සුදර්ශන සමරවීර
දීපචෙල්වම්ගේ පොත් ශ්‍රී ලංකා රේගුවේ භාරයට ගැනීම, ආණ්ඩුවාදී මැදිහත්වීම් සහ සමාජ මාධ්‍ය කතිකාව මා වටහාගන්නේ අපේ ජාතික රෝග ලක්ෂණයක් (national symptom) ලෙසයි. මේ රඳවාගෙන ඇති පොත් දැනටමත් වෙළඳපොලේ මිලදීගත හැකි ඒවා බවද ඇතැම් පොත් සිංහල භාෂවටද පරිවර්තනය වී ඇති බවද පෙන්වාදෙමින් ෆේස්බුක් සටහනක් ලියන අනිල් හේරත් -මේ මගඩිය නවත්වන්නැයි- ඉල්ලා තිබුණි. අවසානයේ දීපචෙල්වන්ගේ පොත් අපේ සාමූහික කම්පනය විසින් ඇති කරන ලද නපුරු සිහිනයක් පමණක් බව ඒත්තු ගොස් සමහරවිට හෙට අනිද්දා වන විට හැමෝම යළි නිහඬ වනු ඇත. එහෙත් එය හුදු නපුරු සිහිනයක් සේ වටහාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. මා උනන්දු වන්නේ දීපචෙල්වම්ගේ පොත් ටික නිදහස් කරගැනීම වෙනුවෙන් පමණක් නොව – මෙමගින් හෙළි කෙරෙන “ජනවාර්ගික යුධ කම්පනය” සමාජයේ ප්‍රති-කම්පන ඇති කරන ආකාරය සහ එහි නොවැළක්විය හැකි මෙලන්කෝලියාවක් කරා ඇදී යමින් තිබෙන ආකාරය ගැනයි. පැහැදිලිවම මෙය, නොවැසුණු තුවාලයකි (an open wound). පැලැස්තරකාර ආණ්ඩු නම් නිතර තුවාල වසා මාරු වෙති.
සහෝදර ලේඛක දීපචෙල්වම්ගේ පොත් නිසා ඇති වූ කලබගෑනිය ගැන මගේ අදහස් ලියන්නට මට ඕනෑ වී දිනගණන් ගෙවී ගියද ඒ වෙනුවෙන් කාලය සොයාගන්නට නොහැකි වීම ගැන මා සිටින්නේ මා ගැනම කෝපයෙන් මෙනි. කලබලයෙන් ෆේස්බුක් එනවිට දකින දකින දේ වෙත ආවේගයෙන් මොනවා හෝ ලියා සැහැල්ලු වීම වෙනුවට මේ ගැන මගේ අදහස් වෙනම ලියා ගබන්නට මට ඕනෑ විය. මා හදාරමින් සිටින න්‍යායයන් ඇස් පනාපිට තහවුරු කෙරෙන මේ විශ්මිත ෆේස්බුක් අවකාශය මට පෙනෙන්නේ අර යුධ කම්පන භූත මන්දිරයක් ලෙසයි. හැමතැනම එහි කම්පනය ප්‍රතිරාව නගයි.
ඉතා කලබලකාරී ශීෂ්‍ය ජීවිතයක් ගෙවමින් – මේ යුධ කම්පනය හා බැඳුණු මතකය පිළිබඳ ඉංග්‍රීසියෙන් කියවමින් ලියමින් කාලය ගෙවන මට මේ සංවාදය පුදුම හිසරදයකි. ගිය සති අන්තයේ එක් පර්යේෂණ සම්මන්ත්‍රණයකදී මා කතා කළේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද කම්පනය හා බැඳුණු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනේම සාහිත්‍ය සහ නාට්‍ය පිළිබඳ නැවත සිතාබැලීමකි. Architecture of Silence: Absence and Belatedness of Civil War Trauma in Sri Lankan Fiction and Theater. තවම නිම නොකළ තරමක් දිග එම රචනය ෆේස්බුක් සටහනක් ලෙස සිංහලෙන් ලිවීමට මෙහි ඉඩ නැතත් එය දීපචෙල්වම්ගේ පොත් ගැන කතිකාවට සෘජුව නෑකම් කියන නිසා ඇතැම් අදහස් මෙහි ලියන්නට සිත් විය.
මා මේ ලියන්නේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ භූමි දර්ශනය සහමුලින්ම වෙනස් කළ, වාර්ගික යුද්ධයේ කම්පිත මතකය පිළිබඳ නිතරන්තරයෙන් සිතමින්, ඒ මතකය හරහා ගමන් කොට සුවපත් වෙන – සාමූහික විඥානයක් ප්‍රාර්ථනා කරමින් සිටින ශ්‍රී ලාංකිකයෙකු ලෙසයි. මා ලියමින්, කතා කරමින් සිටියේ ජනවාර්ගික ගැටුම හා බැඳුණු අපේ සාහිත්‍ය සහ නාට්‍ය කලාවෙහි ඇති නිහඬතාවේ දේශපාලනය ගැනය. අපි; අසරණ කම්පිත මිනිස් සාමූහිකය, අපේම කම්පනය හරහා ඉදිරියට ගමන් නොකොට එය අමතක කරමින්- යටපත් කරමින් ඒ නිසාම යළි යළි ඒ කම්පනයම ප්‍රතිරාව කරමින් සිටින පසුබිම ගැන අධ්‍යයනය කරමිනි. අපේ සමාජය වටහාගන්නට මනෝ-කම්පන න්‍යාය හෝ ක්ෂති-කම්පන න්‍යායෙහි (literary trauma theory) ආලෝකයෙන් ඒ වෙත එබෙමිනි. ඒ නිහඬතාවේ මහා ගොඩනැගිල්ල ගැන සිතමින් සිටින අතරේ ඇති වූ මේ දීපචෙල්වම් ඝෝෂාව ඉතා ඛේදජනක ලෙස නැවත ඇති කරන්නේ අර ක්ෂිතිමය කම්පනයම බව මම යළි කියමි. අපි සාමූහිකව යළි එම කම්පනයේ ගිලෙමින් සිටිමු. එමෙන්ම උත්ප්‍රාසවත් ලෙස මේ මහා ඝෝෂාකාරී සංවාදය මැද පවා සැවොම මෙන් දීපචෙල්වම්ගේ පොත් ගැන කතා කරන අතරේ අමතක කරමින් සිටින්නේ වාර්ගික අර්බුදයෙන් බැටකෑ මිනිසුන්ගේ ආත්මයයි. කම්පිත මතක නිහඬ කරවන්නට, යටපත් කරන්නට, අමතක කරවන්නට වළිකන සමාජයක් යනු ඒ කම්පනයේ ගිලුණු රෝගී සමාජයක්මය. සමාජ ප්‍රගතිශීලී මහජන බුද්ධිමතුන් සේ පෙනී සිටින බැරූරුම් මුහුණු සහ නම් ඇති අය මෙහි ව්‍යුහාත්මක මර්ධනය – හිංසනය නොදැක, නන්දොඩවමින්, ආණ්ඩුව බේරාගැනීම වෙනුවෙන් -හඬනැගීම- රෝග ලක්ෂණයේ උත්සන්න බව කියාපායි. ජාතික කම්පිත මනසෙහි මතකය පාගා දමමින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කිරීම මොන මායාවක්ද?
Architecture of Silence
මා මෙහි Architecture of Silence කියන විට අපේ සාහිත්‍යයේ, වාර්ගික යුධ මතකය ගැන පෙනෙන ප්‍රකට හිස්තැන ගැන ඉඟිකෙරෙයි. අපේ මේ සාමූහික කම්පනය ගැන වහා මතකයට එන හොඳ නවකතාව කුමක්ද? අපට ඒ ගැන ප්‍රමාණවත් තරම් සාහිත්‍යයක් නැති බව කියන්නට අමුතුවෙන් රෙෆරන්ස් ඕනෑ යැයි මම නොසිතමි. මා ඒ හිස්තැන දකින්නේ හුදු නිර්මාණකරුවන්ගේ මගහැරීමක්, අවධානයේ අඩුවක්, නිර්මාණාත්මක පරිකල්පනයේ හෝ අත්දැකීම්වල අඩුවක් ලෙස නොවේ. අපේ ඉතිහාසයේ තුවාලය වසාගැනීමට අප විසින්ම තනාගත් මතවාදී පවුරක් ලෙසයි. එය බොහෝ අංගවල එකතුවෙන් ගොඩනැගුණු විශාල නිහඬතා ගොඩනැගිල්ලකි. දීපචෙල්වම්ගේ මේ කෘති ඒ නිහඬතාවේ විශාල පවුරට ගසන ගල්කැට මෙන් දැනී ජාතික සාමූහික විඥානය නපුරු සිහිනයකින් මෙන් තිගැස්සෙයි.
කිසියම් ක්ෂිතිමය කම්පනයකට ගොදුරු වූ පසු මුලින්ම ඇති වන්නේ නිහඬතාවයි. අප අප තුළම ගිලී යාමයි. සිදු වූයේ කුමක්දැයි පවා අවබෝධ කරගැනීමට නොහැකියාව මනෝ-කම්පනයක මූලික ලක්ෂණයකි. ඒ නිසා කම්පිත මනස නිහඬතාවක ගිලීයාම එහි මූලික ලක්ෂණය බව කවුරුත් පිළිගනිති. නමුත් එය එසේ නිහඬව සිටීමෙන් සුව වෙන තත්ත්වයක් නොවේ. නිහඬවීම යනු නින්ද නොයාම, නපුරු සිහින සිහින දැකීම, නිරන්තර තැති ගැන්ම ආදී බොහෝ රෝග ලක්ෂණ ප්‍රකට කරන අවදියකි. මෙම පශ්චාත් කම්පන නිහඬතාව යළි එම කම්පනය ඇතිකිරීමේ ප්‍රධාන හේතුවකි. මෙම නැවත නැවත කම්පනය ඇතිවීමේ තත්ත්වය කම්පන න්‍යායෙහි හැඳින්වෙන්නේ repetition එසේ නැතිනම් acting out යනුවෙනි. සාමාන්‍යයෙන් බරපතල කම්පනයක් සිදු වූ විට එය නැවත නැවත ඇති වීම සාමාන්‍ය ස්වභාවය බව අපි හැමෝම අත්දකින දෙයකි. නැවත නැවත කම්පනයේ ගිලෙමින් නිහඬව සිටීමෙන් කම්පිත මනසක් සුවපත් වන්නේ නැත. එය යටපත්ව යන්නේ නැත. මෙම කම්පනයෙන් ගැලවීමේ පළමු පියවර නම් ඒ මතකය අනෙක් අය සමග බෙදාගැනීමයි. මේ අනෙක් අය හා කම්පිත මතකය බෙදාගැනීම ඉතා අසීරු අත්දැකීමකි; එය තමාට හෝ නියමාකාරයෙන් වටහාගත හැකි තත්ත්වයක් නොවන උභතෝකෝටිකයකි.
දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් පාදක කරගත් කම්පන ආඛ්‍යාන ඇසුරින් වර්ධනය වූ මෙම සාහිත්‍ය න්‍යාය 1990න් පසු වඩාත් සක්‍රීය ලෙස මේ ක්ෂිතමය මතකයනක් හා බැඳුණු ආඛ්‍යාන පිළිබඳ අවධානය යොමු කරන්නට විය. ඒවා ගැන සවිස්තර සටහන් ලියන්නට මෙහි ඉඩ නැතත් ඒ ඇසුරෙන් මතු කෙරන මේ Absence, silence, belatedness සහ acting out පිළිබඳ මේ මොහොතේ අප සිතා බැලිය යුතුය.
කැතී කැරුත් සිය Unclaimed Experience: Trauma, Narrative, and History. (1996) නම් කෘතියෙහිදී මෙවැනි මනෝ-කම්පනයක ස්වභාවය විස්තර කරමින් සිග්මන් ෆ්‍රොයිඩ් ඔහුගේ Beyond the Pleasure Principle කෘතියේ කම්පන/ක්ෂතිමය අත්දැකීම විස්තර කිරීම පිණිස භාවිත කළ රොමැන්ටික වීරකාව්‍ය උපුටාදක්වයි. මා මීට පෙරද මේ කතාව වෙනත් රචනයක උපුටාදක්වා ඇතත් එය මේ වෙලාවේ රේගුව සහ ආණ්ඩුකාර මහජන බුද්ධිමතුන් විසින් ගොඩනගන ප්‍රති-කම්පන අවකාශය තේරුම් ගැනීමට වැදගත් නිසා යළි මෙහි ලියමි.
මේ මිථ්‍යා කතාවට අනුව, එහි වීරයා වන ට්‍රැන්කෙඩ්, දරුණු යුද්ධයක පැටලී සිටින අතර යුදබිමේදී සිදුවන අහඹු අත්වැරැද්දකින් තමන්ගෙ පෙම්වතිය, ක්ලොරින්ඩා මරණයට පත් වෙයි. දැඩි මනෝ-කම්පනයකට ඇද වැටෙන ඔහු අවසිහියෙන්ම ඇයව භූමිදාන කිරීමෙන් පසු මායාකාර වනාන්තරයකට ගොස් තම සතුරන්ට අභියෝග කරයි. සතුරන් බිය වැද්දීම පිණිස මායාකාර වනාන්තරයේ උසම ගසකට නැග තම කඩුවෙන් ගසේ අත්තකට කොටමින් කඩුව වනමින් ඔහු සතුරන්ට කෑමොරදෙයි. කඩු පහර ලද ගසේ අතු අගින් රුධිරය ගලන්නට පටන්ගනියි. ගසෙහි අරටුව තුළා කිඳා බැසගත් සිය පෙම්වතිය, ක්ලොරින්ඩාගේ ආත්මයේ හඬ ඔහුට ඇසෙන්නට වෙයි, ඔහු විසින් නැවතත් ඇයව තුවාල කළ බව මුමුණමින් ඇගේ ආත්මය විලාප දෙන හඬකි ඒ.
ඉතාලි වීර කාව්‍ය රචකයෙකු වන තසෝගේ කාව්‍යයක එන මේ කතාව ෆ්‍රොයිඩ් භාවිත කරන්නේ මානසික කම්පනයකින් පසු පුද්ගලයෙකුගේ අතිශය සංකීර්ණ මානසික ස්වභාවය පැහැදිලි කිරීමටයි. ෆ්‍රොයිඩ්ගේ තර්කය වන්නේ මෙවැනි කම්පක සිදුවීමකින් පසු පුන පුනා කම්පනයට ලක්වීම ඒ කම්පනයේම උරුමයක් බවයි. අපට කම්පනයට ප්‍රතිචාර දැක්විය යුතු වුවත් එය අපේ පාලනයෙන් තොර තත්ත්වයක් නිසා අප කම්පනයට ප්‍රතිචාර ලෙස සිදු කරන ප්‍රතික්‍රියා මගින්ද අප විසින්ම ඒ කම්පනය නැවත නැවත ඇති කරයි. අපේ බුද්ධිමතුන්ද සිදු කරමින් සිටින්නේ දැන් එයයි. ජාතික සංහිඳියාව, ඒකීයභාවය වෙනුවෙන් ඔවුහු එහි ජනතාවම පෙළති. කලඹවති. සුවපත් වූ තුවාල ඇවිස්සීම වැළැක්වීම පිණිස මේ සා අවධානයෙන් සිටින බවද ඒ අතර ඔවුහු වොයිස් කට්වල කියති. මේ කුමන නම් උත්ප්‍රාසයක්ද?
දැන් මේ තුවාල මනස ඒ ආකාරයෙන්ම නොපවතින – සුවපත්වීම ඉල්ලා සිටින නිසා තමයි එය අනෙකා සමග බෙදාගැනීමේ වුවමනාව උපදින්නේ. එය කම්පිත මනසක සහජාශයකි. කම්පිතභාවයෙන් මිදීමේ වඩාත් සෙනෙහෙබර මාවත වන්නේ මේ එකිනෙකා හා මතකය බෙදාගන්නා අවකාශයයි. ඉතා ඛේදජනක ලෙස මේ පුනරුද ආණුඩවත් සෙල්ලම් කරන්නේ මේ මනුස්සකමේ අවකාශය තුළයි. සාහිත්‍ය කලාවල විශේෂ වැදගත්මකමක් – මැදිහත්වීමක් මේ කම්පන මනස් වෙනුවෙන් කළ හැකි බව පසුගිය දසක හතරක පහක කාලය තුළ සිදු කෙරෙන අධ්‍යයනවලින් පෙනේ. වාර්ගික කම්පන හා බැඳුණු Architecture of Silence ගැන සිතන විට යූරෝ-ඇමෙරිකානු මනෝ-කම්පන න්‍යාය උඩු යටිකුරු කරවන ආකාරයේ ආකර්ෂණීය උදාහරණයක් ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ විමසන කෙනෙකුට හමුවේ.
Permitted Space
සංස්කෘතික අමාත්‍යාංශයෙන් පළ කරන අභිනය සඟරාවට අනුව 1983-2009 කාලය තුළ රාජ්‍ය නාට්‍ය උළෙලවල නාට්‍ය 1500කට වඩා වේදිකාගත කෙරී තිබුණද පුදුම සහගත ලෙස වාර්ගික යුද්ධයේ කම්පනය සෘජුව හසුකරගත් නාට්‍යවල හිස්තැනක් (absence) පෙන්වයි. ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සිය Theater in Politics and Politics in Theater (1999) රචනයෙහි සිංහල නාට්‍යකරුවන් මෙම ජනවාර්ගක දේශපාලන අර්බුදය වෙත බරපතල ලෙස නොඑළඹුණ බව නිරීක්ෂණය කරයි. ලාංකික ඉතිහාසයෙහි බිහිසුණුම සමයක් වූ 1988දී රාජ්‍ය නාට්‍ය උළෙලක වේදිකාගත වන වැඩිම නාට්‍ය ගණනක්, එනම් නාට්‍ය 180ක් වේදිකාගත කෙරුණු බවත් වාර්ගික ගැටුම ගැන බරපතල ලෙස සිතන එකදු නාට්‍යයක්වත් ඒ අතර නොමැති බවත් කියැවේ. සිංහල-දෙමළ කෝලාහල මෙම දසකයෙහි තීරණාත්මක සංසිද්ධියක් වූ නමුත් එය අපේ ප්‍රශ්නයක් නොකරගන්නට අපේ අය පරිස්සම් වූ බව ඉතිහාසය කියයි.
මහාචාර්ය රංජනී ඔබේසේකර ලියූ Sri Lankan Theater in a Time of Terror: Political Satire in a Permitted Space (1999) නම් කෘතිය අපිට අපිවම වටහාගන්නට කදිම අත්වැල් කෘතියකි. මෙම කෘතිය 80 දසකයේ භීම සමය සහ ඒ යුගයේ සිංහල වේදිකා නාට්‍ය කලාව පදනම් කරගෙන ලියැවී ඇත. මෙම කාලය ඇය භීෂණ කාලයක් හෙවත් a time of terror ලෙස හඳුන්වයි. 1983 සිට තීරණාත්මක ලෙස ඇවිලෙන්නට පටන්ගත් සිංහල-දෙමළ කෝලාහල හා බැඳුණු ඊළාම් අරගලයත් ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගෙන ඇති වූ සමාජවාදී විප්ලවයත් ඒවාට ප්‍රතිචාර ලෙස ආණ්ඩුවේ නිල හමුදාව සහ පැරාමිලිටරි කණ්ඩායම් ආදියත් සමග ලංකාවේ සමාජය පුරා පැතිර ගිය අවිනිශ්චිතතාව සහ බිය මැද අපේ සමාජය කටයුතු කළ ආකාරය මහාචාර්ය ඔබේසේකර නොයෙක් අන්තර්දෘෂ්ටි දල්වමින් විස්තර කරයි. දෛනික ජීවිතය ඉතා බියජනක ලෙස ගෙවෙන වටපිටාවක පවා සිංහල වේදිකාව ඉතා සක්‍රීය ලෙස පැවතුණු ආකාරය ඇය පෙන්වාදෙයි. සාහිත්‍යය ඇතුළු අනෙකුත් සියලු කලා මාධ්‍ය පමණක් නොව පුවත්පතක් මුද්‍රණය හා බෙදාහැරීම පවා තහනම් කොට තිබූ අවදියක සිංහල තරුණයන්ගේ සමාජවාදී සිහින සමග රටේ ඇති වූ නොසන්සුන්තා ගැන නොයෙක් කතිකා කෙරෙන අවකාශයක් ලෙස එකල වේදිකාව භාවිත විය. මහාචාර්ය ඔබේසේකරට අනුව මෙම permitted space තුළ සිංහල ජනතාව සිය පීඩනය මුදා හළහ. ඔවුහු සිය ප්‍රශ්න සාමූහිකව කතා කරන්නට, වැළපෙන්නට, තමාගේම දුර්වලතා මෝඩකම්වලට සිනාසෙන්නට, අනතුර වටහාගන්නට මෙම අවසරලත් අවකාශය භාවිත කළහ. මහාචාර්ය ඔබේසේකර මේ අවකාශය safety valve එකක් ලෙස හඳුන්වයි. මෙය ඇත්තෙන්ම ඓතිහාසික වශයෙන් විස්මිත මොහොතක් බව මම සිතමි. එය තවත් විස්මිත වන්නේ දෙමළ නාට්‍ය කලාවෙහි ඉරණම දෙස බලන විටය. මහාචාර්ය ඔබේසේකර මේ පොතේදීම ජනවාර්ගික ගැටුම ගැන අපේ වේදිකාවේ glaring lacuna එකක් පවතින බවද පෙන්වාදෙයි. භීෂණ සමයක පවා සිංහල ජනතාවට වේදිකාව අවසරලත් අවකාශයක් වන විට ඒ භූමියේම ජීවත් වූ දෙමළ ජනයාට වේදිකාව අතහැර පලා යන්නට සිදු විය. ඔවුන් කුඹුරුවල, කැලෑවල, පන්සල්වල විවිධ අභිචාර හා නාට්‍යමය අත්දැකීම් නිර්මාණය කරමින් සිය කම්පනය සමනය කරගන්නට උත්සාහ කළහ. කංචුකා ධර්මසිරි සිය From Narratives of National Origin to Bloodies Streets: Contemporary Sinhala and Tamil Theater in Sri Lanka (2014) රචනයෙහි දෙමළ නාට්‍ය කලාවෙහි මෙම අවසානාවන්ත ඉරණම මැනවින් පෙන්වා දෙයි. එකම බිමක නාට්‍ය කලාව ඇසුරින් අපේ සංස්කෘතික උරුමය අපට පෙනේ. එක් ජන කොටසක් වැළපෙමින්, ප්‍රාර්ථනා කරමින් සාමූහිකව සිය කම්පනය සමනය කරගන්නා අතර එම බිමේම තවත් ජන කොටසක් සිය කම්පනය මුදාහරින්නට කොහැකිව එහිම සිර වී අනාථ වෙති.
බටහිර කම්පන න්‍යායේ එන හැටියට මෙවැනි අහිමි වීමකට මුහුණු දුන් පසු ඇතිවන නිහඬතාව (silence) විශ්වීය එකකි. එම කම්පනයෙහි තරම නිසාම හිස්තැනක් (absence) ඇතිවෙයි. එය පොදු මිනිස් ධර්මතාවකි. එහෙත් ඔබ Colonial and Post Colonial Trauma ගැන කියවා ඇත්නම් ජන වර්ගය, කුලය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ආදිය සමග මේ කම්පන ස්වභාව අපෙ සමාජවල තවත් සංකීර්ණ වන ආකාරය පිළිබඳ අදහස් කියවා ඇති. අපේ සමාජය දෙස බලන විට මේ නිහඬතාවේ දේශපාලනය තවත් සංකීර්ණ බව පෙනේ. බටහිර න්‍යාය පවසන පරිදි නිහඬතාව විශ්වීය වුවත්, ලංකාවේ නිහඬතාව යනු තෝරාගත් නිහඬතාවකි (Selective Silence). වැළපීම – අනෙකා හා දුක බෙදාගැනීම පවා අසමාන ලෙස බෙදී ගිය සමාජයකි. සිංහල අපට අපේ වේදනාව ගැන කතා කිරීමට ‘අවසරලත් අවකාශ’ තිබුණද, අප සමග එකට වසන සහෝදර දෙමළ මිනිසුන්ගේ වේදනාව අඩංගු පොත් පවා රේගුවේ රඳවා තැබීමට තරම් අපේ නිහඬතාව ප්‍රචණ්ඩ වී ඇත. දීපචෙල්වන්ගේ පොත්වලට බිය වීම යනු අපේම ව්‍යාධිය නිසා අපට ඇතිවන බියකි. වාර්ගික යුද්ධය වැනි මහා කම්පාවකින් පසු ඉන් පීඩා විඳින්නේ යුද්ධයට මුහුණ දුන් තනි පුද්ගලයන් පමණක් නොවේ. අපි සියල්ලෝ එහි කොටස්කරුවෝ වෙමු. අප කෙතරම් අකමැති වුවද අපට ඉන් ගැලවීමට හැකියාවක් නැත. අපට ඇති එකම මග ඒ හරහා ගමන් කිරීම පමණි.
Working Through
අපේ සංවාදයට අනුව මේ කම්පනය හරහා ගමන් කිරීම යනු සායනික ප්‍රතිකාර ලබාගැනීම, වෙනත් ආකාරයක සුවපත් වෙන ආකාරයේ මානව සම්බන්ධයක් ගොඩනගා ගැනීම වැනි ඒක පුද්ගල ක්‍රියාවලියක් නොවේ. එය සාමූහික විඥානයට අයත් දෙයකි. මේ කම්පන හරහා ඉදිරියට ඇවිද යන්නට අපට ඇති එකම මාවත අපේ සමාජයමයි. පවුල, පාසල, විශ්වවිද්‍යාල, ආගම, රැකියා ස්ථාන, ජන මාධ්‍ය සහ සාහිත්‍ය කලා යනාදී අවකාශවල අප ගමන් කරන ආකාරය වැදගත් වේ. මෙය සාමූහික වගකීම, සානුකම්පික පරිකල්නය සහිත සමාජයක වෑයමෙන් පමණක් යා හැකි ගමනකි.
සාහිත්‍ය කලාවලට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාර බොහෝ තිබේ. විශේෂයෙන්ම යුද්ධයෙන් පසු කාලයේ පරාක්‍රම නිරිඇල්ල ප්‍රමුඛ ජන කරළිය, රුවන්ති දි චිකේරා වැනි අය ඇතුළු ඇතැම් නාට්‍ය කණ්ඩායම් සිංහල-දෙමළ සංහිඳියාව ඇති කෙරෙන – කම්පිත මනස් සමනය කරවන නාට්‍යමය අත්දැකීම් නිර්මාණය කිරීමට දරණ ප්‍රයත්න අගය කළ යුතුය. චාමනී හේවාගමගේ මෑතකදී පරිවර්තනය කරන ලද කුලංදෛ එම්, ශණ්මුගලිංගම්ගේ -ඇවිළෙන අන්ධකාරය- නාට්‍ය පිටපත සහ ඒ පිළිබඳ ශාස්ත්‍රීය විමසුම මගින් දෙමළ නාට්‍යකරුවන් සිය කම්පිත මතකයන් – සිය අහිමිවීම් සාමූහිකව සාකච්ඡා කරමින් ඒවා හරහා ගමන් කරන්නට දරණ උත්සාහය පෙනේ.
තිලීපන් දීපචෙල්වම් වාර්ගික යුද්ධයෙන් පසු නඩුගල් නමින් පළමු දෙමළ නවකතාව ලිව්වේය. ශ්මාරක ශිලාවත නමින් එය සිංහල භාෂාවටද පරිවර්තනය විය. පසුගිය කාලය පුරා දෙමළ කවි-කිවිඳියන්ගේ කවි සිංහලයට පරිවර්තනය විය. ආචාර්ය මධුභාෂිණී දිසානායක පරිවර්තනය කොට සංස්කරණය කළ The Routledge Companion to Sinhala Fiction from Post War Sri Lanka නමැති කෘතියෙන් පෙනෙන වැදගත් දෙයක් නම් දැන් සිංහල භාෂාවෙන් ලියන ප්‍රධාන රචකයන් සියලුදෙනාටම පාහේ වාර්ගික ප්‍රශ්නය – යුධ කම්පනය පිළිබඳ තේමාවෙන් මිදීමට නොහැකි වී ඇති බවයි. එහි එන බොහෝ කතා සෘජුව වාර්ගික යුද්ධය පිළිබඳ ගොඩනගන ආඛ්‍යාන නොවේ. එහෙත් ඔවුන්ගේ ප්‍රබන්ධ ආඛ්‍යාන තුළට නිරායාසයෙන් මෙන් මේ කම්පනය ඇතුළු වන බව නිරීක්ෂණය කළ හැකිය. එය කලාතුරකින් හැර සෑම සිංහල කවියෙකුගේම පොතක අසූවේ භීෂණ සමය ගැන කුමන හෝ මතකයක් හමුවෙන්නාක් මෙනි. සෘජුව යුද්ධයේ කම්පනයට ප්‍රතිචාර නොදක්වා සිටියත් අපේ දෛනික ජීවිත කතාවලින් පවා එය මකා දමන්නට බැරි බවට මේ ෆේස්බුක් එක පවා සාක්ෂි දෙන විට, අපේ සාමූහික ජීවිතය පිළිබඳ පරිකල්පනය කරන ප්‍රබන්ධයක ඒ අමිහිරි කම්පිත මතක කෙසේ නම් මගහැර යන්නද? එහෙත් ආචාර්ය මධුභාෂිණීගේ පොතේ එන එකම නිර්මාණයක් හෝ වාර්ගික යුධ කම්පනය තේමාත්මකය කරගත් නවකතා නොවේ. එවැනි කෙටිකතා කිහිපයක් සිංහලෙන් පළ වී බව ඇත්තකි. මේ කෘතියේ නැති ආරියවංශ අබේසේකරගේ -මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්- සහ මංජුල වෙඩිවර්ධනගේ -පැරිස් වළාකුළු- යන කෘති දෙක දැනට සිංහලෙන් වාර්ගික යුද්ධයේ කම්පනය තේමාකරගත් ඒවා ලෙස කියවිය හැකිය. ඒ අතරින් මා සිතන්නේ ජනවාර්ගික යුධ කම්පනය හරහා ගමන් කරන (work through) දැනට සිංහලෙන් ලියැවී ඇති විශිෂ්ටතම සිංහල නවකතා අභ්‍යාසය අබේසේකරගේ -මාතෘකාවක් සොයන- කෘතිය බවයි. ආචාර්ය මධුභාෂිණී වැනි පශ්චාත් යුධ ප්‍රබන්ධ කතාව පිළිබඳ බරපතල ලෙස සිතන ශාස්ත්‍රවන්තයෙකු අතින් ඒ පිළිබඳ අපට ඇති වැදගත්ම කෘති මගහැරීම සිදු නොවිය යුතු දෙයකි. අනික් අතට ඇය කුමාරි කුමාරගමගේ ලියූ ආවේදනාත්මක සටහන්, කතා පොත්වල එන කතා ප්‍රබන්ධ කතා සේ ඉදිරිපත් කිරීම න්‍යායික වරදකි. මනෝ-කම්පන න්‍යායයට අනුව මෙවැනි ආඛ්‍යානවල සුවිශේෂී ස්වභාවය අනුව ඒවා ප්‍රබන්ධ කතා සේ කියවීම පාඨකයා මුලා කිරීමකි. මේවා ගැනත් අර නාට්‍ය සහ සාහිත්‍ය කෘති ගැනත් නිදර්ශන සහිතව ලියන්නට මෙහි ඉඩ නැත. එහෙත් තව බොහෝ දේ අපට කතා කරන්නට තිබේ. වාර්ගික යුද්ධය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල හා දෙමළ යන භාෂාවලට සාපේක්ෂව වැඩියෙන් ලියැවී තිබේ. මයිකල් ඔන්ඩච්චිගේ Anil’s Ghost (2000), ශ්‍යාම් ෂෙල්වදොරෙයිගේ Funny Boy (1994), නයෝමි මුණවීරගේ Island of Thousand Mirrors (2012), අනුක් අරුද්ප්‍රගාසම්ගේ The Story of a Brief Marriage (2016), A Passage North (2021), බාලා ෂැරොන්ගේ The Boat People (2018), සෝබාශක්තිගේ Gorilla (2010), Traitor (2011), වී. වී. ගනේෂානන්දන්ගේ Love Marriage (2008) වැනි නවකතා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකික වාර්ගික යුද්ධය පිළිබඳ භූමිදර්ශනය හැඩගස්වන්නට බලපා ඇත. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ සාහිත්‍ය සේ ශාස්ත්‍රීය සංවාදයේ ආධිපත්‍ය හිමිව ඇත්තේ මේ ආකාරයේ ඇන්ග්ලොෆෝන් හෝ ඩයස්පෝරා නවකතා වෙතයි. ඒවායෙහි යුද්ධයෙන් බැට කෑ අහිංසක මිනිසුන්ගේ ජීවන යථාර්ථය, කම්පනය චිත්‍රණය කරන වැදගත් කෘති බව මම පිළිගනිමි. මා මෙවැනි බොහෝ නවකතා කියවන විට වටහාගත් දෙයටක් නම් මෙවැනි ඇන්ග්ලොෆෝන් නවකතා, විශේෂයෙන්ම සරණාගත කම්පන (refugee trauma) වෙත වැඩියෙන් නැරුඹු වී ඇති මෙම නවකතා ලාංකික භූමියේ ජනතාව සමග මේ කම්පාව හරහා ඉදිරියට ගමන්කරන්නට (to work through) සමත් නොවන බවය. ඊට වඩා සිංහල සහ දෙමළ ලේඛකයන් සිය මව් භාෂාවෙන් සිය රට තුළ හිඳිමින් ලියන ප්‍රබන්ධ කතාවල ඊට වඩා ගැඹුරු මානයක් මම දකිමි. මෙවැනි කතා වැඩි වැඩියෙන් ලියැවෙනු දැකීම මගේ ප්‍රාර්ථනය විය. අපට මේ කම්පන හරහා ඉදිරියට ඇවිද යන්නට – සුවපත් වෙන්නට ඇති මාර්ගය නම් සැවොම සදමානයන් සේ සලකන ආචාරධාර්මිකවත් – සහනුකම්පික සමාජයකි. වාර්ගික යුද්ධයෙන් පසු ප්‍රථම දෙමළ නවකතාව ලියූ ලේඛකයාගේ සිංහල භාෂාවටත් පරිවර්තනය වූ ඒ ප්‍රථම නවකතාවත් ඇතුළුව තවත් පොත් වාරණය කරමින් වරප්‍රසාදලත් මහතැන් විසින් සිදු කරමින් සිට්න්නේ අර නිහඬතාවේ ගොඩනැගිල්ල තවත් ශක්තිමත් කරන්නට දායක වෙන එකය.
කම්පනයක උරුමය එය නැවත නැවත ඇති කිරීම හෙවත් acting out බව අපි කීමු. මෙය විවෘත වී ඇති තුවාලයක් නිසා සිදුවන්නේ නිතර නිතර පෑරීමමය. යුද්ධයෙන් බැට කෑ මිනිසුන් ඉන් අසරණ වී ඔවුන් තුළම නිහඬ කම්පාවේ ගිලී යන අතර සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් තම අනෙකා පරාජය කළ බවට උදම් අනමින් ප්‍රීති ඝෝෂා පවත්වන විට අර ජාතික සංහිඳියාව, රටේ ඒකීයභාවය වැනි දේ රුධිරය සේ වෑස්සෙයි. ඒ ප්‍රීති ඝෝෂා අතර ජයග්‍රාහකයන්ට ඕනෑ අර පරාජිතයා නිහඬ කරලීමය. තුවාලය සනීපයි කියා කාටත් රැවටෙන්නට පහසු මග එයයි. අනෙක් අතට දෙමළ ඩයස්පෝරාවේ බොහෝ හඬලෑම් මීට නොදෙවෙනි ලෙස අර කම්පනයම ඊට ප්‍රතිවිරුද්ධ මායාවක සිට සිදු කරයි. අන්තර්ජාතික යුද වෙළඳපොල, ජාත්‍යන්තර මාධ්‍යවල සිට අපේ මේ සමාජ මාධ්‍ය දක්වා කොයි කෝකත් පාරන්නේ අර එළිමහන් තුවාලයයි. මේ කාගේත් වෙළඳපොල – බල අරගලය වන්නේ මෙය හිඟන්නාගේ තුවාලය මෙන් දිගින් දිගට පවත්වාගැනීම වීමේ යථාර්ථය බිහිසුණු එකකි. මා තේරුම්ගන්නා ආකාරයට මේ සියල්ලෝම කරන්නේ අර සාමූහික කම්පනය හරහා ඉදිරියට ගමන් කරනු වෙනුවට මතක වළලමින් – යළි යළි එකී වියවුලම ඇති කරවන්නට දායක වීමකි.
පුනරුද යුගයක් අරඹන්නට පැමිණි සාහිත්‍ය කලාකාරයන් රොත්තකගෙන් පිරි ආණ්ඩුවක් මෙවැනි බරපතල සහ සංවේදී කාරණයක් හමුවේ හැසිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් මේ හරහා යන්නට දක්වන බියයි. එය කියන්නේ අප තවමත් Post Traumatic Stress Disorder සමාජයක් බවය. මේ හරහා යන්නට ඇති මං පවා අහුරාගන්නා අමනෝඥ සමූහයක් බවය. මෙහි වටහාගන්නට තරම් අපහසු දෙයක් නැත. කම්පන මතක සමනය වූ, සැවොම සමානයන් හා සලකන සමබිමක දීපචෙල්වන්ගේ පොත් රේගුවේ අත්අඩංගුවට පත්වන්නේ නැත. යථාර්ථය නම් අප තවමත් සාමූහික තුවාලකරුවන් බවයි. ඉතිං මගේ හිතවත් මාලිමා කලාකාරුවන් ඉතිහාසයේ සුව වූ තුවාල නොපාරන්නැයි වොයිස්කට් දීම උත්ප්‍රාසයකි. -ව්‍යුහාත්මක හිංසනය- වැනි පද කියමින්ම එවැන්නක් මෙහි නැතැයි බැගෑපත් වන ඒ අය නම ගිය සාහිත්‍යකරුවන් වීම නිසා උත්ප්‍රාසයෝද කරණම් ගසති. ඒ කරණම් ඝෝෂා මැද කම්පිත මිනිස් සමාජයක් මෙලන්කෝලියාවක් හෝ සනාතන ශෝකයක් කරා ඇදී යනු වළක්වන්නේ කවුද?
