දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළිය ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඉන්දීය රජයේ ආධාර මත ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. මෙහිදී ඒ මහතා මලයහ ප්‍රජාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘති නැරඹූ අතර, එම ප්‍රජාවගේ සුභසාධනය සහ නිවාස අවශ්‍යතා පිළිබඳව ප්‍රදේශවාසීන් සමඟ සුහද කතාබහක ද නිරත වී තිබේ.
උප ජනාධිපතිවරයා ඇතුළු 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඊයේ (19) පෙරවරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙම දෙදින නිල සංචාරයේ වැදගත්ම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඔහු ඊයේ (19) දින මෙරට ඉහළම රාජ්‍ය නායකත්වයන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවී ඇත. මෙම හමුවීම්වලදී කලාපීය ආරක්ෂාව, ආර්ථික සබඳතා සහ ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ බව වාර්තා වේ.
මෙම සංචාරයේදී ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම වතුකරයේ ජනතාවගේ නිවාස සහ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව හිමිව ඇත.
ඒ අනුව, ඉන්දීය රජයේ මූල්‍ය පරිත්‍යාගයෙන් මෙරට ඉදිවන සමස්ත නිවාස සංඛ්‍යාව 50,000 දක්වා සම්පූර්ණ කෙරෙන තෙවන අදියරේ ප්‍රගතිය මෙන්ම, තවත් නව නිවාස 10,000ක් ඉදිකිරීමට නියමිත සිව්වන අදියරේ කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. මීට අමතරව, වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් දැනට පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව සහ දීමනා ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට ද දෙපාර්ශ්වය අතර එකඟතාව පළ වූ බව පැවසේ.

