අප්‍රේල් 26 වැනිදා තුවක්කු සහ පිහිවලින් සන්නද්ධ වූ පුද්ගලයෙකු, සෙනසුරාදා රාත්‍රියේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තවත් ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නායකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වූ ස්ථානයෙන් පිටත පිහිටි හෝටල් ආලින්දයට (lobby) කඩා වැදුණි.
ඔහු උත්සව ශාලාව දෙසට වේගයෙන් දිව එද්දී රහස් සේවා (Secret Service) නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඔහුව වටකර අත්අඩංගුවට ගත්හ.
රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වී අමුත්තන් ආහාර ගනිමින් සිටියදී ශාලාව පිටුපසින් එක්වරම “පහත් වන්න, පහත් වන්න!” යනුවෙන් කෑගැසීම් ඇසෙන්නට විය. ඒ සමඟම ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා සහ මෙලානියා ට්‍රම්ප්ව වේදිකාවෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගියහ. ශාලාවේ සිටි මාධ්‍යවේදීන් සහ අමුත්තන් මේස යට සැඟවී ආරක්ෂාව සෙවූ අතර, සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ව බිම දිගා කර පසුව ඔවුන්ව ද එකින් එක ඉවත් කිරීමට කටයුතු කළහ.
සිද්ධිය දිග හැරෙද්දී උත්සවයට පැමිණ සිටි මාධ්‍යවේදීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු අමුත්තන් ආරක්ෂාව පතා මේස යටට වී සැඟවුණු අතර, උත්සවය පැවැත්වූ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පිහිටි විශාල භූගත උත්සව ශාලාවෙන් පිටත වෙඩි හඬ ඇසුණු බව ඇතැම්හු වාර්තා කර තිබුණි.
එක් රජයේ ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ තුවක්කුකරුවෙකු වෙඩි තැබූ බවයි. වෙඩි නොවදින ඇඳුමක් (bullet-resistant vest) ඇඳ සිටි ආරක්ෂක අංශ නිලධාරියෙකුට වෙඩි වැදී ඇති නමුත් ඔහුගේ තත්ත්වය යහපත් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයට තොරතුරු ලබා දුන් ආරංචි මාර්ග කිහිපයක් සඳහන් කර තිබුණි.
ට්‍රම්ප් විසින් “මානසික ලෙඩෙක්” (sick person) ලෙස හැඳින්වූ වෙඩි තැබීමේ සැකකරු, කැලිෆෝනියාවේ ටොරන්ස් හි පදිංචි 31 හැවිරිදි කෝල් ටොමස් ඇලන් (Cole Tomas Allen) ලෙස හඳුනාගෙන ඇති බව සීබීඑස් ඇතුළු මාධ්‍ය ආයතන මේ වෙද්දී වාර්තා කර තිබේ.
ඔහු ෂොට්ගන් වර්ගයේ තුවක්කුවක්, අත් තුවක්කුවක් සහ පිහි කිහිපයක් ද රැගෙන හෝටලයේ ලොබියේ තිබූ රහස් ඔත්තු සේවා මුරපොලක් දෙසට කඩා වැදී ඇත.
පොලිස් ප්‍රධානී ජෙෆ්රි කැරොල් ප්‍රකාශ කළේ සැකකරු අවම වශයෙන් එක් වෙඩිල්ලක් හෝ තබා ඇති බවට විශ්වාස කරන බවයි. එක් රහස් ඔත්තු සේවා නිලධාරියෙකුට වෙඩි වැදී ඇති නමුත්, ඔහු ඇඳ සිටි වෙඩි නොවදින ඇඳුම (Ballistic Vest) හේතුවෙන් ඔහුට බරපතල තුවාල සිදුව නොමැත. සැකකරුට වෙඩි වැදී නොමැති අතර, ඔහු දැනට දේශීය රෝහලක වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කෙරෙමින් පවතී.
CNN පුවත් සේවයේ ප්‍රකට නිවේදක වුල්ෆ් බ්ලිට්සර් ප්‍රකාශ කළේ ඔහු වෙඩික්කරුට අඩි කිහිපයක් දුරින් සිටි බවයි. “ඔහු වෙඩි තැබීම ආරම්භ කළ පසු මම ඔහුව බිම වැටී සිටිනවා දුටුවා. ඔහු සතුව ඉතා භයානක ආයුධයක් තිබුණා,” ඔහු පැවසීය.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී කොන්ග්‍රස් සභික ජේමි රැස්කින් පැවසුවේ ආරක්ෂක නිලධාරියෙකු ඔහුව බිමට තල්ලු කර ආරක්ෂාව සැපයූ බවත්, එම අවස්ථාවේ මුළු ශාලාවම භීතියට පත්ව සිටි බවත්ය.
මෙම සිදුවීමෙන් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. සිද්ධියෙන් පැය දෙකකට පසු මෙම මාධ්‍ය හමුවට ටක්සිඩෝවෙන්ම සැරසී පැමිණියේය.
“ඔබ බලපෑමක් ඇති කරන පුද්ගලයෙකු වන විට ඔවුන් ඔබ පසුපස එනවා. ඔබ බලපෑමක් නොමැති අයෙකු නම් ඔවුන් ඔබව තනි කරනවා. ඔහු තනිව ක්‍රියා කළ අයෙකු (lone wolf) බව බලධාරීන් විශ්වාස කරන බව පෙනෙනවා.”
මෙම සිදුවීමට වෙනත් කිසිවෙකු සම්බන්ධ බවට වහාම සාක්ෂි හමු නොවූ අතර, වොෂින්ටන් නගරාධිපතිනී මුරියල් බවුසර් ද ප්‍රකාශ කළේ වෙනත් අයෙකු මෙයට සම්බන්ධ බව විශ්වාස කිරීමට හේතුවක් නොමැති බවයි. ට්‍රම්ප් විසින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ සැකකරු ආරක්ෂක බාධක පසුකර දිව යන අතරතුර රහස් ඔත්තු සේවා නිලධාරීන් ඔහු පසුපස හඹා යන ආකාරයයි.
“මේ අවස්ථාවේ මහජනතාවට කිසිදු අනතුරක් ඇති බවක් පෙනෙන්නට නැහැ,” යනුවෙන් නගරාධිපතිවරිය වෙනත් මාධ්‍ය හමුවකදී පැවසුවාය.
ඇමෙරිකාවේ රජයේ ඉහළ නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරන, රහස් සේවයේ ආරක්ෂාව ලබන සියලුම නිලධාරීන් වහාම ඉවත් කර තිබුණි. උත්සවයට පැමිණ සිටි පිරිස අතර ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ තවත් නායකයින් රැසක් සිටියේය. මේ සියල්ල සිදු වුණේ ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමග යුද්ධයක සිටියදී වීම විශේෂත්වයයි.
සැකකාර කෝල් ටොමස් ඇලන්ට එරෙහිව ගිනි අවි වැරදි සහ ෆෙඩරල් නිලධාරියෙකුට පහරදීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇත. ඔහු ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනී වයිජියා ජැන්ග් ප්‍රකාශ කළේ, අත්හිටුවන ලද මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ඉදිරි දින 30 ඇතුළත නැවත පවත්වන බවයි.
2024 වසරේ සිට මේ දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙවැනි ආරක්ෂක තර්ජනයක් එල්ල වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔහුට වෙඩි තබා ඝාතනය කිරිමේ උත්සාහයක්ද වැළැක්වීය.
“අද අපට මීට පෙර කිසිවකු දැක නැති මට්ටමේ ආරක්ෂක පියවරයන් අවශ්‍ය වී තිබෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
මේ සිදුවීම සිදු වුණේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ (WHCA) රාත්‍රී භෝජන සංග්‍රහයේදීයි. මෙය සාම්ප්‍රදායට අනුව ඇමෙරිකනු ජනාධිපතිවරයා මෙන්ම ඇමෙරිකාවේ ඉහළ මට්ටමේ විශාල පිරිසක් සහභාගී වන රාත්‍රී භෝජන සංග්‍රහයකි. සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා මෙම වැඩසටහනේදී හාස්‍යමය සහ උපහාසාත්මක ආකාරයෙන් සිය අදහස් දැක්වීම කරන අතර, රටේ ප්‍රකට හාස්‍ය ශිල්පියෙකු මෙම උත්සවයට පැමිණ උපහාසාත්මක කතාවක් සිදු කිරීමත් සම්ප්‍රදාය විය.
සම්ප්‍රදායිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය (WHCA) මගිනි. මෙවර එහි සභාපතිත්වය දැරුවේ CBS පුවත් සේවයේ වයිජියා ජැන්ග් (Weijia Jiang) ය.
මෙම රාත්‍රී භෝජන සංග්‍රහය මීට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ජනය කර තිබුණි. මීට පෙර ධුර කාලයේදීද ප්‍රසිද්ධියේ ඔහු එය වර්ජනය කර තිබුණේ ජනමාධ්‍ය සමග දිගින් දිගටම ගැටුණු පුද්ගලයෙකු ලෙසය. ඒ නිසාම ඔහුව විවේචනයටද ලක් විය.
මෙවර ඔහු ජනාධිපතිවරයා ලෙස මුල් වරට සහභාගී වූ අතර 2025 වර්ෂයේදීත් ඔහු සහභාගී නොවීය. ඒ අනුව මෙවර ඩොනල්ඩ් ට්‍රම්ප් කුමක් කියනු ඇතිදැයි බොහෝ දෙනෙකු බලා සිටියේය. ඔහු මෙවර සහභාගී වීමට තීරණය කිරීම පිටුපස ප්‍රධාන හේතු කිහිපයක් විචාරකයින් දකියි.
එක් හේතුවක් වන්නේ යුද්ධය හමුවේ ඇමෙරිකානු මාධ්‍යවල සහයෝගය ලබා ගැනීමයි. ඉරානය සමඟ පවතින යුද්ධය ගැන මාධ්‍ය වාර්තා කරන ආකාරය ගැන ට්‍රම්ප් දැඩි කෝපයෙන් පසුවන බව නොරහසකි. “අපි ජයග්‍රහණය කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ” යන්න ඔහුගේ චෝදනාවයි. එබැවින් මාධ්‍යවේදීන් ඉදිරියේම ඔවුන්ට පිළිතුරු දීමට ඔහුට අවශ්‍ය විය. තමාට විරුද්ධ මාධ්‍ය ආයතන වන නිව්යෝක් ටයිම්ස්, වොෂිංටන් පෝස්ට්, සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වැනි මාධ්‍ය හමුවේ තමාගේ බලය පෙන්වීමටත් ඔහුට අවශ්‍ය වන්නට ඇත.
මෙම හමුවට පෙර සතිය පුරාවටත් ට්‍රම්ප් මාධ්‍යවලට දේශද්‍රෝහී, අසාර්ථක මාධ්‍ය ලෙස බැණ වැදී තිබුණි. එඑමෙන්ම ඉරානයේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බව ලියා තිබුණි. එතැනින් එහාට ගොස් මාධ්‍යවල ස්වාධීනත්වයට තර්ජනයක් වන ක්‍රියාකාරකම් රැසක් ඔහු කර තිබුණි.

වාර්තාවක් ලිව්වම අවසානයට හෝ මුලින්ම දිනය සටහන් කරනවා නම් කියවන අපිට ගොඩක් වැදගත්