නිකොලොස් මදුරෝ පැහැරගැනීම සැලසුම් කළ නාට්‍යක් ද ? පැහැරගත්තේ ට්‍රම්ප්ගේ විළි වසාගන්න ද ? – සුසන්ත ආරියරත්න ලියයි.

ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන ගියේ ඇයි?

අප බොහෝ විට කියවන්නේ වෙනිසියුලාවේ තෙල් ආකාර වලට ඇති කෑදරකම නිසා ට්‍රම්ප් මේ පියවර ගත් බවයි.

එහෙත් ඇතැම් ඇමෙරිකානුවන්, සමාජ මාධ්‍ය වල කොටමින් කියන්නේ මේ නාටකයක් කියාය. මේ දිනවල සම්පූර්ණයෙන්ම මාධ්‍ය අවධානය ලබා ඇති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ ජෙෆ්‍රි එප්ස්ටීන් මිත්‍රත්වය පිළිබඳ කතාව වහන්නට ට්‍රම්ප් විසින් සැලසුම් කල නාටකයක් කියාය.

කවුද මේ ජෙෆ්‍රි එප්ස්ටීන්? මොකක්ද ට්‍රම්ප්ට වහන්න අවශ්‍ය ??

ජෙෆ්‍රි එප්ස්ටීන් (1953 – 2019) ඇමරිකානු මූල්‍ය වෙළඳ පලේ හිටපු දැවැන්තයෙක්. විශාල ධනයක් සහ වත්කම් රාශියකට හිමිකම් කිවූ ධනවතෙක්. ඔහුගේ නම වඩා ප්‍රකට වුනේ බාල වයස්කාර දැරිවියන් රාශියක් එකතු කර ගනිමින් ඔහු පවත්වා ගෙන ගිය ලිංගික ජාවාරම් ජාලය නිසා. ඒ වගේම ඔහුගේ නිත්‍ය ඇසුරේ සිටි දේශපාලනඥයන්, ධන කුවේරයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයින් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් නිසා. බ්‍රිතාන්‍ය රජ පවුලේ උදවිය පවා ඔහුගේ සම්භාෂන වලට සහභාගි වී තිබුනා.

ජෙෆ්‍රි එප්ස්ටීන්

ෆ්ලොරිඩාවේ ධන කුවේරයන් වෙසෙන පාම් බීච් දූපතේ එප්ස්ටීන්ගේ නිවසට නිතිපතා ගැටවර සහ බාල වයස්කාර දැරිවියන් යන එන බව, ගෙන්නන බව පොලිස් නිරීක්ෂණයට අසුවුනේ වර්ෂ 2000දී පමණ සිට. නමුත් එප්ස්ටීන්ට තිබි බලගතු සම්බන්ධතා නිසා ඔහුට නඩු පැවරීම පමාවුනා. අවසානයෙදි වින්දිතයින් රාශියක් එකතු කර ගෙන, 2008දි, බාල දැරියන් අපහරණය සහ ඔවුන් ගණිකා වෘත්තියට යොමුකිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පැවරුවත්, එතනදි වුනේ පුදුම දෙයක් (ඔව්! ඇමරිකාවෙ වුනත් එහෙමයි).

පාම් බීච් නඩුවට එප්ස්ටීන් එන්නෙ රටේ කීර්තිමත්ම නීතීඥයො රොත්තක් එක්ක. නඩුව ආරම්භයෙදිම ඒ නීතීඥයන් අධිකරණයට දන්වනවා එප්ස්ටීන් වරද පිළිගන්නා බව. වරද පිළිගත් හෙයින් ඔහුට ලැබෙන්නේ හිතාගන්න බැරි තරම් ලිහිල් කොන්දේසි සහිත හිර දඬුවමක්. ජීවිත කාලයකට හිරේ යා යුතු වූ වරදකට, ඔහුට හිමිවන්නෙ මාස දහ අටක හිර දඬුවමක්. ඒකත් පාම් බීච්වල සියළු පහසුකම් පිරි මැදිරියක. ඊටත් වඩා පුදුම කාරණය සතියේ දින හයක් ඔහුගේ වෘත්තීය අවශ්‍යතා සඳහා දිනකට පැය දොළහක් හිර මැදිරියෙන් එළියට යන්නට ඔහුට අවසරය ලැබෙනවා. උදේ අටේ සිට රෑ අට දක්වා. ඔහුට විරුද්ධව සාක්කි දෙන්නට පොලීසිය එකතු කර ගත් ගැහැණු ළමයින්ට, උසාවියේ වචනයක්වත් කතා නොකර හිස් අතින් ගෙදර යන්න වෙනවා.

පොලිසිය නිරීක්ෂණය කරන්නෙ එළියට යන පැය දොළහෙදි, ඔහු නැවතත් බාල දැරිවියන් දඩයම කරගෙන ගිය බවයි. ඔහු හිරගත වෙන්නෙ මාස දහ අටකට වුනත්, මාස දහ තුනකදි ඔහුට නිදහස ලැබෙනවා.

Case closed. නෑ, එහෙම නෙවෙයි. මියාමි හෙරල්ඩ් පත්තරය එප්ස්ටීන්ගේ ක්‍රියා කලාපය ගැන නිතිපතා පළ කල විමර්ශනාත්මක් ලිපි හේතුවෙන් නැවතත් 2019 ජූලි මාසයෙදි නිව්යෝර්ක් උසාවියේදි එප්ස්ටීන්ට නඩු පැවරෙනවා. මෙවර ඔහුට ගොනු කෙරුනු චෝදනාව වුනේ බාල වයස්කාර දැරිවියන් සමූහයක් ඇතුලත් ලිංගික ක්‍රියකාරකම් ජාලයක් පවත්වා ගෙන යාමයි. ඇප නොමැතිව හිර ගතවෙන ඔහු 2019 අගෝස්තු මාසයේදී ගෙල වැළලාගෙන මියයනවා. (බොහෝ දෙනෙක් ඔහු දිවි නසාගත් පුවත ගැන සැක පහළ කරනවා). කොහොම වුනත් මෙවරත් ඔහුගේ නඩුව ඇසෙන්නෙ නෑ. ඔහුගේ වින්දිතයින් නැවතත් හිස් අතින් ගෙදර යනවා.

එතකොට ට්‍රම්ප් කොහොමද ගෑවෙන්නෙ. එප්ස්ටීන් සහ ට්‍රම්ප් එක කාලෙක බෙස්ට් බඩීස්ලා. වාර්තාවන්ට අනුව 1980ගණන් සිට 2004 දක්වා කාලය තුළ දෙන්නා ගජ මිතුරන්. දෙන්නාගෙ පෞද්ගලික සහ වෘත්තීමය සම්බන්ධතා ඉහළින්ම තිබිලා තියනවා. ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි Mar-a-Lago නිවස්නයට එප්ස්ටීන් නිතර ආ ගිය බවටත්, එප්ස්ටීන්ගේ පාම් බීච් නිවසට ට්‍රම්ප් ආ ගිය බවටත් සාධක තියෙනවා. ට්‍රම්ප් එප්ස්ටීන් සමග තනිවමත්, තවත් මිතුරන් සමගත්, පවුල් දෙකේ උදවිය සමගත් එප්ස්ටීන්ගේ පෞද්ගලික ජෙට් යානයේ ගමන්ගත් බවටත් සාක්ෂි තියෙනවා. හැබැයි, දෙන්නගේ මිත්‍රත්වය 2004 – 2005 අතර කාලයේදී, දේපළ ආරවුලක් උඩ නැවතී තියෙනවා.

ඩොනල්ඩ් ට්‍ර්ම්ප් සහ ජෙෆ්‍රි එප්ස්ටීන්

කොහොම වුනත් එප්ස්ටීනට එල්ලවුනු ලිංගික චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් ගෑවුන බවට සාක්කි නැහැ.

ඇමරිකානු නීතිය අනුව නඩුවක් ඇවෑමෙන් අවුරුදු පහකට පසුව ඒ නඩුව සම්බන්ධ සියළු වාර්තා, කිසිවෙකු ඉල්ලා සිටියහොත්, සමාජගත කල හැකියි. 2025 නොවැම්බරයේදී ඇමරිකානු කොංග්‍රසය විනිවිද භාවය පිළිබඳ පනත (Transparency Act) යටතේ එප්ස්ටීන් නඩුවට අදාළ සියළු තොරතුරු සමාජගත කරන්නට අවසර දුන්නා.

මේ නිසා පහුගිය දිනවල වැඩිපුරම මාධ්‍ය අවධානය යොමුවුනේ එප්ස්ටීන්/ට්‍රම්ප් මිත්‍රත්වය පිළිබඳ කතාබහට. මදුරෝ පැහැර ගැනීම මේ අවධානය වෙනත් පැත්තකට හරවන්නට කල උත්සාහයක් ලෙස ඇතැම් ඇමරිකානුවන් සමාජ මාධ්‍ය වල කියන්නෙ ඒකයි.

උපුටා ගැනීම – Susantha Ariyaratne ෆේස්බුක් ගිණුමෙනි

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading