NDB බැංකුවේ වංචාව ගැන පුළුල් වෝහාරික විගණනයක්

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි මෑතකදී අනාවරණය වූ මහා පරිමාණ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් යුත් ජාත්‍යන්තර ආයතනයක් මගින් පුළුල් වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති පරිදි, මෙම සිදුවීම සම්බන්ධයෙන් දිනපතා සමීප අධීක්ෂණයක් සිදු කෙරෙන අතර, අදාළ විගණන කටයුතු සඳහා ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයක් සම්බන්ධ කර ගැනීමේ මූලික කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී.

මෙම වෝහාරික විගණනයේ ප්‍රධාන අරමුණ වන්නේ වංචාව සිදු කිරීමට සෘජුවම බලපෑ සාධක හඳුනා ගැනීම පමණක් නොව, එම කාල සීමාව තුළ බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධතියේ පැවති දුර්වලතා සහ අභ්‍යන්තර ක්‍රියාවලීන්හි පවතින අඩුපාඩු පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සහ ඇගයීමක් සිදු කිරීම බව පැවසේ.

විශේෂයෙන්ම, අධීක්ෂණ සහ යහපාලන නියාමන අවශ්‍යතාවලින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි යන්න මෙහිදී සක්‍රීයව සොයා බලනු ඇත. මෙම විගණන ක්‍රියාවලිය පුරාවටම එහි ප්‍රගතිය සහ අන්තර්කාලීන සොයා ගැනීම් පිළිබඳ වාර්තා සෘජුවම මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, විමර්ශන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මහ බැංකුව විගණකවරුන් සමඟ සෘජුවම සම්බන්ධ වෙමින් නිරන්තර අධීක්ෂණයක නිරත වනු ඇත.

NDB බැංකුව තුළ වංචා සහගත සිදුවීමක් වාර්තා වුවද, එම බැංකුව සිය ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවයට අදාළ සියලුම නියාමන අවශ්‍යතා අඛණ්ඩව සපුරාලමින් ස්ථාවර මට්ටමක පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.

මේ හේතුවෙන් තැන්පත්කරුවන්ගේ අරමුදල්වල සුරක්ෂිතභාවය පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බව දන්වා සිටින මහ බැංකුව, බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන තෙවන පාර්ශවීය ඇගයීමක් සිදු කරන ලෙස ද කළමනාකාරිත්වයට උපදෙස් දී ඇත.

තවද, මෙම සිදුවීම හේතුවෙන් නියාමනයට යටත් අනෙකුත් කිසිදු මූල්‍ය ආයතනයකට බලපෑමක් වී ඇති බවට සාක්ෂි අනාවරණය වී නොමැති බැවින්, විවිධ පාර්ශවයන් පතුරවන අසත්‍ය ප්‍රකාශවලින් නොමඟ නොයන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටින මහ බැංකුව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක අමතර පියවර ගැනීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading