මේ මීට වසර 95කට කලින් සිදු වූ සැබෑ මිනිසුන්ගේ කතාවකි. ඉතිහාසයේ ඇතැම් දින සටහන් වන්නේ කඳුළින් පමණක් නොව, වීරත්වයේ සැමරුම් පිළිබඳ අභිමානයෙනි. මේ 1930 ගණන් වල සිදු වූ, ඉන්දියාව කියූ සැණින් සිහියට නැගෙන වීරත්වයක් පිළිබඳ කතාවකි. මෙය සැබවින්ම හුදු කතාවකට එහා ගිය ඉන්දීය යටත් විජිත ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් පිළිබඳව සහ සැබෑ මිනිසුන් පිළිබඳ කතාවකි.
1931 මාර්තු 23 දින ලාහෝර් මධ්‍යම බන්ධනාගාරයේදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් භගත් සිං, සුක්දේව් තාපර් සහ ශිවරාම් රාජ්ගුරු යනුවෙන් හඳුන්වන තරුණයන් තිදෙනා එල්ලා මරා දමන ලදී. නමුත් ඔවුන් නිහඬ කරවූ ගෙල වටා වැටුණු මර උගුලට ඔවුන්ගේ අදහස් හුස්ම හිර කිරීමට නොහැකි විය. අදටත් “ෂහීඩ් දිවාස්” ලෙස සැමරෙන මෙම දිනය, නිදහසේ සැබෑ අරුත ලොවට කියා දෙයි.
මරණ දණ්ඩනය නියම කර තිබුණේ මාර්තු 24 වැනිදාට වුවද, රට පුරා ඇති විය හැකි මහජන කැරැල්ලකට බිය වූ බ්‍රිතාන්‍ය රජය, නියමිත වේලාවට පැය 11කට පෙර ඉතා රහසිගතව මෙම දඬුවම ක්‍රියාත්මක කළහ. ඔවුන් තිදෙනාම සිනාසෙමින් මර උගුල දෙසට ඇවිද ගිය බවත්, අවසන් මොහොතේ පවා “ඉන්කිලාබ් සින්දාබාද්” (විප්ලවය ජයවේවා) යනුවෙන් හඬ නැගූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.
සවස 7:00 ට පමණ භගත් සිංහ, සුක්දේව් සහ රාජ්ගුරු යන තිදෙනාව ඔවුන්ගේ කුටිවලින් පිටතට කැඳවාගෙන එන ලදී. ඔවුන් තිදෙනා අන්තිම වතාවට එකිනෙකා තදින් වැළඳගත් අතර, ඔවුන්ගේ මුහුණුවල මරණ බිය වෙනුවට තිබුණේ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදීමේ අභිමානයයි.
බොහෝ දෙනෙකු භගත් සිංග් ව දකින්නේ තුවක්කුවක් අතින් ගත් සටන්කාමියෙකු ලෙස පමණක් වුවත් ඔහු අසමසම බුද්ධිමය ශක්තියකින් හෙබි පුද්ගලයෙකි. ඔහු අවධාරණය කළේ, “බෝම්බ හෝ පිස්තෝල මගින් විප්ලවයක් ඇති කළ නොහැක. විප්ලවයේ කඩුව මුවහත් වන්නේ අදහස් නැමති කරගල මතය.” යනුවෙනි. ඔහු නියෝජනය කළ සහ පෙනී සිටි විප්ලවය වනාහි හුදෙක් බ්‍රිතාන්‍යයන් පලවා හැරීම පමණක් නොව, දරිද්‍රතාවයෙන් හා අසමානතාවයෙන් තොර සැමට යහපත් සමාජයක් ගොඩනැගීම අරමුණු කළ එකක් විය.
