විජිතලාගේ ප්‍රශ්නය ඉංග්‍රීසි බැරිකමද ?

ධනංජය කරුණාරත්න

එදා ලෝක ආර්ථික සමුළුවට හඳුන්නෙත්ති ගිහින් ඉංග්‍රීසි සහ සිංහල යන දෙකෙන්ම කතා කරගන්න නොහැකිව ඇතිවුන අර්බුදය භාෂා ප්‍රශ්නයක් නොවන බව අපි විවේචනාත්මක පෙන්වා දුන්නා. ඊට පස්සේ රජය ඉගෙන ගත්තා ලෝක ආර්ථික සමුළුව කියන්නේ මොකක්ද ඒකේ බැරෑරුම්කම සහ හුන්නෙත්තිගේ සීමාවන් ආදිය. එදා එම කරුණු දැනගෙන තිබුණ නම් රජය සහ හදුන් දෙන්නාටම එම හානියෙන් බේරෙන්න තිබුණා. කොහොම හරි පස්සේ රජය මෙවර ඒ සඳහා වඩා සුදුසු හරිනිව යවලා තිබුණා. ඒක හොඳ තීරණයක්! හඳුන්නෙත්තී යළි කිසි දවසක ඒ වගේ තැනකට යවන එකක් නෑ. එදා අපි වරද පෙන්වා දුන්නේ නැත්නම් සමහරවිට තාමත් ඒක සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා විජිතගේ ප්‍රශ්නයත් අපට ඒ සද්භාවයෙන්ම පෙන්වා දීමට රජය අපට අනුමැතිය ලබා දීලා තියෙනවා කීයලි හිතනවා. මෙයින් රජය පමණක් නොවෙයි ඒ අසරණ ඇමතිවරු ද බේරා ගැනීම අපේ පරමාර්ථයයි!

අවාසනාවට හඳුන්නෙත්තිගේ ප්‍රශ්නෙන් අපි මතු කරපු ප්‍රධානම කාරණය විජිතට එද්දී තාමත් ඉතුරු වෙලා තියෙනවා වගෙයි. ඒක කිසිසේත් භාෂා ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අවශ්‍ය තැනට සුදුසුම කෙනා තෝරා ගන්නේ නැතිවීම පිළිබඳ ප්‍රශ්නයි. ඒක භාෂා ප්‍රශ්නෙට වඩා බරපතල් දේශපාලනික අර්බුදයක්.

විජිත හේරත්ගෙන් ප්‍රශ්න අහපු රයිසිනා සංවාදය (The Raisina Dialogue ) හුදෙක් අපේ නියෝජිතයාගේ ආගිය තොරතුරු විමසන හෝ ඉංග්‍රීසි දැනුමට ලකුණු දෙන පන්ති කාමරයක් නෙමෙයි. එවැනි ජාත්‍යන්තර ප්‍රජාවක් ඉන්න සභාවක තමයි ලෝකය පිළිබඳ අපේ දැක්ම සහ ස්ථාවරය වගේම ලෝක දේශපාලන ආර්ථික කතිකාවට අපේ දැනුම එකතු කරන අපි ඊට මැදිහත් වෙන ප්‍රබල වේදිකාව. අපිව රටක් ලෙස දේශපාලනිකව විශ්වාස කිරීමේ සිට ආයෝජකයින් සහ සංචකාරකයින් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව අපේ රට ගැන විශ්වාසය, ගෞරවය සහ අවබෝධය ඇතිකර ගන්නේ එවැනි තැන්වලින්. එබැවින් එය අපේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා සඳහා තීරණාත්මකයි.

ඇමතිවරු කියන්නේ සියලුම දේවල් දන්නා අය නෙවෙයි, දැන ගන්ඩ අවශ්‍යත් නැහැ. අමතිවරු අනිවාර්යෙන් පාර්ලිමේන්තු යා යුතුයි, එතන ඔවුන්ට කරන්න දෙයක් තියෙනවා. ඊළඟට ඔවුන්ගේ අමාත්‍යංශය ඔවුන් මෙහෙයවිය යුතුයි. නමුත් ඔවුන් අනිවාර්යයෙන් අනිත් සෑම වැඩකටම යා යුතුයි කියලා නියතයක් නැහැ. ඔවුන්ටම ආරාධනා කළ ද අවශ්‍ය නම් නියෝජිතයෙක් යවන්න පුළුවන්. අවශ්‍ය වන්නේ කවුරු හෝ රට වෙනුවෙන් ගිහින් අදාල කටයුත්ත හරියට කරලා ඒමයි. රටට වැදගත් ඒකයි.

එවැනි බැරෑරුම් ජාත්‍යන්තර සභාවක අපේ රට නියෝජනය කරමින් ගිහින් අර්ථවත් දෙයක් දායක කරන්නට පුළුවන් දක්ෂයින් අපේ ප්‍රධාන භාෂා තුනෙන්ම ශ්‍රී ලංකාවට ඕනෑ තරම් ඉන්නවා. එහෙම ඉද්දි එම සම්පත් පාවිච්චි නොකර කවුරුහරි තමන්ගේ එකෙක් මේ විදියට යවන්නේ ඇයි? නිවැරදි කරගත යුතු සහ විවේචනය කළ යුතු ප්‍රශ්නය හරියටම තියෙන තැන ඉංග්‍රීසි නොදන්නාකමට වඩා එතන නෙමෙයිද? සමහරවිට ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරයක් විජිතගේ මට්ටමේ ඉංග්‍රීසි සහ ජත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව දැනුම ඇති අය වෙන්න පුළුවන්, අවශ්‍ය නම් ඔවුන් අපහසුතාවයට පත්කරන්න ඕනෑ තරම් තැන් ලෝකයේ තියෙනවා. මොකක්ද ඒකේ තියෙන අරුමය?

දේශපාලන පක්ෂයක් රජයක් බවට පත්වුණාට පසු ඔවුන්ට අපේ එවුන් සහ පිට එවුන් කියා කොටස් දෙකක් ඉන්නට විදිහක් නැහැ. ඔවුන් කරන්නේ දියුණු දේශපාලනයක් නම් මිනිස් සම්පත්වල සිට ස්වභාවික සම්පත් දක්වා හොඳම දේ හොඳම තැනට යෙදවීම ඔවුන්ගේ භූමිකාවයි. ඒත් එතනට යොදන්නේ සුදුසු හෝ නුසුදුසු තමන්ගේ එවුන්නම් ඒක මීට පෙර රජයන් විසින්ද කරපු සුපුරුදු දූෂණයම නෙමෙයිද?

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි තමාව කුඩා සහ බලගතු නැති ලෙස සිතන ඒ වගේම වරප්‍රසාද සහ අවස්ථාවන් ද අසාධාරණ ලෙස බෙදී ගොස් ඇති රටවල් වලට මෙවැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදියට සම්බන්ධ වන්න සිදුවුණාම ඔවුන් ඒවා දකින්නේ විශේෂ වරප්‍රසාද ලෙසටයි. එහි ප්‍රතිඵලයක් ලෙසට එවැනි වරප්‍රසාද ලබා දෙන්නේ තමන්ට වඩාම පක්ෂග්‍රාහී ළඟින් සිටින අයට විනා වඩාම සුදුසුකම් ඇති අයට නෙමෙයි. පසුගිය සෑම රජයයක් විසින්ම කරගෙන ආපු රාජපක්ෂලාගේ කාලෙදි අන්තයටම ගොස් පවුල් පන්සල් පිටින් එවැනි අවස්ථා වරප්‍රසාද ලෙසට අරගෙන ගියා. මෙම දෘෂ්ටිවාදය සහ පුරුද්ද අප විසින් වහාම නැති කරගත යුතුයි.

ඒ අදාළ වැඩේ කිරීමට වඩාම සුදුසු , ජාත්‍යන්තර ආර්ථික සහ දේශපාලන සමුළුවලදී රට වෙනුවෙන් ඒවාට ඉතාමත් ගුණාත්මක දෙයක් දායක කරන්න පුලුවන් රටේ සම්පත්ධාරීන්ට එයින් දරුණු අසාධාරණයක් සිදුවෙනවා.

අපි රටක් ලෙසට වැඩේ කරන්න යවන්නේ වැඩේ හරියට කරගන්න බැරි පක්ෂයේ එවුන් නම් එහෙමනම් අදාළ විෂයේ ප්‍රවීණයින් රටට සිටින්නේ මොකකටද?

මීට පෙර රජයන් විසින් සම්ප්‍රදායන් විදිහට අරගෙනා මේ දූෂිත පසුගාමී තත්ත්වයන් වෙනස් කිරීම මෙම රජයේ වගකීමයි.

කොහේ හරි තැනක වැඩක් කෙනෙකුගෙන් හරියට කෙරෙන් නැත්නම් අපි ඇසිය යුතු ප්‍රශ්නය ඊට වඩාම සුදුසා කෙනා එතනට යන්නට නොහැකි වුන යන්ත්‍රණය මොකක්ද කියලයි.

උපුටා ගැනීම – Dhananjaya Karunarathne ෆේස්බුක් ගිනුමෙනි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading