මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව අතර සංකීර්ණ සමතුලිතතාවය: ශ්‍රී ලංකාවේ රේගු බලතල, සාහිත්‍ය නිදහස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය

නීතිවේදී ධනුෂ්කා නිෂාදි කුලරත්න

ශ්‍රී ලංකාව වැනි බහුජාතික, බහු සංස්කෘතික සමාජයක නීතියේ භූමිකාව සරල පාලන යාන්ත්‍රණයක් ලෙස නොව, සමාජ ස්ථාවරත්වය, සමාජ ආරක්ෂාව සහ මානව අයිතිවාසිකම් අතර සංකීර්ණ සමතුලිතතාවයක් ලෙස හඳුනාගත හැකිය.

නීතිය යනු රාජ්‍ය බලය ක්‍රියාත්මක කිරීමේ උපකරණයක් පමණක් නොව, ජනතා නිදහස සහ රාජ්‍ය ආරක්ෂාව එක්ව පවත්වාගෙන යන ආණ්ඩුක්‍රමික ව්‍යුහයක මූලිකාංගයක් වනතර මෙම සන්දර්භය තුළ, දීපචෙල්වන් විසින් රචිත සාහිත්‍ය කෘතියක් රේගු අධිකාරිය විසින් තාවකාලිකව රඳවා ගැනීමේ සිද්ධිය, නෛතික වශයෙන් පමණක් නොව, සමාජ දේශපාලනික සහ ආණ්ඩුක්‍රමික වශයෙන්ද විග්‍රහ කළ යුතු බහු-මානික ගැටලුවකි. මෙය සරල පරිපාලන ක්‍රියාවක් ලෙස පෙනුනද, එය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රාජ්‍ය ආරක්ෂාව සහ නීතිමය අධිකාරිය අතර ඇති තුනී සීමාව පෙන්වන සුවිශේෂී අවස්ථාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පදනම: නිදහස සහ සීමාකිරීම්

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් පිළිබඳ 10 වන ව්‍යවස්ථාව සහ 14 වන ව්‍යවස්ථාව විශේෂයෙන් 14(1)(ආ ව්‍යවස්ථාව මඟින් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික ලක්ෂණයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කරයි.

නමුත් මෙම නිදහස පරිපූර්ණ වූවක් නොවේ. 15(7) ව්‍යවස්ථාව යටතේ රාජ්‍යයට ජාතික ආරක්ෂාව, මහජන සුරක්ෂිතතාව සහ සදාචාරය ආරක්ෂා කිරීම සඳහා මෙම අයිතිය සීමා කිරීමට හැකියාව පවතින බැවින් ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස “ පරමෝත්තම අයිතියක්” ලෙස නොසැලකේ.

නීති ක්ෂේත්‍රයේ අනුපාතික පරීක්ෂණය (Proportionality Test) යනු රාජ්‍යය හෝ පරිපාලන ආයතනයක් විසින් පුද්ගල මූලික අයිතිවාසිකම් සීමා කරන අවස්ථාවක, එම සීමා කිරීම නීත්‍යානුකූලද, අවශ්‍යද සහ සාධාරණද යන්න අධිකරණමය සමාලෝචනය (judicial review) මඟින් තක්සේරු කිරීමට භාවිත කරන මූලික නීතිමය මූලධර්මයකි.

මෙහි මූලික අදහස වන්නේ රාජ්‍ය බලය අසීමිත නොවී, එය සෑම විටම පුද්ගල අයිතිවාසිකම් සමඟ සමබරව ක්‍රියා කළ යුතු බවයි. එනම් රාජ්‍යය යම් අරමුණක් සඳහා අයිතිවාසිකමක් සීමා කරන්නේ නම්, එය අතිශය දැඩි, අනවශ්‍ය හෝ අසාධාරණ සීමාකිරීමක් නොවිය යුතු බවය.

මෙම පරීක්ෂණය මගින් රාජ්‍ය ක්‍රියාමාර්ගය සහ එය ලබා ගැනීමට උත්සාහ කරන අරමුණ අතර සමානුපාතිකතාව (proportionality) විග්‍රහ කරයි.

පළමුව, ගන්නා ලද ක්‍රියාමාර්ගයේ නීත්‍යානුකූල හා වැදගත් අරමුණක් තිබිය යුතුය. දෙවනුව, එම ක්‍රියාමාර්ගය සහ අපේක්ෂිත අරමුණ අතර තාර්කික සම්බන්ධතාවක් තිබිය යුතුය. තෙවනුව, එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට අඩුම අයිතිවාසිකම් සීමා කරන විකල්පයක් තිබුණාද යන්න විමසිය යුතුය. හතරවනුව, රාජ්‍ය අරමුණ සහ පුද්ගල අයිතිවාසිකම් අතර සාධාරණ සමබරතාවයක් පවත්වාගෙන ගොස් තිබේද යන්න තක්සේරු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩු සහ පරිපාලන නීතිය තුළ මෙම මූලධර්මය අතිශය වැදගත් වේ. විශේෂයෙන් ජාතික ආරක්ෂාව වැනි හේතු මත පුද්ගල අයිතිවාසිකම් සීමා කරන අවස්ථාවලදී, අධිකරණය එම සීමාකිරීම අත්තනෝමතිකද, අවශ්‍යද සහ අනුපාතිකද යන්න දැඩිව විමසයි.

මෙහිදී රාජ්‍ය බලය “අරමුණක් ඇත” යන පදනම මත පමණක් සාධාරණ නොවී, එය නිසි නීතිමය පරීක්ෂණයකට යටත් විය යුතුය. එමගින් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා වීම වැළැක්වීමට සහ පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අනුපාතික පරීක්ෂණය අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස ක්‍රියා කරයි.

නීතිමය සන්දර්භය තුළ “reasonableness standard” යන්න සිංහලෙන් සාමාන්‍යයෙන් “සාධාරණත්වයේ ප්‍රමිතිය” හෝ “සාධාරණත්වයේ නිර්ණායකය” ලෙස අර්ථ දක්වනු ලැබේ.

මෙය නීතිය තුළ භාවිතා වන නම්‍යශීලී සහ සන්දර්භානුකූල සංකල්පයකි. එහි මූලික අරමුණ වන්නේ යම් ක්‍රියාවක් හෝ තීරණයක් සාමාන්‍ය බුද්ධියක් ඇති සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් බලන විට සාධාරණ, තාර්කික සහ සුදුසුද යන්න තක්සේරු කිරීමයි. එනම් නීතිය ඉදිරියේ “මෙය සාධාරණද?” යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට මිනුම්දණ්ඩක් ලෙස ක්‍රියා කරයි.

පරිපාලන නීතිය තුළ රාජ්‍ය ආයතන ගන්නා තීරණ අත්තනෝමතික නොවී, සාධාරණ හා තර්කානුකූලද යන්න අධිකරණය විසින් විමසීම සඳහා මෙම ප්‍රමිතිය භාවිතා වේ. සිවිල් නීතියේදී නොසැලකිලිමත්කම (negligence) තීරණය කිරීමේදී පුද්ගලයෙකු සාධාරණ සැලකිල්ලක් දැක්වූවාද යන්න මෙමගින් විග්‍රහ කරයි. අපරාධ නීතියේදී “reasonable doubt” සංකල්පය මගින් චෝදනාවක් ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමකට නියම කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සන්දර්භය තුළද, මූලික අයිතිවාසිකම් සීමා කිරීමේදී එම සීමා කිරීම් “සාධාරණ” වී ඇත්ද යන්න අධිකරණය විසින් විමසනු ලබයි. එබැවින් reasonableness standard යනු නීතියේ ක්‍රියාමාර්ගයක් සාධාරණද යන්න තීරණය කිරීමට භාවිත කරන මූලික නීතිමය මිනුම්දණ්ඩක් වන අතර, එය අනුපාතික පරීක්ෂණය සමඟ එකට ක්‍රියා කරමින් නීතියේ සමතුලිතතාවය ආරක්ෂා කරයි.

රේගු නීතිය සහ පරිපාලන ආරක්ෂක යාන්ත්‍රණය

රේගු ආඥා පනත යටතේ රේගු අධිකාරියට ආනයන සහ අපනයන භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා පුළුල් නීතිමය බලතල පවතී. විශේෂයෙන්ම එම පනතේ 47 වන සහ 125 වන වගන්ති යටතේ, සැක සහිත භාණ්ඩ තාවකාලිකව රඳවා ගැනීම, පරීක්ෂා කිරීම සහ අවශ්‍ය විමර්ශන සිදු කිරීම නීතිමය වශයෙන් පිළිගත් ක්‍රියාවලියකි. මෙය සාමාන්‍ය දඬුවම් පැනවීමේ ක්‍රියාවක් ලෙස නොව, රාජ්‍ය ආරක්ෂාව සහ ආර්ථික ආරක්ෂාව රැකගැනීම සඳහා ඇති වැළැක්වීමේ නියාමන යාන්ත්‍රණයක් ලෙස සැලකේ.

නූතන රාජ්‍ය පාලන මූලධර්ම අනුව, රාජ්‍යය බොහෝවිට සිදුවීමක් සිදුවී අවසන් වූ පසු දඬුවම් කිරීමේ ආකෘතිය වෙනුවට, සිදුවීමට පෙර යම් අවධානමක් වේනම් එය හඳුනාගෙන පාලනය කිරීමේ ආකෘතිය භාවිතා කරයි.

එනම් අනතුරුදායක, නීතිවිරෝධී ආනයන, තහනම් භාණ්ඩ හෝ ආර්ථික අපරාධ වැනි අවදානම් සිදුවීමට පෙර හඳුනාගෙන ඒවා වැලැක්වීම මෙහි අරමුණ වේ. එබැවින් රේගු බලතල යනු දඬුවම් කිරීමේ මෙවලමක් නොව, අවදානම් කළමනාකරණය කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණයකි.

නමුත් මෙහිදී ඉතා වැදගත් නෛතික ගැටලුවක් උද්ගතවේ. එනම් බලය භාවිතා කිරීමේ සීමාව කුමක්ද? යන්නයි.

නීතිය රේගු අධිකාරියට බලතල ලබා දුන්නද, එම බලතල අසීමිතව හෝ අත්තනෝමතිකව භාවිතා කිරීම නීතිගරුක රාජ්‍යයකදී පිළිගත නොහැක. එබැවින් සෑම ක්‍රියාවක්ම සාධාරණත්වය (reasonableness) සහ අනුපාතිකතාවය (proportionality) යන මූලධර්ම යටතේ ක්‍රියාත්මක විය යුතුය. එනම් භාණ්ඩයක් රඳවා ගැනීම හෝ පරීක්ෂා කිරීම සැබෑ සැකයක් මතද, නීතිමය පදනමක් මතද සහ අවශ්‍යතා අනුවද සිදුවේද යන්න විමසිය යුතුය. එසේ නොවුවහොත්, නීතිමය බලය ආරක්ෂක මෙවලමක් නොව, අයිතිවාසිකම් සීමා කිරීමේ මෙවලමක් බවට පත්විය හැක.

එබැවින් රේගු බලතල ක්‍රියාත්මක විය යුත්තේ සැමවිටම නීතිමය සීමා, සාධාරණ හේතු සහ අනුපාතික විශ්ලේෂණය යටතේය.

සාහිත්‍යය සහ අදහස් ප්‍රවාහ: .නෛතික අර්ථකථන ගැටලුව

සාහිත්‍යය යනු සරල භෞතික භාණ්ඩයක් නොව, සමාජයක සාමුහික මතකය (collective memory), දේශපාලන අර්ථකථනය සහ සංස්කෘතික අනන්‍යතාව ප්‍රකාශ කරන්නක් බැවින් සාහිත්‍ය කෘතියක් පාලනය කිරීම, සෘජුවම අදහස් ප්‍රවාහයට (flow of ideas) බලපාන නීතිමය ක්‍රියාවක් ලෙස සැලකේ.

මෙහිදී උද්ගත වන මූලික ගැටලුව වන්නේ “අදහසක්” නීතිමය වශයෙන් පාලනය කළ හැකිද? යන්නයි.

නීතිමය පිළිතුර සරල නොවේ.

නීතිය; අදහසක් අපරාධයක් ලෙස සලකන්නේ නැත.

නීතිය අපරාධයක් ලෙස සලකන්නේ අදහසක් ක්‍රියාවක් බවට පත් වූ විට පමණි. එබැවින් “අදහස් ප්‍රකාශනය” (expression) සහ “ප්‍රචණ්ඩතාවයට හෝ නීතිවිරෝධී ක්‍රියාවකට උත්තේජනය කිරීම” (incitement) අතර ඇති සීමාව ඉතා වැදගත් නීතිමය සීමාකරණයක් ලෙස සැලකේ.

නීතිමය දෘෂ්ටිකෝණයෙන්, expression යනු පුද්ගලයාගේ අදහස්, විවේචන, මතවාද හෝ නිර්මාණාත්මක අදහස් සාමකාමී ලෙස ප්‍රකාශ කිරීම වන අතර, එය සාමාන්‍යයෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂාවට යටත්වේ. එහෙත් incitement යනු එම ප්‍රකාශනය ඉක්මවා ගොස්, අනෙක් පුද්ගලයන් නීතිවිරෝධී ක්‍රියාවන්, ප්‍රචණ්ඩ ක්‍රියා හෝ සමාජ විනාශකාරී හැසිරීම් කරා සෘජුව හෝ වක්‍රව පෙළඹවීමයි.

මෙම දෙක අතර සීමාව නිවැරදිව හඳුනා ගැනීම, වචන වල අර්ථය පමණක් නොව, සන්දර්භය, අරමුණ, ඉලක්කගත ප්‍රේක්ෂකයා සහ ඇති විය හැකි ප්‍රතිඵලය යන කරුණු මතද පදනම් වේ.

නීතියේදී, සාමාන්‍යයෙන් expression ආරක්ෂා කරමින්ද, incitement වැනි ක්‍රියා සමාජ සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් සීමා කිරීමට ඉඩ දේ. ඒ අනුව, සාහිත්‍යය, මාධ්‍ය සහ අනෙකුත් ප්‍රකාශන ක්ෂේත්‍රවලදී මෙම සීමාව නිවැරදිව වටහා ගැනීම ඉතාමත් වැදගත් වන අතර, එය මූලික අයිතිවාසිකම් සහ රාජ්‍ය ආරක්ෂාව අතර ඇති සියුම් සමබරතාවය තීරණය කරයි.

ත්‍රස්තවාද නීතිය සහ නීතිමය අවදානම සම්බන්ධයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම, උද්දීපනය කිරීම හෝ එයට සහාය දීම අපරාධයක් ලෙස සැලකේ. නමුත් එවැනි නීති ක්‍රියාත්මක කිරීමේදී “අරමුණ” (intent), “සෘජු ප්‍රචාරය” (direct advocacy) සහ “සෘජු හා ආසන්න අනතුර” (clear and present danger) වැනි මූලික නීතිමය සංකල්ප අනිවාර්යයෙන් සැලකිල්ලට ගත යුතුය.

මෙහිදී වැදගත්ම කරුණ වන්නේ අදහස් ප්‍රකාශනය සහ අපරාධ සඳහා අනුබල දීම අතර සීමාව නිවැරදිව වෙන්කර ගැනීමයි. සාහිත්‍ය කෘතියක රූපක භාවිතය, ඉතිහාස කථනයක් හෝ දේශපාලන විචාරයක් තිබූ පමණින් එය අපරාධයක් බවට පත් වන්නේ නැත. එවැනි ප්‍රකාශන සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශන නිදහස යටතේ ආරක්ෂා වේ.

