යුද්ධෙට සපෝට් කරලත්, ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය එක්ක තරහ ගිහින්..

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා එක්සත් ජනපද හමුදාවන්ට බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරු භාවිතා කිරීමට අවසර දීමට බ්‍රිතාන්‍යය ගත් කාලය ඕනෑවට වඩා වැඩි බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඉන්දියන් සාගරයේ පිහිටි චාගෝස් දූපත් සමූහයේ ස්වෛරීභාවය මුරුසියට (Mauritius) පැවරීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමා කීර් ස්ටාමර් ගැන “ඉතා කලකිරීමට පත්ව සිටින” බව ද ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මෙම ගිවිසුම දියේගෝ ගාර්ෂියා හි පිහිටි බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගුවන් කඳවුර ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මුලින් යෝජනා කර තිබුණි. චාගෝස් ගිවිසුමට ට්‍රම්ප් මුලින් සහයෝගය දැක්වීය. එහෙත් පසුව සිය මතය වෙනස් කර ගත් අතර, එය “අතිශය ලිබරල්වාදී” (Woke) ක්‍රියාවක් බව ඔහු තර්ක කළේය.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය සෙනසුරාදා එල්ල වූ එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාර මාලාවට ස්ටාමර් සහ ඔහුගේ අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ විරුද්ධ නොවූහ. එහෙත්, එම ප්‍රහාරවල නීත්‍යානුකූලභාවය පිළිබඳ සැකයන් හේතුවෙන් දියේගෝ ගාර්ෂියා හෝ වෙනත් බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරු භාවිතා කිරීමට ඔවුහු ඇමරිකානු හමුදාවන්ට මුලින් අවසර ලබා නොදුන්හ.

කෙසේ වෙතත්, ඉරානය විසින් මැදපෙරදිග ඉලක්ක වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම ස්ථාවරය වෙනස් කළ බව ඉරිදා සවස ස්ටාමර් ප්‍රකාශ කළේය. සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරකට ද ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ස්ටාමර් පැවසුවේ ඉරානයේ ප්‍රහාර එල්ල කීරීමේ හැකියාව විනාස කිරිමට සහයෝගය ලබා දෙන බවය.

බ්‍රිතාන්‍යය රටක් ලෙස ඇමෙරිකාවේ යුධමය ශක්තිය සහ ඇමෙරිකාව සමග දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන යුධමය සහයෝගය මත යැපෙන්නේය. ඇමෙරිකාව යුධමය කටයුත්තකදී අමනාප කර ගැනිමට බ්‍රිතාන්‍යය සූදානම් නැත.

‘ඩේලි ටෙලිග්‍රාෆ්’ (Daily Telegraph) පුවත්පත සමඟ අදහස් දක්වමින් පසුගියදා ට්‍රම්ප් පැවසුවේ ස්ටාමර් සිය තීරණය වෙනස් කිරීමට වැඩි කාලයක් ගත් බවයි. “ඒ සඳහා බොහෝ කාලයක් ගත විය. අපේ රටවල් අතර මීට පෙර කිසි දිනෙක මෙවැනි දෙයක් සිදුවී නැත. ඔහු නීත්‍යානුකූලභාවය ගැන කනස්සල්ලෙන් සිටි බවක් පෙනෙන්නට තිබුණා,” යැයි ට්‍රම්ප් පැවසීය.

ඉරානය “ඔබේ රටේ බොහෝ පිරිසක්” ඝාතනය කිරීමට වගකිව යුතු බැවින් දියේගෝ ගාර්ෂියා භාවිතා කිරීමට වහාම අවසර ලබා දිය යුතුව තිබූ බව ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය. “බෝම්බ ප්‍රහාර නිසා අත් පා සහ මුහුණු අහිමි වූ මිනිසුන් සිටිනවා. එයින් 95% කටම වගකිව යුත්තේ ඉරානයයි. ඒ බිහිසුණු සිදුවීම් සිදු කළේ ඉරානයයි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසූ නමුත් ඔහු ඒ පිළිබඳව වැඩිදුර විස්තර කළේ නැත.

ඉරානයට පහර දීමට තීන්දු කළේ ඇමෙරිකාව වීමත්, ඇමෙරිකාව ‘ස්ව කැමැත්තෙන් තීන්දු කළ යුද්ධයක්‘ හෙවත් War of choice ආරම්භ කර තිබීමත්, ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ එයට බවත් බ්‍රිතානය්‍යට අදාල කරගත නොහැක. ඔවුන්ට ඇමෙරිකාවට සහයෝගය දැක්වීමට සිදු වනු ඇත. ට්‍රම්ප්ගේ කේන්තියට බ්‍රිතාන්‍ය බියක් දක්වයි.

ට්‍රම්ප් සිය අදහස වෙනස් කිරීමෙන් පසු, මුරුසිය සමඟ ගිවිසුම විධිමත් කිරීම සඳහා වන බ්‍රිතාන්‍ය රජයේ පනත පාර්ලිමේන්තුවේ අවසන් අදියරේදී දැනට නතර කර ඇත. ඇමරිකාවේ එකඟතාවයකින් තොරව මෙම සැලසුම ක්‍රියාත්මක නොකරන බව ස්ටාමර් පවසා තිබේ. පෙබරවාරි මස මුලදී මෙය ස්ටාමර්ට කළ හැකි “හොඳම” ගනුදෙනුව ලෙස ට්‍රම්ප් හැඳින්වූ නමුත්, පසුව ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ස්ටාමර් දූපත්වල ස්වෛරීභාවය පැවරීමෙන් “විශාල වැරැද්දක්” කරන බවයි.

“හදිසියේම මුරුසිය එහි අයිතිය ඉල්ලා සිටියා. ඔහු ඒ වෙනුවෙන් සටන් කර එහි අයිතිය තබා ගත යුතුව තිබුණා. නමුත් අපි කීර් ගැන ඉතා කලකිරීමට පත් වුණා,” යැයි ට්‍රම්ප් පැවසීය.

ඉරානයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවසුවේ මෙහෙයුම “හිතුවාට වඩා ඉක්මනින් සිදුවෙමින්” පවතින බවයි. “අපි සෑම විටම බලාපොරොත්තු වුණේ සති හතරක කාලයක්. නායකත්වය විනාශ කිරීමට සති දෙක තුනක් ගතවනු ඇතැයි අපි සිතුවත්, අපි එක දිනකින් ඒ සියල්ල අවසන් කළා,” යැයි ඔහු පැවසීය. මෙම හමුදා ප්‍රහාරවල අවසන් අරමුණු පිළිබඳව ට්‍රම්ප් පැහැදිලි ප්‍රකාශයක් කර නැතත්, එහි අරමුණ ඉරාන ජනතාව නැගී සිටීම බවත්, කමේනිගෙන් පසු පත්වන අනුප්‍රාප්තිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීම බවත් ඔහු සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යය අන්තිමේ ඇමෙරිකානු බලයට හිස නැමුවත් ට්‍රම්ප් බ්‍රිතාන්‍යය ගැන නොසතුටෙන් පසු වීම ඉදිරියේදී ඒ දෙරට අතර සම්බන්ධය ගැන මනාව කියාපානු ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading