ලංකාවේ දැවෙන ප්‍රශ්නය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ද ? ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව කෝ ?

සරෝජ් පතිරණ

වර්තමානයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ පරමාදර්ශී නායකයා වෙලා ඉන්න බව පේන්න තියෙන ජේ ආර් ජයවර්ධන 1978 ගෙනාපු ඒකාධිපති ව්‍යවස්ථාවට මේ වෙනකොට 21 වතාවක් පැලැස්තර දාල තියෙනව.

එහෙම පැලැස්තර දාපු 1978 ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලත්, 1978 ඉඳලම ජවිපෙ දැඩි විරෝධය දක්වපු ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලත් ජාතික ජන බලවේගයේ මැතිවරණ පොරොන්දු වල තියෙනව. ඒත් දැන් ජවිපෙ ට ඒ සේරම පොරොන්දු එහෙම පිටින්ම අමතක වෙලා. කොටින්ම යහපාලන ආණ්ඩුව කාලේ රට පුරා ගිහින් ජනමතය විමසලා අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න විශාල වෙහෙසක් දරපු ලාල් විජේනායක සහෝදරයට මම දන්නා තරමින් ජනාධිපති අනුර එක්ක ඒ ගැන නිල වශයෙන් සාකච්ඡා කරන්න අද වෙනතුරු අවස්තාවක් ලැබිල නැහැ. එවකට විපක්ෂ මන්ත්‍රීවරියක්ව හිටපු හරිණි අමරසූරියත් ඒ කමිටුවේ ක්‍රියාකාරී වැඩ කොටසක් කළා.

ඒත් අලුත් ව්‍යස්තාවක් ගේනවා වෙනුවට විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කරන්න හදිසි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න ආණ්ඩුව උත්සහ කරමින් ඉන්නවා කියල අනිද්දා පුවත්පත කියනවා! නීතිඥ නාමල් රාජපක්ෂ මේ ප්‍රයත්නය විග්‍රහ කරලා තිබුණෙ “විනිසුරුවරුන්ට අල්ලස් දීමේ” උත්සහයක් විදියට.

ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුව දීපු අනිත් සේරම පොරොන්දු පැත්තකට දාල, ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළාතකවත් නොතිබුණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයසක් ගැන ආණ්ඩුවට එකපාරටම මතක් වුණේ ඇයි කියන එක. ඇත්තටම මේ වෙලාවේ ලංකාවේ දැවෙන ප්‍රශ්නය මේකද?

ජනාධිපති අනුර, හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය පදවියෙන් විශ්‍රාම ගිය වහාම එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත විදියට පත්වීමක් දුන්නම ජාජබට සහය දක්වපු විශාල පිරිසක් දැවැන්ත කලකිරීමකට පත්වුණා. ඥාති සංග්‍රහය, දේශපාලන පත්වීම් සහ දූෂණ, වංචා ගැන විපක්ෂ මන්ත්‍රීවරයෙක් විදියට වේදිකා දෙවනත් කරපු අනුර අධිකරණයේ ස්වාධීනත්වයට මේ විදියට ඇඟිලි ගහවි කියල ඒ කිසි කෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒක පැහැදිලිවම ආණ්ඩුවට අවශ්‍ය විදියට අධිකරණයේ කටයුතු මෙහෙයවුවොත් විශ්‍රාම ගියාට පස්සෙත් ඉහළ තනතුරු ගන්න පුළුවන් කියල විනිසුරුවරුන්ට දීපු සංඥාවක්; දූෂණයට විරුද්ධයි කියල කියන අනුර කරපු දූෂිත ක්‍රියාවක්.

දැන් ආණ්ඩුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරලා කරන්න හදන්නෙත් ඒ වගේ වැඩක්ද? ඇත්තටම ජනතාවාදී කියල තවමත් ජනතාව විශ්වාස කරන ජාජබ ආණ්ඩුව කොහෙද මේ යමින් ඉන්නේ?

නීතිපති දෙපාර්තමේන්තුවේ බරපතල ප්‍රශ්න තියෙනව, දූෂණ චෝදනා තියෙනව. නීතිපති ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියල රටේ ඉහළම අධිකරණය තීන්දුවක් දීල තියෙනව. මිනිස්සු කියන්නේ පොලිස්පති ඇතුළු පොලිසිය තාමත් වැඩකරන්නේ රාජපක්ෂ පදේට කියල. රාජපක්ෂ පාලනයේ බොහෝ ඝාතන, අපරාධ සහ දූෂණවලට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. කොටින්ම නීතියේ ආධිපත්‍යය කියන දේ වලපල්ලටම ගිහින්. මේවා ගැන නොදන්නවා වගේ ඉන්න ආණ්ඩුව හදිසියේම 23 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න හදනව.

විශ්‍රාම වයස දීර්ඝ කිරීමත් එක්ක තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉඳල කෙලින්ම අධිකරණ සේවයට පත්කරපු විශාල පිරිසකුත් දැනටමත් විනිසුරුවරුන් විදියට සේවය කරනවා. එහෙම බලද්දී ඔවුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම නිසා දැනටමත් උසස්වීම් ප්‍රමාද වෙලා ඉන්න පහළ අධිකරණවල බොහෝ විනිසුරුවන්ට බරපතල අසාධාරණයක් සිද්ද වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නවා අනිත් වෘත්තීන්වල වගේ නෙවෙයි, විනිසුරුවරුන්ට තමන්ගේ අයිතිවාසිකම් ගැන ප්‍රසිද්ධියේ කතාකරන්න හැකියාවක් නැහැ.

මම දැක්ක නීතිඥ නාමල් රාජපක්ෂ තවත් කරුණක් මතුකරලා තියෙනව. ඒ කියන්නේ තනතුරට පත් වෙන අවස්ථාවේ විශ්‍රාම යාමේ වයස කියල කිසියම් පුද්ගලයෙක් පූර්වක්ෂෙපනය කළ වයසට වඩා විශ්‍රාම වයස දීර්ඝ කිරීම ආණ්ඩු හිතවාදී වීමට කරනු ලබන අල්ලසක් විය හැකියි කියල. ඒ නිසා කිසියම් විදියකට ආණ්ඩුව ලංකාවේ මේ අවස්ථාවේ තියන දැවැන්තම දැවෙන ප්‍රශ්නයට විසඳුමක් විදියට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවොත් දැනට සේවයේ ඉන්න විනිසුරන්ට ඒ සංශෝධනය වලංගු නොවිය යුතුයි කියලත් ඔහු යෝජනා කරනවා. ඇත්තටම ආණ්ඩුව මේ කරන්නේ විනිසුරන්ට අල්ලස් දීමක් නෙවෙයි නම් විය යුත්තේ ඒකයි කියල මමත් හිතනවා.

මට මතකයි අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන අදහස් දක්වමින් හෙළනා කෙනඩි සාමිවරිය පළ කළ අදහසක්. “ආණ්ඩුව හෝ රාජ්‍යය විසින් නතුකර ගත නොහැකි ස්වාධීන විනිසුරුවරුන් සිටීම කිසියම් රටක නීතියේ ආධිපත්‍යය සඳහා ඉතාමත් වැදගත් කරුණක්,” බව ඇය එදා අවධාරණය කළා.

එවකට ජාත්‍යන්තර නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ (IBAHRI) අධ්‍යක්ෂිකාව වශයෙන් කටයුතු කළ ඇය, ඒ බව සඳහන් කළේ 2021 වසරේ දී බීබීසී සිංහල සේවය වෙනුවෙන් මම කළ විමසීමකට පිළිතුරු දෙමින්.

https://www.bbc.com/sinhala/sri-lanka-55750788

“ඇතැම් අවස්ථාවල, ආණ්ඩුවලින් එල්ලවන පීඩනවලට එරෙහි වෙන්න සිදුවෙන බව දන්නා විනිසුරුවරුන් සිටීම, ස්වාධීන අධිකරණයක පැවැත්ම සහ නීතියේ ආධිපත්‍යය සඳහා අත්‍යවශ්‍ය අංගයක්. එවැන්නක් පවත්වා ගැනීම විනිසුරුවන්ටත් ලොකු වගකීමක්.”

කිසියම් රටක ජනතාවට ගැටුම්වලින් තොරව නිදහසේ ජීවත්වීම සඳහා ස්වාධීන ආයතන අවශ්‍ය බවත් හෙළනා කෙනඩි සාමිවරිය කියා සිටියා.

ඒත් කණගාටුවට කරුණ තමයි අධිකරණය, ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන කොමිෂන් සභා ඇතුළු ආයතනවල ස්වාධීනත්වය ගැන වේදිකා දෙදරවපු ජවිපෙ ප්‍රමුඛ ජාජබ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ ස්වාධීනත්වය ප්‍රවර්ධනය කරනවා වෙනුවට අඩුම තරමේ දැනට තියන ස්වාධීනත්වයවත් රැකගන්න අවංක අභිලාෂයක් තියෙනවද කියන එක.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading