වසර විස්සකට පෙර, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මහේෂ්වරී කල්‍යාණ සුන්දරම් නම් කාන්තාව මෙරට පුරවැසියෙකු සමඟ විවාහ වන්නේ සුන්දර පවුල් ජීවිතයක අපේක්ෂාවෙනි. එහෙත් දශක දෙකකට පසු ඇයට උරුම වූයේ ගෘහස්ථ හිංසනය, සැමියාගේ දෙවැනි විවාහය සහ තමන් මෙතෙක් කල් විසූ රටෙන් පිටුවහල් වීමේ බිය පමණි. රජයේ නිලධාරීන්ගේ අසංවේදී තීරණ හමුවේ තනි වූ ඇය, ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ ලැබූ ජයග්‍රහණය, මෙරට නීති ඉතිහාසයේ “සැමියාගේ කැමැත්ත” යන පුරුෂ මූලික සංකල්පය අභියෝගයට ලක් කළ සන්ධිස්ථානයකි.
2002 අගෝස්තු මාසයේදී ඉන්දීය පුරවැසියෙකු වූ මහේෂ්වරී, ශ්‍රී ලාංකිකයෙකු වූ සතීෂ් නඩරාජා සමඟ විවාහ වූවාය. ඉන්දියාවේදී විවාහ වූ ඇය ලංකාවට පැමිණියාය. එතැන් පටන් ඇය මෙරට වාසය කළේ විවාහක වීසා (Spousal Visa) බලපත්‍රයක් යටතේය. ඇයට සහ ඇගේ සැමියාට එක් දරුවෙකු සිටී. එහෙත් ඇගේ පවුල් ජීවිතය මල් යහනාවක් නොවීය. සැමියාගෙන් සහ ඔහුගේ මවගෙන් එල්ල වූ දරුණු ගෘහස්ථ හිංසනය හමුවේ ඇය වසර ගණනාවක් පීඩා වින්දාය.
තත්ත්වය වඩාත් බරපතළ වූයේ 2006 වසරේදී ඇගේ සැමියා දෙවැනි විවාහයක් කරගැනීමත් සමඟය. දෙවැනි විවාහය සිදු වූයේ ලංකාවේදීය. 2013 දී එය ලියාපදිංචි කළ ඔහු, තමන්ගේ දෙවැනි බිරිඳවද මහේෂ්වරී පදිංචිව සිටි නිවසේම උඩු මහලේ පදිංචි කරවීමට තරම් අසංවේදී විය. බහුභාර්යා සේවනය (Bigamy) පිළිබඳව ඇය කළ පැමිණිල්ලක් මත මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු විය.
ශ්‍රී ලංකාවේ පවතින සම්ප්‍රදායික ක්‍රමය අනුව, විදේශික බිරිඳකට විවාහක වීසා බලපත්‍රයක් අලුත් කරගැනීමට නම් සැමියාගේ කැමැත්ත සහිත ලිපියක් (Consent Letter) අනිවාර්ය වේ. මහේෂ්වරී හමුවේ තිබූ ලොකුම අභියෝගය මෙයයි. තමන්ට දරුණු ලෙස වධ හිංසා පමුණුවන, තමන්ව රටෙන් පිටුවහල් කිරීමට මාන බලන සැමියෙකුගෙන් “කැමැත්ත ලබන ලිපියක්” ලබා ගන්නේ කෙසේද? සැමියාට ඕනෑ ඇයව ලංකාවෙන් එළවාගැනීම නේද?
2022-2023 වර්ෂය සඳහා වීසා බලපත්‍රය අලුත් කිරීමට සැමියා කැමැත්ත ලබා දීම ප්‍රතික්ෂේප කළේය. එවිට ආගමන විගමන පාලකවරයා ඇයට දැනුම් දුන්නේ එම ලිපිය නොමැතිව වීසා ලබා දිය නොහැකි බවයි. පීඩාවට පත් කාන්තාවකට රැකවරණය දෙනු වෙනුවට නිලධාරීන් උත්සාහ කළේ ඇයව “යැපෙන්නෙකු” ලෙස සලකා ඇගේ පුත්‍රයාගේ කැමැත්ත මත වීසා ලබා දීමටය. එහෙත් සැමියාගේ බලපෑම මත ඇගේ පුත්‍රයාද ඇයට එරෙහිව ප්‍රචණ්ඩ ලෙස හැසිරීම නිසා ඇය දැඩි අසරණභාවයකට පත්වූවාය. ඇයට ලංකාවත් නොමැති, ඉන්දියාවත් නොමැති අසරණ තැනකට පත් වූවාය.
යම් රටක් තමන්ගේ පුරවැසිියෙකුට වෙනත් රටක පුරවැසියෙකු සමග විවාහ වීමට අයිතිය ලබා දෙන්නේ, එයින් පසු එම යුවලට රටවල් දෙකෙන් එකක ජීවත් වීම සදහා වූ කොන්දේසියකටත් යටත්වය. එමෙන්ම තමන්ගේ රටේ පුරවැසියෙක් හා විවාහ වීම නිසාම අදාල රටටත් ඒ විවාහයෙන් පසු සංක්‍රමණික සහකරු පිළිබද වගකීම පැවරේ.
එහෙත්, අප වැනි රටවල සම්ප්‍රදාය වන්නේ මෙවැනි සිදුවීම්වලදී විවාහ වී ලංකාවට පැමිණෙන කාන්තාවන් දිගින් දිගටම ප්‍රචණ්ඩත්වයට මුහුණදීමේ අවදානමකට ලක් වීමයි.
මෙම අසාධාරණයට එරෙහිව මහේෂ්වරී කල්‍යාණ සුන්දරම් මහත්මිය අභියාචනාධිකරණය හමුවේ Writ of Mandamus (ආඥා රිට් ආඥාවක්) ඉල්ලා නඩු පවරන ලදී (CA/Writ No: 706/2023). ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ස්වස්තිකා අරුලිංගම් මෙනෙවිය ප්‍රමුඛ කණ්ඩායම ඉතා ප්‍රබල නෛතික තර්ක කිහිපයක් ඉදිරිපත් කරන ලදී.
Lex Non Cogit Ad Impossibilia (නීතිය කළ නොහැක්කක් කිරීමට බල නොකරයි): වින්දිත කාන්තාවකට තමන්ට හිංසා කරන සැමියාගෙන් කැමැත්ත රැගෙන එන්නැයි කීම ප්‍රායෝගිකව කළ නොහැක්කකි.
Legitimate Expectation (සාධාරණ අපේක්ෂාව): වසර 20ක් තිස්සේ මෙරට නීත්‍යානුකූලව විසූ ඇයට, ඇගේ විවාහය වලංගු තාක් කල් වීසා ලැබෙනු ඇතැයි යන සාධාරණ අපේක්ෂාවක් තිබුණි.
Migration Control Manual (සංක්‍රමණ පාලන අත්පොත): එම අත්පොතේ 36(iv) වගන්තියට අනුව වීසා බලපත්‍රයක් අවලංගු වන්නේ විවාහය අධිකරණයකින් අවලංගු කළහොත් පමණි. මහේෂ්වරීගේ විවාහය තවමත් වලංගුය.
නඩුව විභාග වෙමින් පවතින අතරතුර ඇගේ මව අසනීප වූ බැවින් ඇයට ඉන්දියාවට යාමට සිදු විය. එහිදී ආගමන විගමන බලධාරීන් ඇයට රුපියල් 155,000 ක දඩයක් නියම කළේ ඇය “අනවසරයෙන්” රැඳී සිටි බව පවසමිනි. එහෙත් ඒ වන විටත් අධිකරණය විසින් ඇයව පිටුවහල් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. එමගින් නිවසේදී ඇය මුහුණදුන් හිංසනය ආයතනගත කොට රාජ්‍ය පද්ධතියෙන් ඒ හිංසනය තවදුරටත් දිරිමත් කිරිමක් සිදු විය.
ගරු රෝහන්ත අබේසූරිය සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල විසින් 2026 ජනවාරි 19 වන දින ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව මගින් මහේෂ්වරීට පූර්ණ සහනය ලබා දෙන ලදී.
එහිදී ලැබුණු ඓතිහාසික නිගමනය වන්නේ විවාහක වීසා ලබා ගැනිමේදී සහකරුගෙන් කැමැත්ත ලබා ගැනීම ” documentation requirement” (ලේඛනගත අවශ්‍යතාවයක්) පමණක් වන අතර එය නීතියක් නොවන බවයි.
හිංසනයෙන් වින්දිත කාන්තාවකගෙන් මෙවැනි ලිපියක් අපේක්ෂා කිරීම “අසම්භාව්‍යයක්” (Impossibility) බව අධිකරණය පිළිගත්තේය.
ශ්‍රී ලංකාව විසින් සම්මත කර ඇති ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත වැනි නීති මගින් වින්දිතයන් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව අධිකරණය පෙන්වා දුන්නේය.
පනවන ලද රුපියල් 155,000 ක දඩය අහෝසි කරන ලෙසත්, ඇගේ විවාහය පවතින තාක් ඇයට විවාහක වීසා ලබා දෙන ලෙසත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.
මෙම නඩුව හුදෙක් එක් කාන්තාවකගේ ජයග්‍රහණයක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මුල් බැසගෙන ඇති පුරුෂාධිපත්‍යයට එල්ල කළ මරු පහරකි. මේ කාන්තාව දිගින් දිගටම හිංසනයට ලක් වුණේ ඇය විදින පීඩනය අවබෝධ කර නොගත් ආයතන පද්ධතියක් පැවතුණු නිසාය.
අනෙක් පැත්තෙන් විදේශික බිරිඳකගේ වීසා බලපත්‍රය ඇගේ සැමියාගේ පාලනයට යටත් නොවිය යුතු බව මෙයින් තහවුරු විය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීමට වඩා, වින්දිතයන්ගේ මානව අයිතිවාසිකම් සහ රටේ පවතින අනෙකුත් ආරක්ෂක නීති (උදා: ගෘහස්ථ හිංසන පනත) කෙරෙහි සංවේදී විය යුතු බව අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ වින්දිතයන් ආරක්ෂා කිරීමට ඇති Tapestry of legislation (නීතිමය වියමන) හුදෙක් කඩදාසිවලට පමණක් සීමා නොවිය යුතු බව අධිකරණය ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය.
මහේෂ්වරීගේ කතාව අපට පවසන්නේ පද්ධතියේ ඇති අසංවේදීභාවයයි. ඇය වැනි බොහෝ කාන්තාවන් අදටත් නිහඬව පීඩා විඳින්නේ මෙරට නීති පද්ධතිය සහ පරිපාලන ක්‍රමය සැමියාගේ “අත්සනට” මුල් තැන දෙන බැවිනි. ආරක්ෂිත නිවාස (Safe houses), උපදේශන සේවා සහ කාන්තා කොමිෂන් සභාව වැනි ආයතන වඩාත් සක්‍රීය විය යුතු කාලය එළඹ ඇත.
ශ්‍රී ලංකාව “රටක්” ලෙස විදේශිකයන්ට සහ වින්දිතයන්ට ආරක්ෂාව සපයන බවට ලබා දෙන සහතිකය, මෙවැනි අධිකරණ තීන්දුවලින් තොරව සැබෑවක් නොවනු ඇත. මහේෂ්වරී දිනුවේ ඇගේ වීසා බලපත්‍රය පමණක් නොවේ; ඇය දිනුවේ තමන් දශක දෙකක් තිස්සේ ආදරය කළ රටේ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතියයි.
