ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ගෙන් 20%කට වඩා වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ ඔහු මේ බව සඳහන් කළේය.
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 5ට අඩු සහ වැඩි දරුවන් ආශ්‍රිතව සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව මෙරට දරුවන්ගෙන් පහෙන් එකක් (20%ක්) පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බවයි. එම දත්තයන්ට අනුව දරුවන්ගේ මිටි බව 10.1%ක් සහ වයසට සාපේක්ෂව බර අඩුකම 16.1%ක් වන අතර, බර වැඩිකම පවතින්නේ 0.5%ක් වැනි ඉතා සුළු මට්ටමකය.
මෙහි ඇති බරපතළම තත්ත්වය වන්නේ කුඩා කාලයේදී නිසි පෝෂණයක් නොලබන මෙම දරුවන්, තාරුණ්‍යයට සහ මැදිවියට එළඹෙන විට අධික ලෙස ස්ථූලතාවයට පත්වීමේ දැඩි සෞඛ්‍ය අවදානමකට මුහුණ දීම බව ලේකම්වරයා පෙන්වා දෙයි.
මෙලෙස කුඩා කාලයේදී මන්දපෝෂණයට ලක්වන දරුවන් තරුණ සහ මැදිවියට පත්වීමේදී එම තත්ත්වය ස්ථූලභාවය කරා පරිවර්තනය වීමේ දැඩි අවදානමක් පවතින බව හෙළි කරන ඒ මහතා, දැනටමත් මෙරට වැඩිහිටි කාන්තාවන්ගෙන් 47%ක් සහ පිරිමින්ගෙන් 30%ක් ස්ථූලභාවයෙන් පෙළෙන බවත්, ඉන් කාන්තාවන්ගෙන් 15%ක් හා පිරිමින්ගෙන් 6%ක්ම අධික ලෙස ස්ථූලභාවයට පත්ව ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කරයි.
