සමාජයේ ඉහළම ගෞරවයක් හිමිවන වෘත්තියක් ලෙස ගුරු වෘත්තිය සැලකේ. දෙමව්පියන් තම දරුවන්ව පාසලට යවන්නේ ගුරුවරුන් වෙත සියලු විශ්වාසය තබමිනි. නමුත්, ඒ උතුම් ගුරු වෘත්තියට මුවා වී අහිංසක දැරියකගේ ජීවිතය විනාශ කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එරෙහිව පසුගියදා ශ්‍රී ලංකා අභියාචනාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක් ලබා දෙන ලදී.
ඒ, නුවරඑළිය මහාධිකරණය විසින් එම ගුරුවරයාට නියම කර තිබූ බරපතල වැඩ සහිත වසර 34ක සිරදඬුවම සහ රුපියල් ලක්ෂ 10ක වන්දිය අනුමත කරමින් ඔහුගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමෙනි.
මේ ඛේදවාචකයේ ආරම්භය සනිටුහන් වන්නේ මීට වසර 14කට පමණ පෙර, එනම් 2012 වසරේදීය. සිද්ධියට මුහුණ දෙන දැරිය ඒ වන විට වයස අවුරුදු 16ක් වත් සම්පූර්ණ නොවූ, කොටගල ප්‍රදේශයේ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි. ඇය ජීවත් වූයේ තම මිත්තණිය සහ මාමා සමඟයි. ඇයට විද්‍යාව ඉගැන්වූ “සම්බන්දන්” නමැති ගුරුවරයා සිය ශිෂ්‍යාවකට මෙම අපරාධය සිදු කර තිබුණි.
පළමු උත්සාහය සහ නිවසට රවටා ගෙන යාම
නඩුවේ ඇති කරුණු අනුව,
වින්දිත දැරිය 1998 ජූනි 3 වැනිදා උපත ලබා ඇත. අදාළ සිදුවීම් සිදුවන කාලයේදී ඇය කොටගල, රොසිටා නිවාස සංකීර්ණයේ ඇගේ මිත්තණිය සහ මාමා සමඟ ජීවත් වී ඇත. ඇය කොටගල දෙමළ මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර අභියාචක එහි විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත.
2012 ජූනි මාසයේ නිශ්චිත නොවන දිනයක අභියාචක විසින් ඇයව පාසලේ ප්‍රථමාධාර කාමරයට රවටා ගෙන ගොස් ඇති බවට චෝදනා කෙරේ. එහිදී ඔහු ඇයව වැළඳ ගැනීමට උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ඇය ඊට විරෝධය පා වහාම කාමරයෙන් පිටව ගොස් ඇත.
කෙසේ වෙතත්, 2012 ජූලි සහ අගෝස්තු මාසවල අවස්ථා දෙකකදී අභියාචක විසින් PW01 ව ඔහුගේ නිවසට රවටා ගෙන ගොස් ඇත. එහිදී ඔහු ඇගේ යෝනිය මත තම ලිංගය තබා තද කරමින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා කෙරේ.
මාමා ඇටවූ උගුල සහ ගුරුවරයාගේ පාපොච්චාරණය
මේ තත්ත්වය මෙලෙසින්ම ඉදිරියට ගියේ නම් මේ දැරියගේ මුළු අනාගතයම අඳුරු වීමට ඉඩ තිබුණි. නමුත් 2012 නොවැම්බර් මාසයේදී ගුරුවරයා තවත් අඩියක් ඉදිරියට තබමින් දැරියගේ නිවසටම පැමිණියේ ඇයව අපයෝජනය කිරීමේ අරමුණෙනි. මේ වන විට දැරියගේ මාමා තුළ මේ පිළිබඳව යම් සැකයක් මතු වී තිබුණි. ඔහු නිවසේ සැඟවී සිට, ගුරුවරයා දැරියට කරදර කිරීමට යන මොහොතේදීම ඔහුව අතටම අල්ලාගැනීමට සමත් විය.
ගුරුවරයාට ඒ මොහොතේ කළ හැකි වෙනත් කිසිවක් තිබුණේ නැත. ඔහු තමා අතින් වරදක් වූ බව පිළිගත්තේය. හඬා වැටෙමින් ඔහු කියා සිටියේ, “මගේ රක්ෂාවට ගරු කරලා සහ මා හට ගරු කරලා මා හට සමාව ලබා දෙන්න” කියාය. ඔහු තම ජාතික හැඳුනුම්පත් අංකය ද සඳහන් කරමින්, තමා අතින් වරදක් වූ බවට ලියුමක් ද ලියා දී එතනින් ගැලවී ගියේය.
‘සම්බන්ධන් කියන කෙනාගේ ලිපිනය දාලා ජාතික හැදුනුම්පතේ අංකය දාලා තියෙනවා 750***240V කියලා. දැරියගේ ගෙදර කවුරුත් නැති වෙලාවේ මම එයාගේ රූම් එකට ඇවිල්ලා මේ විදිහට වැරදි ලෙස හැසිරීමට කටයුතු කළා. අනෙකුත් පාර්ශ්වය ඒ සම්බන්ධයෙන් දැනගෙන මාව ඒ වෙලාවේදීම හඳුනා ගත්තා. මාගේ අත් දෙකෙන්ම ඒ අය අල්ලා ගත්තා. මාමා විසින් මාව ඒ වෙලාවේම හඳුනාගෙන අතින් අල්ලා ගත්තා. මගේ රක්ෂාවට ගරු කරලා සහ මා හට ගරු කරලා මා හට සමාව ලබා දී මේ අය ඒ වෙලාවේම මාව මුදාහැරියා.”
යනුවෙන් ලියුමේ සදහන් කර ඇත.
බොහෝ විට මෙවැනි සිදුවීම්වලදී අපේ සමාජය හැසිරෙන්නේ ඉතා පසුගාමී අයුරිනි. ලැජ්ජාව, බිය සහ ගුරුවරයෙකුට එරෙහිව කටයුතු කිරීමේ ඇති අපහසුව නිසා දැරියගේ ආච්චි සහ මාමා තීරණය කළේ පොලිසියට නොගොස් මේ ප්‍රශ්නය මෙතනින් යටපත් කර දැමීමටයි. ගුරුවරයාගේ සමාව ගැනීමේ ලියුම ඊට ප්‍රමාණවත් යැයි ඔවුහු සිතූහ.
නමුත්, විදේශගතව සිටි දැරියගේ පියාට මේ සිදුවීම ආරංචි වූ වහාම ඔහු තරයේ කියා සිටියේ මේ පුද්ගලයාට කිසිසේත්ම සමාවක් දිය නොහැකි බවයි.
මන්දයත්, මෙලෙස නීතියෙන් ගැලවී ගියහොත් ඔහු අනාගතයේදී පාසලේ සිටින වෙනත් අහිංසක දරුවන්ගේ ජීවිතද මේ ආකාරයෙන්ම විනාශ කරනු ඇතැයි ඒ පියාට දැඩි සේ විශ්වාසයක් තිබුණි. ඒ අනුව, පියාගේ දැඩි බලකිරීම මත පොලිසියට පැමිණිලි කර තිබුණි. එයින් පසු මේ පිළිබද නඩු පැවරීමට කටයුතු කර තිබුණි.
නඩුව විභාග වන අතරතුර විත්තිකරුගේ පාර්ශ්වයෙන් මතු කළ ප්‍රධාන තර්කයක් වූයේ, පැමිණිලි කිරීමට ප්‍රමාද වීම නිසා දැරියගේ කතාව විශ්වාස කළ නොහැකි බවයි. නමුත්, සමාජයේ ඇති බිය සහ සමථයකට එළඹීමට ගත් උත්සාහය නිසා මේ ප්‍රමාදය සිදුවූ බව අධිකරණය මැනවින් තේරුම් ගත්තේය.
තීන්දුවෙහි පෙන්වා දී ඇත්තේ 2012 ජුනි මාසයේදී සිදු වූ මෙම අපයෝජනයන් පිළිබද 2013 දී පැමිණිලි කර ඇතත් එයට පදනමක් තිබී ඇති බවයි.
දැරියව 2013 දෙසැම්බර් 6 වැනි දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ.බී.එම්. ෆයිසාල් මහතා විසින් පරීක්ෂා කර ඇත. පරීක්ෂා කිරීමට පෙර, දැරිය විසින් ලබා දුන් කෙටි ඉතිහාසය වෛද්‍යවරයා විසින් සටහන් කර ඇත.
පැමිණිලිකාරිය ගුරුවරයා විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බව අඛණ්ඩව ප්‍රකාශ කර ඇති බව තීන්දුවෙහි පෙන්වා දී තිබේ. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ලබා දුන් කෙටි ඉතිහාසය තුළ ද මෙම ප්‍රකාශය ස්ථාවරව පවතී. එමගින් ඇගේ සාක්ෂියේ නොසැලෙන ස්වභාවය පෙන්නුම් කරන අතර, 2 ලෙස ලකුණු කර ඇති අභියාචකගේ ලිඛිත පොරොන්දුව මගින් එය සෘජුවම සනාථ වන බව තීන්දුවෙන් පෙන්වා දී තිබේ.
පොලිස් පැමිණිල්ලක් කිරීමට ප්‍රමාද වීමට පදනම් වී ඇත්තේ ගුරුවරයා විසින් ලබා දුන් ලිඛිත පොරොන්දුව වන බවත්, එයින් පොලිස් මැදිහත්වීමකින් තොරව ප්‍රශ්නය විසඳෙනු ඇතැයි භාරකරුවන් විශ්වාස කර ඇති බවත් තීන්දුවෙන් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, මෙම අවිධිමත් විසඳුම තාවකාලික එකක් බවත්, පසුව දැරියගේ පියාගේ ෙබලකිරීම මත පොලිස් පැමිණිල්ලක් කර ඇති බවත් එයින් පෙන්වා දී තිබේ. පැමිණිලි කිරීමට ප්‍රමාද වීම සඳහා හේතු මින් පැහැදිලි වන බවත් අධිකරණය පිළිගෙන තිබේ. අජිත් සමරකෝන් එරෙහිව ජනරජය (2004 2 SLR 220) නඩුවේදී ජයසූරිය විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ:
“සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් ප්‍රමාද වූ පමණින් අධිකරණයට එම සාක්ෂිය ප්‍රතික්ෂේප කිරීමට අයිතියක් නැත… ප්‍රමාදයට හේතු සාධාරණ සහ සම්භාවිතාත්මක නම් ප්‍රමාද වී ප්‍රකාශයක් කළ සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි මත ක්‍රියා කිරීමට නඩු විභාග කරන විනිසුරුවරයාට අයිතියක් ඇත.”
යනුවෙනි.
අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලද්දේ, නුවරඑළිය මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුවකි. ගුරුවරයාට චෝදනා දෙකක් යටතේ වසර 17 බැගින් මුළු වසර 34ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, වින්දිත දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමටද නියෝග කර තිබුණි.
බී. සසී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් විසින් 2026 පෙබරවාරි 26 වැනි දින මහාධිකරණ තීන්දුවට එරෙහි අභියාචනය මුළුමනින්ම නිෂ්ප්‍රභ කර දඬුවම ස්ථිර කරන ලදී.
මෙම නඩු තීන්දුව හුදෙක් එක් දැරියකට සාධාරණය ඉටු කිරීමක් පමණක් නොවේ. දරුවන්ගේ අනාගතය බාරගෙන සිටින ගුරුවරුන් ඒ උතුම් වෘත්තියට නිගා දෙන අයුරින් හැසිරෙන්නේ නම්, කොතරම් කාලයක් ගත වුවද නීතිය ඔවුන් පසුපස හඹා විත් දැඩි දඬුවම් ලබා දෙන බවට මුළු මහත් සමාජයටම දුන් ප්‍රබල පණිවිඩයකි. එය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඬක් නැගීමට සමාජයට දුන් විශාල ධෛර්යයක් ලෙසද හැඳින්විය හැකිය.
