ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වෙයි ! උද්ධමනයේ වර්ධනයක් සහ මූල්‍යමය වශයෙන් හිඟ තත්ත්වයක් ඇති වේවි !! – ෆිච් රේටින්ග්ස් වාර්තා පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික මූලධර්මවල වර්ධනයක් පෙන්නුම් කරන නමුත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තවමත් දුර්වල මට්ටමක පවතින බව ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) නවතම වාර්තාව මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව පැහැදිලි කරන්නේ, මැදපෙරදිග බලශක්ති අර්බුදය හේතුවෙන්, ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලීන් හරහා මෙන්ම දේශපාලනික වශයෙන් ගනු ලැබූ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවෙ ලබාගත් ආර්ථීක ජයග්‍රහණ මේ වන විට අභියෝගයට ලක්ව ඇති බවයි.

2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව ආර්ථිකය ශක්තිමත් පදනමක් මත ගොඩනැගෙමින් පැවති නමුත්, 2026 වසරේ දී එම ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බවත්, උද්ධමනය ඉහළ ගොස් මූල්‍ය හිඟ තත්ත්වයන් වර්ධනය විය හැකි බවත්, ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම වාර්තාම මඟින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත්, 2025 වර්ෂයේ දී 5% ක් ව පැවති දළ දේශීය නිෂ්පාදිතයන්ගේ (GDP) වර්ධනය මෙම වසරේ දී 3.7% දක්වා අඩු වනු ඇති බවත්, 2025 දී 0.5% ක්ව පැවති අවධමන තත්ත්වය 6 % ක උද්ධමනය තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් පුරෝකථනය කරන මෙම වාර්තාව වැඩිදුරටත් දක්වනුයේ, 2024 වසරේ සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ද, රජය බැඳී සිටින ඉහළ ණය සහ පොලී බර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ‘CCC+’ ශ්‍රේණිගත කිරීම තවමත් අවම මට්ටමක පවතින බවයි.

එහි දී විශේෂයෙන් ගෝලීය වශයෙන් බලශක්ති මිල ගණන්වල සිදු වන වර්ධනය මෙරට ආර්ථික වර්ධනය හා උද්ධමනය අහිතකර ලෙස බලපෑ හැකි බවටත්,  2022 වසරට සාපේක්ෂව සාර්ව ආර්ථික ස්ථායීකරණය මගින් එම තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වී තිබුණද, ආර්ථිකය තවමත් බලශක්ති මිලෙහි ඇති වන දැඩි වෙනස්වීම්වලට හා බාහිර වශයෙන් ඇතිවන අවදානම්වලට නිරාවරණය වීමට තරම් ශක්තිමත් නොමැති බව ද එම වාර්තා මඟින් වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබ තිබෙනවා.

ශ්‍රී ලංකාව මැද පෙරදිග ගැටුම් හේතුවෙන් හා එහි ප්‍රතිඵලයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය දීර්ඝ කාලයක් වසා දැමීම වැනි අයහපත් තත්ත්වයක් යටතේ දැඩි අවදානමකට මුහුණ පා ඇති නමුත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ පස්වන සහ හයවන සමාලෝචන වාරික අවසන් කර ඇති හෙයින් එමඟින් මැයි මස අවසන් වන විට ඩොලර් මිලියන 700 ක පමණ මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාව වෙත සැලසෙනු ඇති බවයි ෆිච් රෙඒ්ටින්ග්ස් වාර්තා පවසා සිටින්නේ.

ඒ අනුව,  දෙසැම්බර් මාසයේදී IMF වෙතින් ලැබුණු ඩොලර් මිලියන 206 ක කඩිනම් මූල්‍ය ප්‍රතිපාදනයන්ට (Rapid Financing Instrument) අමතරව මෙම මූල්‍ය පහසුකම හිමිවන බවත්, ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් ද 2026 දී සහාය ලැබෙනු ඇති බවයි ෆිච් ආයතනය පුරෝකතනය කරනු ලබන්නේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading