මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාලය අර්බුදයකට ලක්ව තිබීමත් සමඟ, මෙරට ඉන්ධන බෙදාහැරීම පාලනය කිරීම සඳහා ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ (QR Code) මාර්තු 15 පෙරවරු 6.00 සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
මෙය ආණ්ඩුව කෙරෙහි දැඩි උපහාසයකින් යුතුව විවේචන එල්ල කිරීමට විපක්ෂයට අවස්ථාවක් වී තිබෙන අතර, ආණ්ඩුවේ සමහර නායකයන් පසුගිය කාලයේ කියා ඇති කරුණු මෙන්ම ඒවා කියා ඇති ආකාරය නිසා ආණ්ඩුවට මෙය ලැජ්ජාවට කාරණයක් වීම වැළැක්විය නොහැකිය. විශේෂයෙන්ම ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශකයන් මෑතකදීත් ඉන්ධන බලපත්‍ර යළි අවශ්‍ය නොවන බව කියා තිබුණි. දැන් ඔවුන්ගේම කතා ඔවුන්ගේම රෙද්ද පල්ලෙන් බේරෙන තත්වයක් උදා වී තිබේ.
ජාතික ජන බලවේගයේ නායකයන්ට දැන් නිතර එරෙහි වන්නේ විපක්ෂයටත් වඩා ඔවුන්ම මීට පෙර කියා ඇති කතාය. ඔවුන් නෙළන්නට සිදුව ඇත්තේ ඔවුන්ව වැපිරූ අදහස්ය.
කෙසේ වෙතත් මෙතැනදී අපගේ උත්සාහය ආණ්ඩුව හෝ විපක්ෂය ගැන කතා කිරීම නොවේ. පසුගිය කාලය පුරා “වෙළඳපොළ විසඳුම්” සහ “පෞද්ගලීකරණය” හරහා ඉන්ධන අර්බුදය විසඳිය හැකි බවට ලිබරල්වාදීන් කළ ප්‍රකාශ බිඳවැටෙමින්, යළිත් වරක් රාජ්‍ය මැදිහත්වීම සහිත “සලාක ක්‍රමයක්” වෙත යාමට සිදුවීම සුවිශේෂී දේශපාලන-ආර්ථික පියවරකි. මාලිමාව හිටියත්, රනිල් හිටියත් මෙරට ආර්ථිකය පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බලවේග විසිනි. ‘විසදුම්‘ ගේන්නේත් ඔවුන්ය. ඔවුන්ට දැන් ‘සලාක‘ වෙත මාරු වීමට සිදුව තිබේ.
අද සිට ක්‍රියාත්මක වන නව ඉන්ධන කෝටාව
බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළ පරිදි, වාහන කාණ්ඩ 08 ක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවන් වෙන්කර ඇත. මෙවර විශේෂත්වය වන්නේ පෞද්ගලික පාරිභෝජනයට වඩා ප්‍රවාහන හා නිෂ්පාදන අංශ කෙරෙහි රජය අවධානය යොමුකර තිබීමයි.
| වාහන කාණ්ඩය | 2026 සතිපතා කෝටාව (ලීටර්) | 2022 අර්බුද සමයේ (මුල්ම) කෝටාව |
| මෝටර් සයිකල් | 05 | 04 |
| ත්‍රිරෝද රථ | 15 | 05 |
| මෝටර් රථ | 15 | 20 |
| වෑන් රථ | 40 | 20 |
| බස් රථ | 60 | 40 |
| මෝටර් ලොරි | 200 දක්වා | 40 – 50 |
| විශේෂ කාර්ය වාහන | 40 | – |
පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංකා ලංගම ඩිපෝ හරහා සිදු කෙරෙන අතර, අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය පවසයි. මෙවර මෝටර් රථවලට ලීටර් 15ක් ප්‍රමාණවත් නොවන බව දැන් විවේචකයන් කියයි. 2022 කෝටාවේ මෝටර් රථ සදහා මුලින් ලීටර් 20ක් සහ පසුව ලීටර් 40ක් ලබා දී තිබුණි. එහෙත් කාර්වලට ලීටර් 20ක් දෙන විට ත්‍රීවීල්වලට දුන්නේ ලීටර් 05 කි. එවැනි පසුබිමක පොදු ප්‍රවාහන සහ ජීවනෝපායක් ලෙස ප්‍රවාහනයේ යෙදෙන වාහනවලට මුල් තැනක් දී ඇත. රජයට ඒ ඒ අමාත්‍යාංශ හරහා විවිධ ප්‍රවාහන් සේවාවන්හි යෙදෙන මෝටර් රථ, මෝටර් සයිකල් ඇතුළු වාහනවලටත් මීට වැඩි කෝටාවක් ලබා දිය හැකි නම් එය යහපත්ය.
ඉන්ධන බලපත්‍රය ලබාගන්නා ආකාරය
මීට පෙර ලියාපදිංචි වී ඇති, හිමිකාරිත්වය වෙනස් නොවූ වාහන හිමියන්ට fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා සිය QR කේතය යළි බාගත කරගත හැකිය. නව ලියාපදිංචිය හෝ වෙනස්කම් සිදු කිරීම අද පෙරවරු 6.00 සිට එම වෙබ් අඩවියෙන්ම සිදු කළ හැකිය.
මැදපෙරදිග යුද්ධය සහ ගෝලීය සැපයුම් බිඳවැටීම
මෙම හදිසි තීරණයට මූලික වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණයයි. පසුගිය සතියේ ඇමෙරිකාව ඉරානයේ කාර්ග් දූපත ඉලක්ක කර තිබුණි.
ලෝක තෙල් සැපයුමෙන් 20% ක් පමණ ගලා යන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) අවහිර වීම දිගින් දිගටම සිදුවෙමින් පවතී. යුද්ධය දැන් ඍජුවම ආර්ථික මර්මස්ථානවලට යොමුවෙමින් තිබේ. හෝමූස් විවෘත කරවාගැනීම ඇමෙරිකාවේ ඉලක්කය වී තිබේ. මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල අස්ථාවර වී ඇති අතර, ටැංකි රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා සැපයුම සීමා වී ඇත.
මෙරට තුළ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි බියෙන් පාරිභෝගිකයන් අසාමාන්‍ය ලෙස ඉන්ධන ලබාගැනීම (Panic Buying) සහ ඇතැම් කණ්ඩායම් නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග රැස්කිරීම (Hoarding) හේතුවෙන් වෙළඳපොළ තුළ කෘතිම හිඟයක් නිර්මාණය වී ඇති බව රජය හඳුනාගෙන තිබේ.
නිවසේ සිට වැඩ කරන්න වේවිද?
නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ‘The Sunday Morning’ පුවත්පතට ප්‍රකාශ කළේ, ගෝලීය අර්බුදය හමුවේ පකිස්ථානය, බංග්ලාදේශය සහ තායිලන්තය වැනි රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග ද නිරීක්ෂණය කරන බවයි. අවශ්‍ය වුවහොත් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (WFH) ක්‍රමය ද යළි හඳුන්වා දීමට රජයේ අවධානය යොමු වී ඇත.
සලාක ක්‍රමය යනු ‘ලිබරල්වාදයේ පරාජයකි’
ඉන්ධන කෝටා ක්‍රමය යළි පැමිණීම ගැන බොහෝ දෙනෙක් උපහාසයෙන් බැලුවද, මෙහි ඇති ගැඹුරු දේශපාලන සත්‍යය නම් ‘නිදහස් වෙළඳපොළ’ පිළිබඳ මිථ්‍යාව අර්බුද හමුවේ බිඳ වැටෙන බවයි.
2022 න් පසු රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ප්‍රකාශ කළේ IOC, Sinopec සහ Shell වැනි පෞද්ගලික සමාගම් ගෙන ඒමෙන් ඉන්ධන ප්‍රශ්නය සදහටම විසඳෙන බවයි. ඔවුන් පැවසුවේ “රජයට බිස්නස් බැරි” බවත් තරගකාරීත්වය මිල අඩු කරන බවත්ය. නමුත් අද සමාගම් 04 ක් වෙළඳපොළේ සිටියදීත්, ගෝලීය අර්බුදයකදී ජනතාව සුරැකීමට වෙළඳපොළට නොහැකි වී තිබේ. සමාගම් ලාභය තකා සැපයුම සීමා කරන විට, අවසානයේ පෝලිම් පාලනය කිරීමටත් සලාක බෙදීමටත් මැදිහත් වී ඇත්තේ ‘රාජ්‍යය’ යි.;
විපක්ෂය ජයග්‍රාහී ලෙස ‘අපි කියපු දේ දැන් කරනවා‘ යැයි කියමින් සිටී. ඇත්තටම දැන් කරන්නේ ලෙනින්ලා කළ දේවල්ය.
සලාක ක්‍රමය (Rationing) යනු මූලික වශයෙන්ම සමාජවාදී උපක්‍රමයකි. මෙය වඩාත්ම ප්‍රකට වූයේ 1917 රුසියානු විප්ලවයෙන් පසුවය. ලෙනින් ප්‍රමුඛ සෝවියට් රජය ‘යුද කොමියුනිස්ට්වාදය’ (War Communism) යටතේ සලාක ක්‍රමයක් හඳුන්වා දුන්නේ සිවිල් යුද්ධය සහ සාගතය හමුවේ රට බේරා ගැනීමටයි. ධනවාදීන්ගේ “මිල යාන්ත්‍රණය” වෙනුවට “අවශ්‍යතාවය” මත පදනම් වූ බෙදාහැරීමක් එහිදී සිදු විය.
අද ලංකාව භාවිතා කරන QR ක්‍රමය ද මෙම ‘යුද කොමියුනිස්ට්වාදයේ’ ඩිජිටල් අනුවාදයකි. රනිල් වික්‍රමසිංහ හෝ කංචන විජේසේකර මෙන්ම අනුර කුමාර දිසානායක වැනි ලිබරල්වාදීන්ට, රටක් අර්බුදයකට පත් වූ විට සොයා යන්නට සිදු වී ඇත්තේ ලෙනින්ලා පාවිච්චි කළ ‘රාජ්‍ය මැදිහත්වීමේ’ විසඳුම්ය.
මෙම අර්බුදය අපට උගන්වන පාඩම නම් බලශක්තිය යනු හුදු ව්‍යාපාරික භාණ්ඩයක් (Commodity) නොවන බවයි. එය ජනතාවගේ මූලික අයිතියකි. එය ලාභය ඉලක්ක කරගත් පෞද්ගලික සමාගම්වලට මුදාහළ විට, ලෝකයේ කොහේ හෝ යුද්ධයක් ඇති වන සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික ජනතාවට පෝලිම්වල ලගින්නට සිදු වේ.
වෙළඳපොළ පාරිභෝගිකයා සුරැකීමට අසමත් වන සෑම මොහොතකම රාජ්‍යය මැදිහත් විය යුතු බව මෙම QR ක්‍රමය හරහා යළිත් ඔප්පු වී ඇත. බලශක්තිය වැනි උපායමාර්ගික ක්ෂේත්‍ර තව තවත් පෞද්ගලික සමාගම්වලට පැවරීම රටේ බලශක්ති ආරක්ෂාව (Energy Security) අනතුරේ හෙළන්නක් වනු ඇත.
