ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය වාරිකයක් ලෙස ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් හැකර්වරුන් විසින් පැහැරගැනීමේ සිද්ධිය පිටුපස රජයේ නිලධාරීන්ගේ බරපතල නොසලකා හැරීමක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් වන විමර්ශන මත ඉදිරඅයේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ඉහළ තනතුරක් දරණ ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු Whatnews වෙත අනාවරණය කළේය.
නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ මෙම නිලධාරියා සඳහන් කළේ, මෙම වංචාව පිළිබඳව මුලින්ම ඉඟි ලැබුණේ පසුගිය ජනවාරි මාසයේදී වුවද, සිද්ධියේ බරපතලකම වාර්තා වූයේ මාර්තු මස 22 වැනිදා බවයි. එයින් පසු මාර්තු 24 වැනිදා මේ ගැන පැමිණිලි කළ බව ඔහු කීය.
මේ අතර ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් ගිණුමකට හරවා යැවීමට හේතු වූ සයිබර් වංචාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණයක් අවසන් වන තෙක් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට රජය පියවර ගෙන ඇත.
මොවුන් අතරින් දෙදෙනෙකු රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයට (PDMO) අයත් වන අතර අනෙක් දෙදෙනා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට (ERD) අයත් නිලධාරීහු වෙති. අප සමග අදහස් දැක්වූ ප්‍රකාශකයා පැවසුවේ මේ සිදුවීම විපක්ෂයේ කණ්ඩායම් හරහා මාධ්‍යවලට අනාවරණය කළේ අදාල නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමෙන් පසුව බවයි.
“මෙහිදී නිලධාරීන් අතින් බරපතල වරදක් සිදුවී තිබෙනවා. නොසලකා හැරීමක් පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. අවශ්‍ය නම් මේ දේවල් නිලධාරීන්ගෙන් පාඩුව අය කරලා, ඔවුන් පිට දාලා සිද්ධිය වසාගෙන යන්නත් ඉඩකඩ තිබුණා, නමුත් රජයක් ලෙස අප තීරණය කළේ පූර්ණ විමර්ශනයක් කිරීමටයි,” යැයි අප වෙත අදහස් දැක්වූ ප්‍රකාශකයා පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව රජය මුලින් ප්‍රසිද්ධ නොකළේ විපක්ෂය පවසන පරිදි එය සඟවා තැබීමට නොව, විමර්ශනවලට බාධාවක් වීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කළේය. “එක එක කතා එළියට ආවාම විමර්ශන කරන එක වාතයක් වෙනවා. අපට ඕනෑ වුණේ ලූප් එක (Loop) හරියටම බලාගන්න. නිලධාරීන්ගේ වැඩ තහනම් කළාට පස්සේ තමයි මේක එළියට ආවේ.”
මහබැංකු බැදුම්කර වංචාවේදී මෙන් මෙහිදී කිසිසේත්ම දේශපාලන අධිකාරියේ නියෝගයක් හෝ බලපෑමක් සිදුව නැති බවත්, ආණ්ඩුව හිතාමතා මෙවැනි වංචාවක් කළේ නම් නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නට හේතුවක් නොමැති බවත් අදාල ප්‍රකාශකයා කීය. ‘අපි හොරකම් කළා නම් අපි මොකටද ඒ ගැන විමර්ශනයක් කරන්නේ? නිලධාරීන් හතරකගේ වැඩ තහනම් කරන්නේ? එළියේ ප්‍රවෘත්ති ගියේ අපි වැඩ තහනම් කළාට පස්සේ නේද?‘ යනුවෙන් ඔහු විමසීය.
මෙම සිදුවීමේදී මුදල් ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තර කරමින් ඔහු පවසා සිටියේ, ණය කළමනාකරණ පනතට අනුව ණය ගෙවීමේ වගකීම මීට පෙර මහ බැංකුව සතුව තිබූ නමුත්, එය දැන් භාණ්ඩාගාරය වෙත පැවරී ඇති බවයි.
මෙම අරමුදල් වෙන් කර තිබුණේ ඕස්ට්‍රේලියානු ණය හිමියෙකු වෙත සිදු කිරීමට තිබූ විදේශ ණය වාරිකයක් පියවීම සඳහාය. මූලික විමර්ශනවලට අනුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) විද්‍යුත් තැපැල් (Email) පද්ධතියට අනවසරයෙන් ඇතුළු වීමෙන් අනතුරුව මෙම ගෙවීම් වෙනත් ගිණුමකට යොමු කර ඇතැයි වාර්තා විය.
කෙසේ වෙතත් මෙම වංචාවේ වඩාත්ම භයානක කරුණ වන්නේ හැකර්වරුන් උපදෙස් ලබා දී ඇත්තේ නිල ඊමේල් ලිපිනයෙන්ම වීමයි. “වෙනම ඊමේල් එකකින් නෙවෙයි උපදෙස් ආවේ, අදාළ නිල ඊමේල් එකෙන්මයි. ඒ නිසා මේක පිටිපස්සේ ඉන්නේ මෙහේ කවුද එහේ කවුද කියලා හඳුනාගන්න පරීක්ෂණ දෙපැත්තෙන්ම යනවා. හැකර්වරුන් එහේ (ඕස්ට්‍රේලියාවේ) පද්ධතිය හැක් කරලා ඒ හරහා අපට උපදෙස් එවලා වෙන්නත් පුලුවන්. ඒ ගැනත් අපි විවෘතව බලනවා.” යැයි ඔහු පැවසීය.
දැනට අනාවරණය වී ඇති පරිදි, සොරාගත් මුදල් ඩුබායි සහ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් වෙත යොමු කර ඇත.
මහ බැංකුවෙන් ණය ගෙවීමේ වගකීම් භාණ්ඩාගාරයට පැවරීමේදී මාස හයක පමණ කාලයක් ආයතන දෙකම සමාන්තරව (Parallel) කටයුතු කර ඇති බවද ඔහු හෙළි කළේය.
මේ වෙද්දී විමර්ශන සඳහා ජාත්‍යන්තර සහය ද හිමිවෙමින් පවතී.
මේ අතර භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා වැඩ තහනම් කරන ලද නිලධාරීන්ගේ තනතුරු සන්ඩේ මෝනිං පුවත්පතට තහවුරු කර තිබුණි.
“වැඩ තහනම් කළ නිලධාරීන් අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ (PDMO) එක් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ එක් අධ්‍යක්ෂවරයෙකු මෙන්ම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) එක් අධ්‍යක්ෂවරයෙකු සහ එක් සහකාර අධ්‍යක්ෂවරයෙකු ඇතුළත් වේ,” යැයි ඔහු පැවසීය. පරීක්ෂණ නිමවන තෙක් මෙම වැඩ තහනම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මෙම විනය පරීක්ෂණය සඳහා ගතවන කාලය පරීක්ෂණ ක්‍රියාවලිය මත පදනම් වනු ඇත. මේ වන විටත් විනය පරීක්ෂකවරයෙකු පත් කර තිබෙනවා. මෙම පරීක්ෂණය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කරනවා,” ඔහු පුවත්පත වෙත පැවසීය.
මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ වත්මන් ණය කළමනාකරණ ක්‍රියාවලිය මධ්‍යයේ භාණ්ඩාගාරයේ මූල්‍ය පාලනය පිළිබඳව දැඩි කනස්සල්ලක් ඇති කර තිබේ. කෙසේ වෙතත්, රටේ විදේශීය ණය බැඳීම්වලට මෙයින් බලපෑමක් නොවන බව නිලධාරීන් අවධාරණය කරයි.
භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ණය සේවාකරණ බැඳීම් සම්බන්ධයෙන් මෙම කරුණ සමාලෝචනය කර ඇති බවයි.
“මෙම තත්ත්වය ‘තාක්ෂණික වශයෙන් ගෙවීම් පැහැර හැරීමක්’ (Technical default) ලෙස සැලකිය හැකිද යන්න අප විමසා බැලුවා. අපට ලැබී ඇති උපදෙස් අනුව, මෙම ගෙවීම ආරම්භ කිරීම මගින් ශ්‍රී ලංකාවට ණය පියවීමේ හැකියාව සහ කැමැත්ත යන දෙකම ඇති බව පෙන්නුම් කර තිබෙනවා. මුදල් වෙනතකට යොමු වූයේ තෙවන පාර්ශ්වයක ක්‍රියාවක් හේතුවෙන්. අප අදාළ ණය හිමියා සමඟ යහපත් චේතනාවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව, මෙය තාක්ෂණික වශයෙන් ණය පැහැර හැරීමක් නොවන බවට අපට උපදෙස් ලැබී තිබෙනවා,” ඔහු පැවසීය.
මුදල් අමාත්‍යාංශය කළ පැමිණිලිවලට අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන සම්බන්ධීකරණය කරනු ලබයි. මෙම ගනුදෙනුව හඹා යාමට සහ වගකිවයුත්තන් හඳුනා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) ද සම්බන්ධ වී සිටී.
මෙම මුදල් ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමක් හරහා යොමු කර ඇති බැවින් බලධාරීන් ඕස්ට්‍රේලියානු පාර්ශ්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටී. කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මෙම ගැටලුව පිළිගෙන ඇති අතර දෙරට අතර සම්බන්ධීකරණ කටයුතුවලට සහාය වෙයි. ඔවුන්ගේ අපනයන ණය ඒජන්සිය සම්බන්ධ මෙම ගෙවීමේ අක්‍රමිකතාව පිළිබඳව තමන් දැනුවත් බව ඕස්ට්‍රේලියානු බලධාරීන් ද දන්වා ඇත.
දැනට පවතින විමර්ශනවලට අමතරව, අභ්‍යන්තර පද්ධති ශක්තිමත් කිරීමට සහ මෙවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. වැඩ තහනම් කළ නිලධාරීන්ට එරෙහිව ගනු ලබන ඉදිරි පරිපාලන ක්‍රියාමාර්ග තීරණය වන්නේ විනය පරීක්ෂණයේ ප්‍රතිඵල මතය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ණය ප්‍රමාණයක් ගෙවා ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළද ගෙවිය යුතු කොටස නිසි පරිදි ගෙවීමට රජය බැඳී සිටින බවත් මෙවැනි සයිබර් තර්ජන හමුවේ මූල්‍ය ආරක්ෂාව උපරිම කිරීමට පියවර ගන්නා බවත් රජය අවධාරණය කරයි.