භගත් සිං යනු ක්‍රියාවෙන් පමණක් නොව ගැඹුරු චින්තනයෙන් ද පොහොසත් වූ විප්ලවවාදියෙකු වූ අතර, “ඉන්කිලාබ් සින්දාබාද්” යන සටන් පාඨය හරහා ඔහු හුදු නිදහසින් ඔබ්බට ගිය, මිනිසා විසින් මිනිසා සූරා නොකන සමාජයක් පිළිබඳ සිහිනයක් දිටීය. “ඔවුන්ට මා මරා දැමිය හැකිය, නමුත් මගේ අදහස් මරා දැමිය නොහැක” යන ඔහුගේ ප්‍රකාශය මගින් අදහස්වල බලය මනාව විදහා දැක්වූ අතර, භගත් සිං විප්ලවයේ ඉදිරිපෙළ නායකයා ලෙස කැපී පෙනුණද, හින්දුස්ථාන් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ (HSRA) ක්‍රියාකාරීත්වය උදෙසා සුක්දේව් සහ රාජ්ගුරු ඉටු කළ මෙහෙය ද අතිමහත්ය.
දක්ෂ උපායමාර්ගිකයෙකු වූ සුක්දේව් තාපර් උතුරු ඉන්දියාව පුරා විප්ලවවාදී සෛල සංවිධානය කිරීමේ මොළකරු ලෙස කටයුතු කරමින් 1929 උපවාස අරගලයේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ අතර, මහාරාෂ්ට්‍රයෙන් පැමිණි බිය නොහඳුනන දේශප්‍රේමියෙකු වූ ශිවරාම් රාජ්ගුරු සයිමන් කොමිසමට එරෙහි විරෝධතාවලදී සහ HSRA සංවිධානයේ තීරණාත්මක මෙහෙයුම්වලදී සිය අසමසම නිර්භීතකම හා ඉලක්කගත හැකියාව මනාව ප්‍රදර්ශනය කළේය.
බන්ධනාගාරය තුළ ඔවුන් සිදුකළ දින 116ක උපවාසය, ඉතිහාසයේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ විශාලතම අරගලයක් ලෙස සැලකෙන අතර එය දේශපාලන සිරකරුවන්ගේ ගෞරවය දිනා දීමට සමත් විය. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මොවුන් තිදෙනා සිදුකළ එම මාරාන්තික උපවාසය ඉතිහාසයේ දීර්ඝතම උපවාසයන්ගෙන් එකක් වන අතර, එහි අරමුණ වූයේ දේශපාලන සිරකරුවන්ට හිමිවිය යුතු මූලික අයිතිවාසිකම් දිනා ගැනීමයි.
එමෙන්ම, “මා ඇයි අදේවවාදියෙකු වූයේ?” (Why I am an Atheist) වැනි ලිපි හරහා භගත් සිංහයන් පවතින සමාජ ක්‍රමය හා අන්ධ විශ්වාසයන් ප්‍රශ්න කිරීමට තරුණ පරපුරට ඉගැන්වූයේ බුද්ධිමය විප්ලවයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි. 1930 වසරේ ලාහෝර් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටියදී ලියන ලද අතිශය ප්‍රබල සහ දාර්ශනික ලිපියක් වන මෙය ප්‍රථම වරට 1931 සැප්තැම්බර් 27 වන දින ලාහෝර් නුවරින් ප්‍රකාශයට පත් වූ The People පුවත්පතේ පළ විය.
මෙම ලිපිය හුදු ආගමික විවේචනයක් නොව, තරුණ පරපුරට ස්වාධීන චින්තනය සහ විද්‍යාත්මක ආකල්ප (Scientific Temper) ඇති කරගැනීමට කළ ආරාධනාවකි. මරණය පෙනි පෙනී තිබියදී පවා තම මතය වෙනුවෙන් නොසැලී සිටීමට ඔහුට තිබූ බුද්ධිමය ධෛර්යය මෙයින් මනාව පැහැදිලි වේ.
භගත් සිංහයන් සිය මරණ දණ්ඩනයට පෙර දේව භක්තියට යොමු නොවී අදේවවාදියෙකු ලෙස සිටීම ඔහුගේ අහංකාරකම නිසා සිදු වූවක් බවට එකල ඇතැම් පිරිස් චෝදනා කළහ. මෙම ලිපිය ලියනු ලැබුවේ එම චෝදනාවලට පිළිතුරු දීමට සහ තම දෘෂ්ටිවාදය තර්කානුකූලව පැහැදිලි කිරීමටය.
භගත් සිංහයන්ගේ “මා ඇයි අදේවවාදියෙකු වූයේ?” යන ලිපියේ අන්තර්ගත ප්‍රධාන තර්ක දෙස බැලීමේදී, ඔහු ඕනෑම කරුණක් පිළිගැනීමට පෙර එය විවේචනාත්මකව සහ තර්කානුකූලව විමසා බැලිය යුතු බව අවධාරණය කළ අතර, අන්ධ විශ්වාසය මගින් මිනිස් බුද්ධිය අඩපණ කරන බව දැඩිව විශ්වාස කළේය. ලොව පුරා පවතින අසාධාරණය, දරිද්‍රතාවය සහ පීඩනය දෙස බලන විට, සර්වබලධාරී දෙවියෙකු සිටින්නේ නම් එවැනි දුක් වේදනාවන්ට ඉඩ දෙන්නේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කළ අතර, ආගම යනු පීඩිත ජනතාව සන්සුන් කිරීමට භාවිතා කරන මත්ද්‍රව්‍යයක් බඳු බවත්, සැබෑ නිදහස ලැබිය හැක්කේ මිනිසා තමන්ගේ ඉරණම තමන්ම තීරණය කරන බව වටහා ගත් විට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
භගත් සිංහයන්ගේ අසමසම ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ සිනමාපට කිහිපයක් ජාත්‍යන්තර අවධානයට පවා ලක්ව ඇති අතර, ඒ අතරින් අජේ දේව්ගන් ප්‍රධාන චරිතය නිරූපණය කරන “The Legend of Bhagat Singh” (2002) චිත්‍රපටය ඔහුගේ විප්ලවීය ගමන් මග සහ සංකීර්ණ අධිකරණ ක්‍රියාවලිය ඉතා තාත්වික අයුරින් නිරූපණය කිරීමට සමත්ව තිබේ. එසේම, “Rang De Basanti” (2006) නමැති අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණය හරහා නූතන තරුණයින් පිරිසක් භගත් සිංහ ඇතුළු විප්ලවවාදීන්ගේ චරිත නිරූපණය කරමින් සිටින විට, ඔවුන්ගේ ජීවිත තුළ ද එම දේශප්‍රේමීත්වයම සහ සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටීමේ ශක්තිය අවදි වන ආකාරය ඉතා ප්‍රබල ලෙස පෙන්වා දී ඇත.
මාර්තු 23, ලාහෝර් සිරගෙදර ගෙවී ගිය ඒ අවසන් හෝරා කිහිපය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ කඳුළින් නොව, අභිමානයෙනි. මරණ මංචකය අභියස පවා භගත් සිං, සුක්දේව් සහ රාජ්ගුරු යන තරුණයන් තිදෙනාගේ මුහුණුවල මරණ බිය වෙනුවට තිබුණේ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදීමේ අපූර්ව සතුටකි. “තවත් මොහොතක් ඉවසන්න, එක් විප්ලවවාදියෙකු තවත් විප්ලවවාදියෙකු හමු වෙමින් සිටිනවා” යැයි සිනාසෙමින් ලෙනින්ගේ චරිතාපදානය කියවූ භගත් සිං වීරයෙක් ලෙස ඉන්දියානු ජනතාව අදහයි. ඔවුන් එකිනෙකා වැළඳගෙන, දේශප්‍රේමී ගීත ගයමින් සහ “ඉන්කිලාබ් සින්දාබාද්” (විප්ලවය ජයවේවා) යනුවෙන් හඬ නගමින් මර උගුල දෙසට ගමන් කළහ. තමන්ගේ හිස වැසීමට කළු රෙදි බෑග් පැළඳීම පවා ප්‍රතික්ෂේප කරමින්, විවෘත දෑසින් මරණය වැළඳගත් ඔවුන්ගේ ඒ අසමසම වීරත්වය, ඉතිහාසයේ සදාකාලිකව ජීවත් වේ.
මෙම විරුවන් අපට උගන්වන්නේ නිදහස යනු තෑග්ගක් නොව, එය අරගලයකින් දිනාගත යුත්තක් බවයි. විශේෂයෙන්ම කම්කරු අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් හඬ නගන ඕනෑම අයෙකුට, ඔවුන්ගේ දෘෂ්ටිවාදය අදටත් මගපෙන්වීමකි. ඔවුන් එදා මිය ගියේ නිදහස් රටක අනාගතය වෙනුවෙනි.

