ජේආර් ඡන්දයට මොසාඩ් සල්ලි ඉල්ලූ හැටි! ලංකාවේ යුද්ධය අවුළුවන්න මොසාඩ් දායක වූ හැටි! – ලෝකයම කැළඹූ සම්පූර්ණ ලිපිය මෙන්න

මෙම ලිපිය The Wiere වෙබ් අඩවියට Eitay Mack විසින් ලියන ලද ලිපියකි.

1970 දී, අරාබි රටවල බලපෑම මත ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමඟ පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවා තිබුණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දරුණු සිවිල් යුද්ධය ආරම්භ වී වසරකට පමණ පසු, 1984 දී කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය තුළ ඊශ්‍රායල අංශයක් (Israeli Interests Section) විවෘත කරන ලදී.

1980 දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාව සමඟ පැවති සබඳතා පිළිබඳ ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ගොනු — මෑතකදී ඊශ්‍රායල රාජ්‍ය ලේඛනාගාරයේ අර්ධ වශයෙන් ප්‍රසිද්ධියට පත් කරන ලද — ඒවා මගින් වසර ගණනාවක් පුරා මාධ්‍ය හරහා මතු වූ තොරතුරු සනාථ කරන අතර නව තොරතුරු ද හෙළි කරයි.

1987 දෙසැම්බර් 11 වන දින ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සමාලෝචනයකට අනුව, ශ්‍රී ලංකාව මුලින් 1984 දී මෙම අංශය පිහිටුවීමට එකඟ වූයේ “දෙමළ ත්‍රස්තවාදී ගැටලුව විසඳීමට සහාය වීම” සඳහා ඊශ්‍රායලයට අවශ්‍ය වූ බැවිනි. 1988 වන විට ඊශ්‍රායලය ඩොලර් මිලියන 30ක් වටිනා හමුදා උපකරණ මෙරටට අලෙවි කර තිබුණි.

1985 දෙසැම්බර් 8 වැනි දින එවන ලද පණිවිඩයක, විදේශ අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලියා ඇත්තේ ඊශ්‍රායලය ඩොලර් මිලියන 10කට ඩෝරා (Dvora) පන්තියේ වේගවත් මුර සංචාරක යාත්‍රා හයක් ශ්‍රී ලංකාවට විකුණා ඇති බවයි. 1986 ජූනි 20 වැනි දින කොළඹ ඊශ්‍රායල අංශයේ ප්‍රධානී හයිම් දිවොන් (Haim Divon) සඳහන් කළේ ඊශ්‍රායලය “විශාල මුදලකට” මිනි-උසි (Mini-Uzi) උප යන්ත්‍ර තුවක්කු ද අලෙවි කර ඇති බවයි. 1987 ජූනි 15 වැනි දින දිවොන් වාර්තා කළේ ඊශ්‍රායලය විසින් විද්‍යුත් වැටවල්, සන්නිවේදන උපකරණ, යන්ත්‍ර තුවක්කු සහ පතොරම් ද ශ්‍රී ලංකාවට විකුණා ඇති බවයි.

ඊශ්‍රායලය ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධනගේ පෞද්ගලික ආරක්ෂකයින් පුහුණු කළේය. 1986 අගෝස්තු 18 වැනි දින එවන ලද පණිවිඩයක දිවොන් ලියා තිබුණේ “ගිය සතියේ අපි ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකයේ සාමාජිකයින් 30 දෙනෙකු පමණ සඳහා වෙඩි තැබීමේ පාඨමාලාවක් පැවැත්වුවා.” යනුවෙනි.

එම පුහුණුව දින හතරක් පැවති අතර එය අගයා ස්තූති කිරීම් ලද බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊශ්‍රායලය ශ්‍රී ලංකා හමුදාවට පුහුණුව ලබා දුන් ආකාරය

ඊශ්‍රායලය ශ්‍රී ලංකා හමුදා බලකායන්ට ද පුහුණුව ලබා දුන්නේය. 1987 ජනවාරි 23 දිනැති පණිවිඩයක දිවොන් වාර්තා කළේ ඊශ්‍රායලයෙන් පැමිණ සිටින යුධ උපදේශකයින් “කෘෂිකාර්මික උපදේශකයින්” ලෙස හඳුන්වමින් රටේ ජනතාව රවටා ඇති බවයි. එදිනම එවන ලද තවත් පණිවිඩයක ඔහු ලියා ඇත්තේ “දෙමළ ජනයා යාපනය ප්‍රදේශය කිසිදු ගැටලුවකින් තොරව පාලනය කරන” බවත්, ඊශ්‍රායල පුහුණු කණ්ඩායමේ අණදෙන නිලධාරියාට අනුව, මෙම පුහුණුව ලබාගෙන “යාපනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකොට අල්ලා ගැනීමට” දේශීය හමුදා සිතා සිටි බවත්ය. අභ්‍යාස අතරතුර පුහුණුවට සහභාගී වූ අය වැඩිපුර ප්‍රශ්න අසා තිබුණේ එවැනි ප්‍රහාරයකදී ඇති විය හැකි ගැටලු කෙරෙහි ය.

1987 පෙබරවාරි 15 වැනි දින එවකට අගමැති යිට්ෂාක් ෂාමීර්ගේ (Yitzhak Shamir) දේශපාලන උපදේශක ආර්යේ මෙකෙල් යෝජනා කළේ, “දෙමළ භූගත ක්‍රියාකාරකම්වලට එරෙහි ආරක්ෂක සූදානම සඳහා ශ්‍රී ලංකාව කළ හදිසි ආධාර ඉල්ලීමට” ඊශ්‍රායලය හොද ප්‍රතිචාර දක්වා ඇති බව ෂාමීර් විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝර්ජ් ෂුල්ට්ස්ට දැනුම් දිය යුතු බවයි. මෙම ආධාරයට “නිලධාරීන් පුහුණු කිරීම මෙන්ම ඩොලර් මිලියන 3ක් වටිනා ආයුධ සහ පතොරම් කඩිනමින් නැව්ගත කිරීම” ඇතුළත් වූ බව ඔහු පැවසීය.

1987 මාර්තු 18 වන දින දිවොන් වාර්තා කළේ තමා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා හමුවූ බවයි. “ඊශ්‍රායල උපදේශකයින් පස් දෙනෙකු පමණක් උතුරේ සටන්වල දිශානතිය වෙනස් කිරිමට තරම් බලපෑම් සහගත වූ බව” දිවොන් ඔහුට පවසා තිබුණි. එහෙත් ඒ කතාව අතිශයෝක්තියෙන් කීවක් බව ඒ පණිවිඩයේදීම පිළිගෙන තිබුණි. අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් කියා තිබෙන්නේ “ඕනෑම කෙනෙකුගෙන් — යක්ෂයාගෙන් වුවද” උදව් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. දිවොන් ඊට ප්‍රතිචාර ලෙස කියා ඇත්තේ “අපි යක්ෂයා නොවේ යැයි බලාපොරොත්තු වෙනවා.” කියාය. එසේ පැවසූ විට අමාත්‍යවරයා සිනහසී තිබේ.

ඊශ්‍රායල යුධ උපදේශකයින්ගේ පැමිණීම ශ්‍රී ලංකා මාධ්‍ය වෙත කාන්දු වීමෙන් පසු, 1987 දෙසැම්බර් 7 වන දින එවකට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ඉලාන් පෙලෙග් (Ilan Peleg) විහිළුවට මෙන් පණිවිඩයක ලියා තිබුණේ, “මෙම පුහුණුව ඇත්ත වශයෙන්ම රජයට විරුද්ධ ජවිපෙ කැරලිකරුවන්ටත් අදාල වූවක් බව එම කැරලිකරුවන්ට අවබෝධ කර දෙන්නට ඉදරියේදී සිදුවනු ඇති” බවයි. මෙම අදහසින් ගම්‍ය වන්නේ මෙම පුහුණුව දෙමළ කැරැල්ලට එරෙහිව සටන් කිරීමට පමණක් අදහස් කළ එකක් නොවන බව ඊශ්‍රායල නිලධාරීන් දැන සිටි බවයි.

ඊශ්‍රායලය ප්‍රචණ්ඩකාරී ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ (Special Task Force – STF) පිරිස් පුහුණු කිරීමට ද සහාය විය.

1987 මාර්තු 18 වැනි දින දිවොන් වාර්තා කළේ කොළඹ සිටි ඇමරිකානු නියෝජ්‍ය තානාපතිවරයා ඊශ්‍රායලය දේශීය හමුදාව සමඟ සබඳතා පැවැත්වීම අනුමත කළ නමුත්, විශේෂ කාර්ය බලකායට (STF) ආධාර කිරීම “කෙටි කාලීනව සැක සහිත ආයෝජනයක් සහ දිගු කාලීනව බරපතල වැරැද්දක්” බවට අනතුරු ඇඟවූ බවයි. ඒ එම බලකාය විසින් සිදු කරන ලද “භීෂණකාරී සමූලඝාතන” සැලකිල්ලට ගනිමින් බව ද ඔහු සඳහන් කළේය.

ඇමරිකානු අනතුරු ඇඟවීම නොතකා, 1987 අගෝස්තු 19 වැනි දින ඉලාන් පෙලෙග් විසින් එවන ලද පණිවිඩයක සඳහන් වූයේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට දැරූ උත්සාහයකින් පසුව, රජය “STF වෙතින් තෝරාගත් සම්පූර්ණයෙන්ම නව VIP ආරක්ෂක ඒකකයක් වහාම පිහිටුවීමට” තීරණය කළ බවත්, එම ඒකකය පුහුණු කිරීම සඳහා “තිදෙනෙකුගෙන් යුත් ඊශ්‍රායල කණ්ඩායමක් සති හතරකට එවීමට” ඊශ්‍රායලය එකඟ වූ බවත්ය. තවත් කේබල් පණිවිඩවල දිවොන් පැහැදිලි කළේ STF යනු “ප්‍රභූ ඒකකයක්” බවත් එහි “තීරණාත්මක බලපෑමක් ඇති පුද්ගලයා ජනාධිපතිවරයාගේ පුත්‍රයා” බවත්ය. ඔහු STF අණදෙන නිලධාරියා හමු වූ බව ද වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ ඊශ්‍රායලයේ සැබෑ ක්‍රියාකාරකම් පිළිබඳව දිවොන් සම්පූර්ණයෙන්ම දැන සිටියද, එම අංශය දෙස බාහිර සමාජය බලන ආකාරය පිළිබඳව ඔහු සැලකිලිමත් විය. 1987 සැප්තැම්බර් 10 වැනි දින ඔහු ලියා ඇත්තේ ඊශ්‍රායලයේ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාව සමඟ සබඳතා සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීම බවත්, දේශීය ජනතාව අතර නිසි වාතාවරණයක් ඇති කිරීම සඳහා මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය අවශ්‍ය බවත්ය. කෙසේ වෙතත්, ඔහු කීර්තිනාම පිළිබඳ ගැටලුවක් පෙන්වා දුන්නේය: මෙම අංශය බොහෝ දෙනා දුටුවේ “දෙමළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී රජයට සහාය වීම සඳහා පිහිටුවන ලද දූත මණ්ඩලයක්” ලෙසය. “අවාසනාවකට මෙන්, මෙම අංශය පිහිටුවීම සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද නිල පැහැදිලි කිරීම්වලින් එකක් ද මෙය විය,” ඔහු වැඩිදුරටත් පැවසීය.

1987 නොවැම්බර් 11 වැනි දින දිවොන් වාර්තා කළේ මෝසාඩ් (Mossad) නියෝජිතයෙකු සමඟ එක්ව ජනාධිපති ජයවර්ධන හමු වූ බවත්, එහිදී ජනාධිපතිවරයා ඊශ්‍රායල හමුදා උපදේශකයින් පෞද්ගලිකව හමුවීමට ඉල්ලා සිටි බවත්ය. ජනාධිපතිවරයා “පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලිවම ඇත්ත තත්වයට වඩා ශුභවාදී ස්වරූපයක් ගන්නා බවත්, යථාර්ථයෙන් බැහැරව සිටින බවත් — සමහර විට ඔහු ඇසීමට කැමති දේ පමණක් පවසන උපදේශකයින්ගේ වාර්තා මෙයට හේතුව විය හැකි බවත්” දිවොන් ලිවීය.

ඊළඟ දිනයේ එවන ලද පණිවිඩයක දිවොන් ලියා ඇත්තේ මෝසාඩ් නිලධාරීන් දෙදෙනෙකු ස්ථිර පදනමින් ශ්‍රී ලංකාවේ සේවය කළ බවයි. තවත් පණිවිඩයක ඔහු සඳහන් කළේ ඔවුන්ගේ පැමිණීම ප්‍රසිද්ධ රහසක් බවත්, “තම අනෙකුත් දක්ෂතාවලට අමතරව පලතුරු සහ එළවළු වගා කිරීමට ද දන්නා මෝසාඩ් මිනිසුන් ගැන අපට ඉඳහිට ප්‍රශංසාත්මක අදහස් ලැබෙන” බවත්ය — මෙය ඊශ්‍රායල ආරක්ෂක අංශ සාමාජිකයින් කෘෂිකාර්මික විශේෂඥයින් ලෙස පෙනී සිටීම පිළිබඳ කරන ලද විහිළුවකි.

කොළඹ පිහිටි ඊශ්‍රායල අංශය වසා දමන ලෙස අරාබි රටවලින් සහ ශ්‍රී ලංකාවේ විපක්ෂයෙන් එල්ල වූ බලපෑම් මධ්‍යයේ, 1987 අගෝස්තු 6 සහ 14 දිනැති පණිවිඩ වාර්තා කළේ, තම මැතිවරණ ව්‍යාපාරයට මුදල් සපයා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෝසාඩ් නියෝජිතයෙකුගෙන් ඩොලර් මිලියනයක ආධාරයක් ඉල්ලා ඇති බවයි. “මැතිවරණය පිළිබඳ පණිවිඩය පැහැදිලිය — ඔහු ජයග්‍රහණය කිරීම අපගේ අවශ්‍යතාවයකි, එබැවින් අප ඔහුට සහාය විය යුතුය. විපක්ෂය බලයට පැමිණියහොත් අපට පිටවීමට සිදුවන බව ඔහු දන්නා බව ඔහු උපකල්පනය කරයි,” දිවොන් ලිවීය. 1970 දී ඊශ්‍රායලය සමඟ සබඳතා අත්හිටුවූ විපක්ෂය, තමන් මැතිවරණය ජයගෙන නැවත බලයට පැමිණියහොත් පැය 24ක් ඇතුළත ඊශ්‍රායල ජාතිකයන් රටින් පිට කරන බවට පොරොන්දු වී තිබුණි.

ප්‍රසිද්ධියට පත් කර ඇති ලේඛනවල ඊශ්‍රායලය ඇත්ත වශයෙන්ම ජයවර්ධනට මැතිවරණ ප්‍රචාරක අරමුදල් ලබා දුන් බවට සාක්ෂි නොමැත. කෙසේ වෙතත්, විස්තර කර ඇති පරිදි, ඊශ්‍රායලය ඔහුගේ ආරක්ෂක ඉල්ලීම් ඉටු කළේය. ඊශ්‍රායල හමුදා ආධාරවල වැදගත්කම 1987 මැයි 21 වැනි දින දිවොන් විසින් එවන ලද පණිවිඩයකින් මනාව පැහැදිලි වේ. එහි ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති හමුවක් ගැන සඳහන් කරමින් ඔහු පවසන්නේ, “තමන්ට සදාචාරාත්මකව හෝ ප්‍රායෝගිකව සහය නොදෙන සහ ආධාර ඉල්ලීම් — ප්‍රධාන වශයෙන් හමුදාමය ඉල්ලීම් — ප්‍රතික්ෂේප කරන බටහිර රටවල් පිළිබඳව ඔහු කලකිරීම පළ කළ අතර, ඔවුන්ගේ සහයට පැමිණියේ අප, එනම් ඊශ්‍රායල ජාතිකයන් පමණක් බව ඔහු අවධාරණය කළ” බවයි. 1988 ජනවාරි 4 වැනි දින පණිවිඩයක, “ආරක්ෂක සහ බුද්ධි අංශ ක්ෂේත්‍රවල ලබා දුන් සහාය වෙනුවෙන්” ඊශ්‍රායලයට ස්තූති කරමින් ජනාධිපතිවරයා එවූ ලිපියක් ද දිවොන් අමුණා තිබුණි.

1988 මාර්තු 25 වැනි දින දිවොන් වාර්තා කළේ තමා ජනාධිපතිවරයා හමුවී “අප මෙතෙක් ලබා දී ඇති සහාය අනිවාර්යයෙන්ම සුවිශේෂී” බව ඔහුට පැවසූ බවයි. අගමැති ෂාමීර් පවා ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකය පුහුණු කිරීම සඳහා තම පෞද්ගලික ආරක්ෂකයින් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාගේ ශුභවාදී මනෝභාවය තේරුම් ගත නොහැකි බව දිවොන් නැවතත් ලිවූ අතර එය “යථාර්ථයෙන් බැහැරව සිටීමේ ප්‍රතිඵලයක්ද නැතහොත් ඔහු තම ජනතාව වඩා හොඳින් තේරුම් ගන්නා නිසාද” යන්න ප්‍රශ්න කළේය.

මානව හිමිකම් තත්ත්වයේ බරපතලකම පිළිබඳ නැවත නැවතත් වාර්තා ලැබුණද හමුදා ආධාර ලබා දීම

සිවිල් යුද්ධය පවතින සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයේ බරපතලකම පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටි ඊශ්‍රායල නියෝජිතයන් නැවත නැවතත් වාර්තා කර තිබියදීත් මෙම සැලකිය යුතු හමුදා ආධාර ලබා දී ඇත.

“දෙමළ භූගත කණ්ඩායම්වලට සම්බන්ධ බවට සැක කරන දකුණේ තරුණයින් බොහෝ දෙනෙකු අතුරුදහන් වීම” සඳහා STF වගකිව යුතු බවට එල්ල වූ චෝදනා ද මෙම වාර්තාවලට ඇතුළත් විය. තවද, හමුදාව සහ ගුවන් හමුදාව දෙමළ සිවිල් වැසියන්ට, රෝහල්වලට සහ වෙළඳපොළවලට නොවිමසා බෝම්බ හෙලීම; 1971 දී “කැරලිකරුවන් 10,000 ත් 20,000 ත් අතර සංඛ්‍යාවක් හමුදාව සමඟ ඇති වූ ගැටුම්වලදී මිය ගිය” ආකාරයේ මහා පරිමාණ මර්දනයක් පිළිබඳ බිය; රජයේ අමාත්‍යවරුන් පෞද්ගලික මිලීෂියා කණ්ඩායම් පිහිටුවීම සහ ආයුධ, සන්නිවේදන සහ නිරීක්ෂණ උපකරණ මිලදී ගැනීම; දෙමළ ජනයාට වධහිංසා පැමිණවීම පිළිබඳ වාර්තා; විශ්වවිද්‍යාල වසා දැමීම; සහ සිවිල් සේවයේ තනතුරුවලින් දෙමළ සේවකයින් ඉවත් කිරීම වැනි කරුණු ද එහි විය.

දෙමළ ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ඊශ්‍රායල නියෝජිතයන් සමඟ පැවති හමුවකදී ඉල්ලා සිටියේ දෙමළ ජනයා විනාශ කිරීමට බලධාරීන්ට උදව් කිරීමෙන් ඊශ්‍රායලය වැළකී සිටිය යුතු බවයි. 1988 ජනවාරි 12 වැනි දින දිවොන් ලිවීය: “සෑම දිනකම අපට ඝාතන, මිනීමැරුම් සහ සමූලඝාතන ගැන අසන්නට ලැබේ,” විශේෂයෙන්ම ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කරන ලද ඒවාය.

ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන “ශ්‍රී ලංකාවේ දෙමළ සුළුතරය සමූලඝාතනය කිරීම නැවැත්වීමේ කමිටුව” චිකාගෝ හි පිහිටි ඊශ්‍රායල කොන්සල් කාර්යාලයට ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායලය “රජයේ හමුදාව සහ පොලිසිය පුහුණු කිරීම සඳහා ආයුධ සහ උපදේශකයින් එවා ඇති” බවයි. ඊට ප්‍රතිචාර වශයෙන් කොන්සල් කාර්යාලය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ “නැවත වතාවක් ඇතැම් පාර්ශ්වයන් අපට එරෙහිව චෝදනා ගොතමින් සිටින” බවයි. කෙසේ වෙතත්, ඉහත විස්තර කර ඇති පරිදි, රාජ්‍ය ලේඛනාගාරයේ ඇති විදේශ අමාත්‍යාංශ ලේඛන මගින් එම කමිටුවේ ප්‍රකාශ සනාථ වේ.

ඊශ්‍රායලය මානව හිමිකම් තත්ත්වයේ බරපතලකම නොසලකා හැරියා පමණක් නොව, තමන්ගේ මිලිටරිමය ආධාර සාර්ථක වීමේ අවස්ථාව සීමිත බව ද ආරම්භයේ සිටම දැන සිටියේය. 1984 නොවැම්බර් මස විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අවි ප්‍රිමෝර් (Avi Primor) සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම්වරයා අතර පැවති හමුවකදී, ඇමරිකානු නිලධාරියා ප්‍රිමෝර්ට පැවසුවේ ශ්‍රී ලංකා බලධාරීන් තම හමුදාව සහ අර්ධ හමුදා බලකායන් ව්‍යාප්ත කරමින් සිටින නමුත් “හමුදාමය විසඳුමක් ලබා ගත හැකි යැයි සිතමින් තමන්වම රවටා ගනිමින් සිටින” බව වොෂින්ටනය විශ්වාස කරන බවයි. සඳහන් කළ පරිදි, කොළඹ ඊශ්‍රායල අංශයේ ප්‍රධානියා ද ජනාධිපති ජයවර්ධන යථාර්ථයෙන් බැහැරව සිටින බව නැවත නැවතත් ලියා තිබුණි.

හමුදා ආධාර යනු ශ්‍රී ලංකා රජය නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට මූලික හේතුව වූ බැවින් — සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ දැනුවත්භාවය සහ රජයට මෙම ගැටුම හමුදාමය වශයෙන් විසඳිය නොහැකි බවට වූ පැහැදිලි තක්සේරුව මධ්‍යයේ වුවද — ඊශ්‍රායලය නිගමනය කළේ සිය ආධාර අඛණ්ඩව ලබා දීම වඩාත් යෝග්‍ය බවයි.

ඊටේ මැක් යනු ඊශ්‍රායල මානව හිමිකම් නීතිඥයෙකු සහ ක්‍රියාකාරිකයෙකි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading