේ ගරු කරන සංඝරත්නය වන්දනා කිරීමටත්, ඔවුන්ට දානය හෝ පිරිකර පූජා කිරීමටත් ජනතාව රොක් වීම වැළැක්විය නොහැක.
අනික් වැදගත් දේනම් ඇමරිකාවේදී මෙම පාගමන ඔවුන්ට අමුත්තක් ලෙස පෙනුණත්, ශ්‍රී ලංකාවේ මිනිසුන්ට මෙය පින්කමක් නිසා, නිතැතින්ම මිනිස්සු එයට සම්බන්ධ වෙන්න උත්සහා කරනවා.
එබැවින්, භූගෝලීය වශයෙන් හුදකලා වූ ඇමරිකාවේ අත්දැකීම, අධික ජනගහනයක් සහ දැඩි ආගමික බැඳීමක් සහිත ශ්‍රී ලංකාව වැනි රටකදී ඒ අයුරින්ම බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවන බව පැහැදිලිය!
