පලස්තීනයේ ගාසා තීරය කරා ආධාර රැගෙන යමින් සිටියදී ජාත්‍යන්තර මුහුදේදී අනීතිකව අත්අඩංගුවට ගෙන, මේ වන විට ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන සමීරා මහබූබ්දීන් මුදාගැනීමට මැදිහත් වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසීය.
කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදී ෆසීර් මොහොමඩ් විසින් කළ විමසීමකට ප්‍රතිචාර වශයෙන් ඔහු එසේ කීය.
මේ පිළිබද රජයට දැනගන්නට ලැබී තිබෙනවාද? මේ පිළිබද මැදිහත් වෙනවාද? යනුවෙන් මාධ්‍යවේදියා කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
‘දැනටමත් අපි මැදිහත් වෙමින් තියෙනවා. ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අපි. ඊයේ හවස වෙනකොට අපට මේ පිළිබද නිල නොවන වාර්තා ලැබුණා. ඒ ක්ෂණයෙන් කටයුතු කරන්න පටන් ගත්තා.‘
ග්ලෝබල් සුමුඩ් ෆ්ලෝටිලා මෙහෙයුම් යටතේ මානුෂීය ආධාර රැගෙන පලස්තීනය කරා යමින් සිටි කණ්ඩායමක වෛද්‍ය ප්‍රථමාධාර නිලධාරිනියක ලෙස ඇය ස්වෙච්ඡාවෙන් මෙම ගමනට එක්ව සිටියාය.
මේ අතර පාර්ලිමේන්තුවේදී මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසම් කාරියප්පර් විසින් සමීරාව අත්අඩංගුවට ගැනීම පිළිබද විමසීමක් කර තිබුණි. එයට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩු පක්ෂයේ සභානායක බිමල් රත්නායක කියා තිබුණේ සති දෙකකට පෙර සිටම තුර්කිවල සිටින ලංකාවේ තානාපතිවරයා සමග සාකච්ඡා කොට එම ක්‍රියාකාරිනිය අමතා, සම්බන්ධතාවක් සකස් කරගත් බවයි. පලස්තීන සහයෝගීතා කමිටුවත් ඒ පිළිබද කරුනු දන්නා බව සභානායකවරයා පැවසීය.
එසේ මැදිහත්වීම පිළිබද ස්තූතිවන්ත වන බව නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මේ අතර විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රාද පැවසුවේ සමිරා මහබූබ්දීන් පිළිබද තත්වය සමීපව විදේශ කටයුතු අමාත්‍යාංශය නිරීක්ෂණය කරමින් සිටි බවයි. විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනට ඇති තොරතුරු අනුව සමීරා ඇතුළු තවත් පිරිස් ඊශ්‍රායල් අත්අඩංගුවේ පසුවන බවද ඔහු කීය. මේ වන විටත් අදාල රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය හරහා ඇය වෙත ළගා වීමට උත්සාහ කරන බවත්, ඇයගේ ආරක්ෂිතභාවය තහවුරු කරගන්නා බවත්, ඇයව රදවා තබා ගැනිමට අදාල නීතිමය තත්වය පිළිබද සාකච්ඡා කරමින් සිටින බවත් කීය. මෙම නෞකාවලට මැදිහත්වීම පිළිබද සියලු කාරණාවලට අදාලව පූර්ව නිගමනවලට රජය එළඹීමට කටයුතු නොකරන බව පැවසීය. තත්වයට අදාල ශ්‍රී ලාංකික පුරවැසියාගේ ආරක්ෂාව, සුභසාධනය සහ නීතිමය අයිතීන්වලට කුමන තත්වයන් යටතේ වුව ගරු කළ යුතු බව රජයේ මතය බවද ඔහු එහිදී පැවසීය.
