ජාතික දේශපාලනයේ මළකඳක් බවට පත්ව සිටින විමල් වීරවංශ, පාස්කු ඉරුදිනට පෙර “උත්තානය” වීමට, එනම් මළ දේශපාලනයෙන් නැගිටීමට අලුත් “පොටක්” පාදාගෙන තිබේ. ඒ, “සලේ කුමක්ද කළේ?” යනුවෙන් මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සලේ කුමක්ද කළේ යන විමල්ගේ ප්‍රශ්නයට දිය හැකි හමුදාමය පිළිතුර නම්, ඔහු ඔය කියන තරම් වීරයකු නොවන බවය. එනමුත් විමල් වීරවංශ පවසන පරිදි යුද හමුදාවේ සිටි විශිෂ්ටතම බුද්ධි නිලධාරියා සලේය. විමල්ගේ කතාවේ හරය මෙසේය:
“ජෙනරාල් සලේ සුවිශේෂී භූමිකාවක් කළා. නමුත් ඔහු ඒවායේ ගෞරවය ගන්න ගියේ නැහැ. ඔහු වරක් ජාතික ආරක්ෂක මණ්ඩලයට ඇවිත් කියනවා, ‘සුවිශේෂී ටාගට් එකක් තියෙනවා, පැය විසිහතර පුරාම ප්‍රහාරක ජෙට් ලෑස්ති කරලා තියන්න’ කියලා. ඊට පස්සේ ඔහු කියනවා ‘මෙන්න ලොකේෂන් එක, මේ දැන් ගහන්න තමිල් සෙල්වම්ට’ කියලා. සලේට ඔත්තුව ලැබුණේ තමිල් සෙල්වම් ළඟ හිටපු කෙනෙකුගෙන්. බුද්ධි නිලධාරීන් කියන්නේ එවැනි අය. එල්.ටී.ටී.ඊ.යේ කෞෂල්‍යන් මරන්න සහරාන් උදව් කළා. දැන් සලේට තවත් චෝදනා එල්ල කරයිද දන්නේ නැහැ, තමිල් සෙල්වම් මරන්න එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු සමඟ සබඳතා පැවැත්වුවා කියලා.”
පළමුවෙන්ම විමල්ට කිවයුතු කරුණක් ඇත. එනම්, මෙවැනි ප්‍රකාශ කිරීමට පෙර යුද හමුදාවේ සංවිධාන ව්‍යුහය සහ දින වකවානු පිළිබඳ හදාරන ලෙසයි. විමල් වීරවංශ යනු ප්‍රසිද්ධ බොරුකාරයකු බව රටම දැන ගත්තේ 2010 ජනාධිපතිවරණය දවසේ රූපවාහිනියට පැමිණ කළ ප්‍රකාශයෙනි. එදා ඔහු කීවේ සරත් ෆොන්සේකා ලියාපදිංචි ඡන්ද දායකයකු නොවන බැවින් ඔහුට ඡන්දය දීම අපතේ යන බවයි. එම කතාව අමූලික බොරුවක් බව එවකට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද තහවුරු කළේය.
දැන් විමල් සලේ ගැන කියූ කතාවේ ඇත්ත නැත්ත විමසා බලමු:
තමිල් සෙල්වම්ගේ මරණය (2007.11.02): එම ගුවන් ප්‍රහාරයෙන් ඔහු සමඟ එල්.ටී.ටී.ඊ.යේ ලුතිනන් කර්නල්වරයෙක්, මේජර්වරුන් දෙදෙනෙක් සහ ලුතිනන්වරයෙක් මිය ගියහ.
ආරක්ෂක මණ්ඩලයේ නියෝජනය: විමල් පවසන පරිදි 2007 වසරේදී සලේට ජාතික ආරක්ෂක මණ්ඩලයට පැමිණීමට කිසිදු හැකියාවක් තිබුණේ නැත. ආරක්ෂක මණ්ඩලයේ යුද හමුදාව නියෝජනය කරන්නේ යුද හමුදාපති සහ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ (DMI) පමණි.
එකල තත්ත්වය: එදවස කණිෂ්ඨ නිලධාරියකු වූ සලේට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසී තිබුණි. එකල සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂවරයා වූයේ බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරය. ආරක්ෂක කවුන්සිලයට ගියේ ඔහු මිස සලේ නොවේ. තමිල් සෙල්වම්ට මරු කැඳවූ බෝම්බය හෙළූ ගුවන් නියමුවාට පවා නිසි ඇගයීමක් නොලැබී ගෙදර යාමට සිදු විය.
සලේ අවසාන වශයෙන් සක්‍රිය සංග්‍රාම භූමියේ සේවය කළේ මඩකලපුවේ ලුතිනන් නිලයේ සිටියදීය. එතැන් සිට ඔහු දිගටම සේවය කළේ කොළඹය. ඔහු කවදාවත් අණදෙන නිලධාරි (CO) ධුරයක් දරා නැත. යුද හමුදාවේ CO ධුරයක් නොදරා මේජර් ජෙනරාල් නිලයට පත් වූයේ සලේ සහ සංජය වනසිංහ පමණි.
සලේගේ “වසන්ත සමය” උදා වූයේ සරත් ෆොන්සේකා සිරගත වූ පසුවය. එතැන් සිට ගෝඨාභය රාජපක්ෂගේ පිහිටෙන් ඔහු ඉහළට පැමිණියේය. සලේ විමල් පවසන තරම් දක්ෂයකු නම්, අරගලයෙන් පසු ගෝඨාභයට ගෙදර යාමට සිදු වන්නේ නැත. සලේගේ අසාර්ථකත්වය (Fail බව) ගෝඨාභය විසින්ම සිය පොතේ වක්‍රව සඳහන් කර තිබේ.
විමල් වීරවංශ පවසන දෙවැනි බොරුව නම්, එල්.ටී.ටී.ඊ. නැගෙනහිර දේශපාලන අංශ නායක කෞෂල්‍යන් මරා දැමීමට ඔත්තුව දුන්නේ සහරාන් බවයි.
කෞෂල්‍යන්ගේ මරණය: ඔහු වැලිකන්දේදී මියයන්නේ සටන් විරාමය පැවැති සමයේය. එය කරුණා පාර්ශවයේ මෙහෙයුමකි.
සහරාන්ගේ ආගමනය: එදවස යුද හමුදා බුද්ධි අංශය සමඟ සහරාන්ගේ කිසිදු සබඳතාවක් තිබුණේ නැත. සහරාන් කරළියට එන්නේ යුද්ධයෙන් පසුවය.
කාල වකවානු: සලේ සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ධුරයට පත් වන්නේ සරත් ෆොන්සේකා සිරගත කළ පසුවය. සහරාන් මඩකලපුවෙන් මතුවන්නේ ඉන් පසුවය.
එබැවින් විමල් වීරවංශ ඇතුළු සලේ “ගලවා ගැනීමේ මෙහෙයුමේ” සිටින අයට එකක් කිව යුතුය: සැබෑ ඉතිහාසය දන්නා අය තවමත් ජීවතුන් අතරය. එබැවින් දේශපාලන වාසි තකා බොරු කීමෙන් වළකින්න.
