හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ධුර කාලය තුළ මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඊයේ (19) මෙම පැමිණිල්ල නිල වශයෙන් භාර දී තිබේ.
පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අභයවික්‍රම පෙන්වා දුන්නේ රට බංකොලොත් වී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ වකවානුවක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය යටතේ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරිමින් මෙම ගල්අඟුරු ආනයනය සිදුකර ඇති බවයි.
එම වකවානුව තුළ මෙරටට ගල්අඟුරු ගෙන්වීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයේ අවම ලංසුව ඉදිරිපත් කරමින් ‘ආදිත්‍යා’ නමැති සමාගම සුදුසුකම් ලබා සිටියද, පසුව කැබිනට් මණ්ඩල තීරණයකට මුවා වී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පවා සම්පූර්ණ කර නොතිබූ ‘ෆොටෙන්සියා’ නමැති වෙනත් සමාගමකට මෙම ගල්අඟුරු ඇණවුම ලබා දීමට කටයුතු කර ඇති බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි සම්පූර්ණ නොකළ සමාගමකට මෙවැනි මහා පරිමාණ ටෙන්ඩරයක් පැවරීම පිටුපස බරපතළ දූෂණයක් සහ වංචාවක් සිදුව ඇති බවට සාධාරණ සැකයක් පවතින බව ද මන්ත්‍රීවරු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
ගල්අඟුරු ආනයනය හා විදුලිය නිෂ්පාදනයේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා පිළිබඳ ඕනෑම තොරතුරක් සහ පැමිණිල්ලක් ලබන 22 වැනිදා දක්වා භාර ගැනීමට කොමිසම කටයුතු සූදානම් කර ඇත.
