ශ්‍රී ලංකාව මේ දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ යන උණුසුම් කාලගුණයකට මුහුණ දෙමින් සිටින අතර, පවතින දැඩි රශ්මිය සහ ඉහළ යන නාගරික වායු දූෂණය හේතුවෙන් අවදානමට ලක්විය හැකි පිරිස්, විශේෂයෙන්ම කුඩා දරුවන්ට අනතුරුදායක පරිසරයක් නිර්මාණය වී ඇති බව විශේෂඥයෝ අනතුරු අඟවති.
සිරුර අධික ලෙස රත් වීම නිසා ශරීර උෂ්ණත්වය තවදුරටත් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන, ජීවිතයට තර්ජනයක් විය හැකි Heat stroke තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන මහතා ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා තිබේ. විශේෂයෙන් කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් රෝගාබාධ ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් දැඩි අවදානමක පසුවන බව ඔහු පෙන්වා දෙයි.
“තාප කෑම (Heat stroke) යනු හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන තත්ත්වයකි. වහාම ප්‍රතිකාර නොකළහොත් එයින් ශරීරයේ ඉන්ද්‍රියයන්ට බරපතල හානි සිදු වීමට හෝ මරණය පවා සිදු වීමට ඉඩ ඇත. ව්‍යාකූල බව, මායාවන් පෙනීම, වලිප්පුව හෝ සිහි නැති වීම වැනි ලක්ෂණ කෙරෙහි පවුලේ සාමාජිකයන් අවධානයෙන් සිටිය යුතුයි,” ඔහු පැවසීය.
උණුසුම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් බොහෝ විට මස්පිඬු පෙරළීම, කරකැවිල්ල, ඔක්කාරය හෝ අධික වෙහෙස වැනි සුළු ලක්ෂණ වලින් ආරම්භ වන නමුත්, ඒවා නොසලකා හැරියහොත් තත්ත්වය වේගයෙන් දරුණු විය හැකිය.
තාප කෑම (Heat stroke) රෝග ලක්ෂණ:
- හෘද ස්පන්දනය වේගවත් වීම.
- සම රතු වී දැවෙන ස්වභාවයක් ගැනීම.
- වමනය සහ මාංශ පේශි දුර්වල වීම.
- දැඩි හිසරදය.
මෙවැනි අවස්ථාවක රෝගියා වහාම සිසිල් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ඉතා වැදගත් වේ. රෝගියා වහාම සෙවන ඇති ස්ථානයකට ගෙන ගොස්, තෙත රෙදි කඩකින් සිරුර පිසදමා සිසිල් කර, හැකි ඉක්මනින් රෝහල් ගත කරන ලෙස වෛද්‍යවරු නිර්දේශ කරති. රෝහල් වලදී ජලය, පංකා හෝ අයිස් බාත් (ice baths) භාවිතයෙන් රෝගියාගේ ශරීර උෂ්ණත්වය වේගයෙන් අඩු කිරීමට පියවර ගන්නා අතරම, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි වී ඇත්දැයි පරීක්ෂා කරනු ලැබේ.
අධික රශ්මිය පවතින වේලාවන්හිදී (Peak hours) එළිමහන් කටයුතුවල නිරත වීම සීමා කරන්න.
ඕනෑතරම් දියර වර්ග පානය කරන්න.
ලිහිල් සහ සැහැල්ලු ඇඳුම් අඳින්න.
වරින් වර සෙවන ඇති හෝ සිසිල් ස්ථානවල විවේක ගන්න.
නවතා ඇති වාහන තුළ කිසිවිටෙකත් දරුවන් තනි කර නොයන්න.
“වැඩිහිටියන්ට වඩා වේගයෙන් දරුවන්ගේ ශරීර රත් වන බැවින් ඔවුන් වැඩි අවදානමක පසුවේ. දරුවන්ට හොඳින් ජලය ලබා දීමටත්, සැහැල්ලු ඇඳුම් අන්දවීමටත්, දවසේ දැඩි රශ්මිය පවතින වේලාවන්හිදී ඔවුන්ව එළිමහනේ සෙල්ලම් කිරීමට යැවීමෙන් වළකින ලෙසත් දෙමාපියන් වගබලා ගත යුතුයි,” වෛද්‍ය විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