එහෙත්, යම් ප්‍රකාශනයක් සෘජුවම ප්‍රචණ්ඩ ක්‍රියා හෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට උත්තේජනය කරන්නේ නම්, හෝ එවැනි ක්‍රියාවක් ඉක්මනින් සිදුවිය හැකි අවදානමක් ඇති කරන්නේ නම්, එහිදී නීතිමය වගකීමක් ඇති විය හැකි බැවින් රාජ්‍ය ආරක්ෂාව සහ අදහස් ප්‍රකාශන නිදහස අතර ඉතා සියුම් හා ප්‍රවේශමෙන් පවත්වා ගත යුතු සමබරතාවයක් පවතින බව අවධාරණය කළ යුතුවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු නීතිය සහ නීතිමය මූලධර්ම

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු නීතිය රාජ්‍ය බලය සහ මූලික අයිතිවාසිකම් අතර තිබිය යුතු සියුම් සමතුලිතතාවය පිළිබඳ ඉතා පැහැදිලි නීතිමය මාර්ගෝපදේශ ඉදිරිපත් කර ඇත. රාජ්‍යයක මූලික හරය වන්නේ රාජ්‍ය බලය අත්තනෝමතික නොවීමත්, එය සැමවිටම නීතිය, සාධාරණත්වය සහ හේතු දක්වා ගත් තීරණ මත පදනම් වීමත්ය.

උදාහරණයක් ලෙස Karunathilaka v Dissanayake නඩුවේදී අධිකරණය ඉතා පැහැදිලිව අවධාරණය කළේ පරිපාලන ක්‍රියාවලියේදී “හේතු දක්වා ගත් තීරණ ක්‍රමය” අනිවාර්ය බවයි. එනම් රාජ්‍ය ආයතනයක් තීරණයක් ගන්නා විට එය පදනම් වූ නීතිමය හේතු, සාක්ෂි සහ විචාරාත්මක තර්ක පැහැදිලිව තිබිය යුතුය. ඒ සමඟම “සාධාරණත්වය” යනු නීතිමය ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවද එම නඩුවෙන් තහවුරු විය. එබැවින් පුද්ගල අයිතිවාසිකම් වෙත බලපාන කිසිදු තීරණයක් සරල අධිකාරී බලයක් මත පමණක් ගත නොහැකි බව පැහැදිලිය.

මෙම නඩු නීතිය අනුව රාජ්‍ය බලය යනු පාලන මෙවලමක් පමණක් නොව, දැඩි වගකීම් සහිත බලයකි. ජාතික ආරක්ෂාව, පරිපාලන පහසුකම් හෝ පොදු ප්‍රතිපත්ති වැනි හේතු තිබුණද, ඒවාට කිසිවිටෙකත් සාධාරණත්වය හා නීතිමය පරීක්ෂණය අහෝසි කිරීමට නොහැක. සෑම රාජ්‍ය ක්‍රියාවක්ම විවෘත හේතුකරණයකින් යුක්ත විය යුතු අතර, අධිකරණ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

ඒ ආකාරයෙන්ම Joseph Perera v Attorney-General නඩුව තුළ අධිකරණය තහවුරු කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය පදනමක් බවයි. එය සීමා කළ හැක්කේ ඉතා විශේෂිත හා දැඩි සාධාරණීකරණයක් ඇති අවස්ථාවල පමණක් බවද එහිදී පැහැදිලිව දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ විවේචනය සහ විරුද්ධ මත නීතියෙන් ආරක්ෂා වන මූලික අයිතියක් බවයි.

තවද Channa Pieris v Attorney General නඩුවේදී අධිකරණය ඉතා වැදගත් මූලධර්මයක් හඳුන්වා දුන්නේය. එනම් ජාතික ආරක්ෂාව වැනි හේතු මත මූලික අයිතිවාසිකම් සීමා කරන විට, එම සීමාකිරීම් ඉතා දැඩි නීතිමය පරීක්ෂණයකට යටත් විය යුතු බවයි. එහිදී අධිකරණය විමසන්නේ එම ක්‍රියාව නීත්‍යානුකූල අරමුණකටද, සැබවින්ම අවශ්‍යද, සහ අඩුම මැදිහත්වීමෙන් කළ හැකිද යන්නයි. මෙය ජාතික ආරක්ෂාව යන සංකල්පය “ස්වයංක්‍රීය සාධාරණීකරණයක්” නොව, දැඩි නීතිමය විග්‍රහයකට යටත් කර ඇති බව පෙන්වයි.

මෙම නඩු සියල්ල එකට සලකා බැලූ විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ රාජ්‍ය බලය කිසිවිටෙකත් අසීමිත නොවන බවයි. එය සෑම විටම හේතු දක්වා, සාධාරණව, අනුපාතිකව සහ අධිකරණ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවයි.

අවසානයේ මෙම නඩු නීතියෙන් පැහැදිලි වන ප්‍රධාන දාර්ශනික සත්‍යය වන්නේ රාජ්‍ය ආරක්ෂාව සහ මූලික අයිතිවාසිකම් අතර ගැටුමක් මතුකිරීම නොව, ඒ දෙක අතර නිවැරදි සමතුලිතතාවයක් ගොඩනැගීම නීතියේ සැබෑ භූමිකාව බවයි.

එම සමතුලිතතාවය රැකගත් විට නීතිය අධිකාරී බලයක් පමණක් නොව, සමාජයේ සාධාරණත්වය, විශ්වාසය සහ ස්ථාවරත්වය රැකගන්නා උසස් ආරක්ෂණ පද්ධතියක් බවට පත්වේ.

පශ්චාත් යුධ, සංහිඳියා අපේක්ෂිත සමාජයේ විශේෂතා

ශ්‍රී ලංකාව වැනි පශ්චාත් යුධ සංහිඳියා අපේක්ෂිත සමාජයක සාහිත්‍යය, ඉතිහාසය සහ දේශපාලන මතය බොහෝවිට එකිනෙකට සමානව නොව, විවිධ පාර්ශව විසින් වෙනස් ලෙස අර්ථකථනය කරනු ලැබේ. යුද්ධය, ජාතික මතය, විරෝධතා, හා දේශපාලන සිදුවීම් යන සියල්ලම එක් “නිශ්චිත සත්‍යයක්” ලෙස නොව, විවිධ කථානාත්මක දෘෂ්ටිකෝණ (narratives) කිහිපයක් ලෙස සමාජය තුළ පවතී.

එක් පාර්ශවයක් යම් සිදුවීමක් ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය පියවරක් ලෙස දකින අතර, තවත් පාර්ශවයක් එම සිදුවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස අර්ථකථනය කළ හැක. එසේම සාහිත්‍ය කෘති, කවි, නවකතා හෝ දේශපාලන ලේඛන තුළ මෙම ඉතිහාසමය අත්දැකීම් රූපක භාෂාවෙන් හෝ විචාරාත්මක ලෙස ප්‍රකාශ වීම සාමාන්‍යය වේ. මෙවැනි ප්‍රකාශන සමාජයේ සාමුහික මතකය ගොඩනැගීමටද, නැවත අර්ථකථනය කිරීමටද බලපායි.

නමුත් මෙවැනි තත්ත්ව නීතිමය ගැටලුවක් බවට පත්වන්නේ, එම අර්ථකථන ; රාජ්‍ය ආරක්ෂාව, පරිපාලන තීරණ හෝ අපරාධ නීති ක්‍රියාත්මක කිරීමට සෘජුවම බලපෑමක් ඇති කරන විටය. විශේෂයෙන් යම් ප්‍රකාශනයක් “අර්ථකථනයක්” පමණක්ද, නැත්නම් “උත්තේජනයක්” (incitement) ද යන්න වෙන්කර ගැනීම නීතියට ඉතා වැදගත් වේ.

මෙහිදී නීතියේ මූලික නියමය වන්නේ රාජ්‍ය හෝ සමාජ මතය(සමාජයේ දකින ආකාරය) පමණක් මත නීතිමය ප්‍රමිතීන් වෙනස් කළ නොහැකි බවයි. එනම්,

“අවබෝධය හෝ මතය (perception) කිසිවිටක නීතිමය ප්‍රමිතිය (legal standard) අභිබවා යා නොහැක.”

මෙය ඉතා වැදගත් මූලධර්මයකි, මන්ද සමාජයේ විවිධ මතයන්, දේශපාලන ආකල්ප, හෝ මාධ්‍ය දෘෂ්ඨීන් මත පදනම්ව අධිකරණ තීරණ හෝ රාජ්‍ය ක්‍රියාමාර්ග වෙනස් වුවහොත්, නීතිය අසමබර හා අසාධාරණ විය හැකි බැවිනි.

ඒ අනුව, පශ්චාත් යුධ සමාජයක සාහිත්‍යය සහ දේශපාලන ඉතිහාසය විවිධ ආකාරයෙන් කියවිය හැකි වුවද, නීතියේ කාර්යභාරය වන්නේ ඒ සියල්ලට ඉහළින් සිටිමින්, එකම මූලික ප්‍රමිතීන්—සාධාරණත්වය, අනුපාතිකතාවය සහ නීතිමය සාක්ෂි—මත පදනම්ව තීරණ ගැනීමයි.

එවන්වූ සමාජයක ඉතිහාසය, යුද්ධය, ජාතික අනන්‍යතාවය සහ දේශපාලන මතය විවිධ පාර්ශව විසින් විවිධ ආකාරයෙන් අර්ථකථනය කරන අතර මෙහිදී නීතියට ඇති අභියෝගය වන්නේ: “history interpretation” සහ “legal threat” අතර සීමාව නිවැරදිව වෙන් කිරීමයි.

නීතියට ඉතිහාසය පාලනය කළ නොහැකි අතර නීතියට කළ හැක්කේ ක්‍රියාවන් පාලනය කිරීම පමණි.

සංවේදී සමාජයක නීතිමය ප්‍රවේශය

සමාජය තුළ පවතින විවිධ විරුද්ධ මත “සතුරුකම්” ලෙස නොව, “විවිධ අර්ථකථන” සහ “විකල්ප දෘෂ්ටිකෝණ” ලෙස දැකීම නීතිගරුක හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍ය මූලධර්මයකි. සමාජයක මතභේද ඇතිවීම ස්වාභාවික වන අතර, එකම සිදුවීමක් හෝ ප්‍රශ්නයක් විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයෙන් වටහා ගැනීම සාමාන්‍යය වේ. එබැවින් නීති පද්ධතියක වගකීම වන්නේ එම විවිධ මත “අනතුරක්” ලෙස නොව, “සමාජ සංවාදයක කොටසක්” ලෙස සලකා සාධාරණ ලෙස පාලනය කිරීමයි.

නීති පද්ධතියක ශක්තිය මැනිය යුත්තේ විරුද්ධ මත කඩිනමින් මර්දනය කරන ආකාරය මත නොව, එම මත සමඟ සාධාරණ, අනුපාතික සහ නීතිමය ආකාරයෙන් ගනුදෙනු කරන හැකියාව මතය. විරුද්ධ අදහස් පවතින විට ඒවාට ඉඩ දී, එමඟින් සමාජයේ විවෘත සංවාදයක් පවත්වාගෙන යාම නීතියේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය තවදුරටත් ශක්තිමත් කරයි.

මෙහිදී නීතියේ භූමිකාව දඬුවම් කිරීම පමණක් නොව, සමාජයේ විවිධ අයිතිවාසිකම්, අවශ්‍යතා සහ ආරක්ෂක කරුණු අතර සාධාරණ සමතුලිතතාවයක් ගොඩනැගීමයි. එනම් නීතිය යනු සමාජය තුළ බලය අසමබර වීම වැළැක්වීමේ සහ විවිධ පාර්ශව අතර සාධාරණ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ යාන්ත්‍රණයකි.

ඒ අනුව, නීතියේ ප්‍රධාන කාර්යභාරය වන්නේ දඬුවම් කිරීම පමණක් නොව, සමාජයේ විවිධ අදහස් සහ අයිතිවාසිකම් අතර සමතුලිතතාවය රැක ගැනීමයි.

රාජ්‍ය තීරණවල තර්කනය සහ ලේබල් කිරීමේ අවදානම…..

නීතිමය සංවාදයකදී විරුද්ධ මත ඉදිරිපත් වීම සාමාන්‍ය සහ අත්‍යවශ්‍ය දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ශක්තිය මැනෙන්නේ එම සමාජය විරුද්ධ අදහස්, විවේචන සහ විකල්ප දෘෂ්ටිකෝණ සමඟ කෙසේ ගනුදෙනු කරන්නේද යන්න මතය. විරුද්ධ මත පැවතීම සමාජ දුර්වලතාවක් නොව, සෞඛ්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයකි.

එහෙත් නූතන දේශපාලන සහ සමාජ සංවාද තුළ, විරුද්ධ මත “අසත්‍ය තර්ක”, “තොරතුරු විකෘති කිරීම” හෝ “සතුරු කථන” ලෙස සරලව ලේබල් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙවැනි ලේබල් කිරීම, බොහෝවිට සංවාදය අවසන් කිරීමක් ලෙස ක්‍රියා කරන අතර, සැබෑ තර්කානුකූල විග්‍රහයක් සිදු නොවීමට හේතු විය හැක.

නීතිමය දෘෂ්ටිකෝණයෙන් මෙය ගැටලුකාරී තත්ත්වයකි. නීතියේ මූලික සංකල්පය වන්නේ යම් අදහසක් හෝ තර්කයක් “නිවැරදිද වැරදිද” යන්න තීරණය කිරීම ලේබල් කිරීම මත නොව, සාක්ෂි, නීතිමය මූලධර්ම සහ තර්කානුකූල විග්‍රහ මත පදනම් වීමයි. එනම් නීතිය “මතය” මත නොව “සාක්ෂි සහ නියමිත ප්‍රමිතීන්” මත ක්‍රියා කරයි.

ඒ අනුව, රාජ්‍ය ආයතන හෝ මහජන සංවාදය තුළ විවේචනයට ප්‍රතිචාර දක්විය යුත්තේ තර්කානුකූලවය. යම් ප්‍රකාශයක් අසත්‍ය බව පෙන්වීමට නම් එය සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය. එසේම විරුද්ධ මතයක් සීමා කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නම්, එය නීතිමය පරීක්ෂණයකින් සහ පැහැදිලි හේතු දක්වා සිදු කළ යුතුය.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික අංගයකි. මන්ද නීතියේ අරමුණ වන්නේ මතභේද මර්දනය කිරීම නොව, ඒවා සාධාරණ, විවෘත සහ නීතිමය ආකාරයෙන් කළමනාකරණය කිරීමයි.

රේගු පරීක්ෂණ සහ සාහිත්‍ය නිදහස අතර සීමාව……

රේගු බලධාරීන්ගේ භූමිකාව සාමාන්‍යයෙන් ආර්ථික ආරක්ෂාව රැකීම, තහනම් හෝ නියාමනය කළ භාණ්ඩ පාලනය කිරීම සහ ජාතික ආරක්ෂාවට බලපාන අවදානම් හඳුනාගෙන ඒවා පාලනය කිරීමයි. එහෙත් මෙම බලය භාවිතා කිරීමේදී, විශේෂයෙන් අදහස් ප්‍රකාශනයට සම්බන්ධ සාහිත්‍ය කෘති, ලේඛන හෝ සංස්කෘතික නිර්මාණ වැනි භාණ්ඩ සම්බන්ධයෙන්, ඉතා ඉහළ නීතිමය සැලකිල්ලක් අවශ්‍ය වේ.

මෙහි ප්‍රධාන නීතිමය ප්‍රශ්නය වන්නේ “අනතුරුදායක අන්තර්ගතයක්” ද (dangerous content) නැත්නම් “ආරක්ෂිත අදහස් ප්‍රකාශනයක්” ද (protected expression) යන්න නිවැරදිව වෙන්කර ගැනීමයි. මෙම දෙක එකිනෙකට සමාන නොවන අතර, වැරදි වර්ගීකරණයක් සිදුවුවහොත් මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අදහස් ප්‍රකාශන නිදහස, අයුතු ලෙස සීමා විය හැක.

එබැවින් එවැනි තීරණ ගත යුත්තේ අත්තනෝමතික අර්ථකථන මත නොව, නිර්ණායක මතය. එනම් භාණ්ඩයේ සැබෑ අන්තර්ගතය, එහි අරමුණ, භාවිතා වන භාෂාව සහ සන්දර්භය සැලකිල්ලට ගත යුතුය.

එසේම මෙම ක්‍රියාමාර්ග සඳහා පැහැදිලි නීතිමය පදනමක් (clear statutory basis) තිබිය යුතු අතර, බලධාරීන්ගේ අර්ථකථනය පුළුල් ලෙස හෝ අසීමිත ලෙස විහිදෙන ආකාරයෙන් නොවිය යුතුය.

ඊට අමතරව, සෑම තීරණයක්ම අනුපාතිකතා විශ්ලේෂණයකට (proportionality analysis) යටත් විය යුතුය. එනම් යම් සීමාකිරීමක් සිදු කරන්නේ නම්, එය සැබෑ අවශ්‍යතාවයට සරිලන ලෙසද, අඩුම මැදිහත්වීමකින් කළ හැකිද, සහ මූලික අයිතිවාසිකම් අනවශ්‍ය ලෙස අඩාල නොකරන්නේද යන්න විමසිය යුතුය.

මෙම ප්‍රමිතීන් අනුගමනය නොකළහොත්, රේගු බලය අත්තනෝමතික ලෙස පුළුල්ව අර්ථකථනය විය හැකි අතර, එය අදහස් ප්‍රකාශන නිදහස සහ සාහිත්‍යමය නිර්මාණශීලීත්වය අඩාල කිරීමට හේතු විය හැකිය. එබැවින් රාජ්‍යයක මෙම බලය සෑම විටම පාලනය විය යුත්තේ සාධාරණත්වය, නීතිමය පැහැදිලිභාවය සහ අනුපාතිකතාවය යන මූලධර්ම මතය.

මානව හිමිකම් නීතියේ මූලික තර්කය: Proportionality…….

මානව හිමිකම් නීතියේ මූලික විශ්ලේෂණ මූලධර්මයක් ලෙස අනුපාතිකතා පරීක්ෂණය සැලකේ. රාජ්‍යය යම් පුද්ගල අයිතිවාසිකමක් සීමා කරන විට එම සීමාකිරීම අවශ්‍යද, සාධාරණද සහ අතිශයද යන්න විමසීමට මෙම ක්‍රමය භාවිතා වේ. මෙය කොටස් හතරකින් යුක්ත වේ.

පළමුව, නීත්‍යානුකූල අරමුණක් තිබිය යුතුය, එනම් ජාතික ආරක්ෂාව, මහජන සෞඛ්‍ය හෝ පොදු අනුපිළිවෙල වැනි නීතියෙන් පිළිගත් අරමුණක් සඳහා ක්‍රියා කළ යුතුය. දෙවනුව, ගන්නා ක්‍රියාමාර්ගය සහ එම අරමුණ අතර තාර්කික සම්බන්ධතාවක් තිබිය යුතුය. තෙවනුව, එම අරමුණ සපුරා ගැනීමට අඩුම අයිතිවාසිකම් සීමා කරන විකල්පයක් තිබේද යන්න සලකා බලමින් අවශ්‍යතාවය පරීක්ෂා කළ යුතුය. හතරවනුව, රාජ්‍ය අරමුණ සහ පුද්ගල අයිතිවාසිකම් අතර සාධාරණ සමබරතාවයක් පවත්වාගෙන යා යුතුය. මෙම කොටස් හතර නිසි ලෙස අනුගමනය නොකර රාජ්‍යය අයිතිවාසිකම් සීමා කරන්නේ නම්, එය අත්තනෝමතික ක්‍රියාවක් ලෙස සලකා අධිකරණ සමාලෝචනයකට ලක් විය හැක.

රාජ්‍ය ආරක්ෂාව: නීතිමය අවශ්‍යතාවයක් ලෙස….

ජාතික ආරක්ෂාව යනු ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ සංකල්පයක් නොව, එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහාම අවශ්‍ය වන රාජ්‍ය වගකීමකි. රටක භූමිය, ජනතාව, නීතියේ ආධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් ඇති විටය. එබැවින් ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙකට විරුද්ධ නොව, එකිනෙක සම්පූර්ණ කරන සංකල්ප දෙකක් ලෙස සලකා බැලිය යුතුය.

නමුත් ගැටලුව මතුවන්නේ “ජාතික ආරක්ෂාව” යන්න වැරදි ලෙස හෝ අතිශය පුළුල් ලෙස අර්ථකථනය කරන විටය. එවැනි අවස්ථාවලදී රාජ්‍ය බලය අසීමිත ලෙස භාවිතා විය හැකිය. විශේෂයෙන් අවිධිමත් සීමාකිරීම්, පූර්ව පරීක්ෂණ නොමැතිව තොරතුරු වාරණය කිරීම, හෝ විරුද්ධ මත “අනතුරක්” ලෙස පමණක් දකින ප්‍රවණතාවය ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි. මෙහිදී සැබෑ අවදානම වන්නේ ආරක්ෂාව නාමයෙන් නිදහස අහිමි වීමයි.

එබැවින් රාජ්‍යයක ආරක්ෂාව භාවිත විය යුත්තේ පැහැදිලි නීතිමය පදනමක් මත, සාක්ෂි මත සහ අධිකරණ පාලනයට යටත්වය. සෑම සීමාකිරීමක්ම අවශ්‍යද, සාධාරණද, සහ අනුපාතිකද යන්න පරීක්ෂා කළ යුතුය. එසේ නොවුවහොත් ආරක්ෂාව යන සංකල්පයම අයිතිවාසිකම් සීමා කිරීමේ මෙවලමක් බවට පත්විය හැක.

නීතිය අගයන සමාජයක අවසාන අරමුණ දඬුවම් කිරීම නොව, සමාජයේ සමතුලිතතාවය ආරක්ෂා කිරීමයි. නීතිය ශක්තිමත් වන්නේ එය ජනතාවගේ නිදහස ආරක්ෂා කරන විටද, රාජ්‍ය ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යන විටද, විවිධ හා විරුද්ධ මත සමඟ සාධාරණ ලෙස ගනුදෙනු කරන විටය. විශේෂයෙන්ම විරුද්ධ මත “සතුරුකම” ලෙස නොව, සමාජ සංවාදයක කොටසක් ලෙස සැලකිය යුතුය.

ඒ අනුව නීතියේ සැබෑ භූමිකාව වන්නේ එක් පාර්ශවයක බලය වැඩි කිරීම නොව, සමාජයේ සියලු පාර්ශව අතර සාධාරණ සමබරතාවයක් ගොඩනැගීමයි. ජනතාවගේ නිදහස, රාජ්‍ය ආරක්ෂාව සහ සමාජ සාමය එකට පවත්වාගෙන යාම හැකියාව තිබෙන්නේ එවැනි සමබර නීති රාමුවක් තුළ පමණි.

සාරාංශය

මෙම සියලු නීතිමය, දාර්ශනික සහ සමාජීය විග්‍රහයන් එකට සලකා බැලූ විට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා නීති පද්ධතිය තුළ මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව යනු එකිනෙකාට විරුද්ධ බලවේග නොව, එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවක් තුළ එකට බැඳී ක්‍රියා කරන අන්තර්-සම්බන්ධිත කොටස් දෙකක් බවයි. මානව හිමිකම් මගින් පුද්ගල නිදහස, ගෞරවය සහ නීතිය ඉදිරියේ සමානත්වය ආරක්ෂා කරන අතර, ජාතික ආරක්ෂාව මගින් සමාජයේ ස්ථාවරත්වය, රාජ්‍යයේ අඛණ්ඩතාවය සහ පොදු සාමය රැකගැනීම සිදු කරයි.

නීතියේ සැබෑ ශක්තිය මැනිය යුත්තේ එය කවුරුන්ට එරෙහිව ක්‍රියා කරන්නේද යන්න මත නොව, එය සමාජයේ සියලුම පුද්ගලයන්ට සමානව ආරක්ෂාව, සාධාරණත්වය සහ නීතිමය පිළිගැනීම ලබා දෙන ආකාරය මතය.

නීතියක් බලවත් වන්නේ එය දඬුවම් කිරීමේ හැකියාවෙන් පමණක් නොව, එය අසමතුලිත බලය පාලනය කරමින් සමාජයේ දුර්වලයාටද, ශක්තිමත් පාර්ශවයටද එකම නීතිමය ප්‍රමිතියක් යටතේ සැලකීම නිසාය.

අවසානයේ, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සැබෑ පරමාර්ථය වන්නේ නිදහස අරාජික නොවීමත්, ආරක්ෂාව අත්තනෝමතික නොවීමත්, නීතිය සාධාරණ හා අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීමත්ය. නිදහස පාලනයක් නොමැතිව අරාජිකත්වයට පත් විය නොහැකි අතර, ආරක්ෂාව අධිකරණ පාලනයකින් තොරව අත්තනෝමතික විය නොහැක. නීතියේ කාර්යභාරය වන්නේ මේ දෙක අතර නිවැරදි සමතුලිතතාවය පවත්වා ගැනීමයි. එම සමතුලිතතාවය නිසි ලෙස සුරක්ෂිත කළ විට පමණක් නීතිය සමාජයට බියක් හෝ බලහත්කාරයක් ලෙස නොව, ආරක්ෂාවක්, විශ්වාසයක් සහ සාධාරණත්වයේ ප්‍රතිඥාවක් ලෙස පෙනී යයි.

එවිට නීතිය යනු රාජ්‍ය බලයේ මෙවලමක් නොව, සමාජයේ සාමය සහ යුක්තිය රැකගන්නා පොදු විශ්වාස පද්ධතියක් බවට පත්වේ.

Dhanushka Nishadi Kularathna ෆේස්බුක් අවකාශයෙන් උපුටාගත්තකි

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading