කාන්තා දේශපාලඥයන් වෙනුවෙන් ස්ත්‍රීවාදී පෙරමුණක් ! – අමාලි වෙදගෙදර

අගමැතිනි හරිනි අමරසුරියට විරුද්ධව, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර, නියෝජ්‍ය ඇමති කෞශල්‍යා ආරියරත්න, කොළඹ පුරපති රායි බැල්තසාර් … ආදී වත්මන් ශ්‍රී ලංකා දේශපාලනයේ ක්‍රියාකාරී දේශපාලන කාන්තාවන්ට විරුද්ධව, ඔවුන්ගේ චරිත ඝාතන කරමින්, නොයෙක් ආකාරවලින් හිංසන කරමින් සිදුකෙරෙන කටයුතු ශ්‍රී ලංකාවේ පිරිමින් කොතරම් හීනමානයකින් සහ අනාරක්ෂිතව ජීවත් වෙනවාද කියන එක පෙන්වනවා. ශක්තිමත් කාන්තා චරිත නොරුස්සන මොවුන්ගේ හිස් බව නිරුපණය වන්නේ ස්ත්‍රී විරෝධී මඩ ප්‍රචාර තුලින්. අන්තවාදීයැයි සැලකෙන පිරිමින් වගේම ලිබරල් පිරිමිත් තමන්ගේ හිස් බව හොදින් පෙන්වා ගත්තා වත්මන් ආණ්ඩුවේ කාන්තා නායිකාවන්ට එරෙහිව ස්ත්‍රී විරෝධී කතා ගොතමින්.

ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙස අපි නොයෙක් දෙනා නොයෙක් විට මේ හිංසකයින්ට එරෙහිව විවිධ මත ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක ඉස්සරහටත් එහෙමම වේවී. ඒක විය යුතු දෙයක්.

ඒ වගේම හුදු හිංසනීය සිද්ධි වලදී ඒ හිංසා වලට ලක්වෙන කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවා වගේම, මේ කාන්තා නායිකාවන් දේශපාලනිකව රැකගැනීමට හිංසනයට එරෙහි විරෝධතාවලින් ඔබ්බට ගිය ස්ත්‍රීවාදී පෙරමුණක් අවශ්‍යය බවයි මම හිතන්නේ. මේ ස්ත්‍රීවාදී පෙරමුණ ස්ත්‍රීවාදී යුක්තිය පිලිබඳ සංකල්පය කේන්ද්‍රකරගත් එකක් වෙන්නට පුළුවන්.

හරිනි අමරසුරිය, ලක්මාලි හේමචන්ද, රායි බැල්තසාර්, කෞශල්‍යා ආරියරත්න ආදී අය අපි ඉතා කිට්ටුවෙන් වැඩ කල දේශපාලන සඟයින්. නිදහස් අධ්‍යාපනය, ආර්ථික යුක්තිය, කම්කරු අයිතීන්, රාජ්‍ය මර්ධනයට, ජාතිවාදයට, අන්තාවදයට එරෙහිවීම, මානව හිමිකම් ආදී අරගල අපි එක්සත් කල සටන් පෙරමුණු. හරිනි හුදු අගමැති කෙනෙක් වෙනවාට වඩා, ලක්මාලි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට වඩා අපිට වටින්නේ ඔවුන් හා අප අතර තිබෙන දේශපාලන බැඳීම. අවබෝධය. ඒක ඔවුන් කාන්තාවන් වන නිසා කාන්තාවන් වන අපි හා තිබෙන බැඳීමට එහා ගිය එකක්. මට හිතෙන්නේ හරිනි අගමැති වීමත්, ලක්මාලි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීමෙත්, කෞශල්‍යා ඇමති කෙනෙක් වීමෙත්, රායි පුරපති වීම අපිට වැදගත් වන්නේ යුක්තිය සහ අයිතිවාසිකම් පිලිබඳ අපි හා සම මතවල සිටින, ඒ අරගල සඳහා කැපවුණු කාන්තා නායිකාවන්ට දේශපාලන බලය ලැබීමයි. මේ කාන්තා නායිකාවන්ට අපගේ අරගලවල අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා දේශපාලන බලය ක්‍රියාවේ යොදවන්නට අවස්තාව ලැබීමයි අපිට වැදගත්.

අපගේ මේ කාන්තා නායිකාවන් අද දේශපාලන බලය ක්‍රියාවේ යොදවන්නේ ස්ත්‍රී විරෝධී සමාජයක පමණක් නොවේ. ඔවුන් විශ්වාස නොකරන දේශපාලන, ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවේ යොදවන්න බලකෙරෙන අන්තර්ජාතික මුල්‍ය අධිකාරියේ බලයට නතු රාජ්‍යය යාන්ත්‍රණයක් තුලයි. අගමැති පෙනී සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැනි ලෝක බැංකුව දක්කන ප්‍රතිසංස්කරන වලින් පෙන්වන්නේ හුදු ස්ත්‍රී විරෝධීන්ට එරෙහිව පෙනී සිටි පමණින් අපගේ දේශපාලන නායිකාවන් රැකෙන්නේ නැති බවයි. ඒ සදහා පැහැදිලි නවලිබරල්වාදයට එරෙහි ස්ත්‍රීවාදී පෙරමුණක් අවශ්‍යයි. තමන් සිටින දේශපාලන පක්ෂවල සීමාකම් නිසා හෝ ආණ්ඩුව IMF-ලෝක බැංකුව-ADB හෝ දේශීය ව්‍යාපාරික පැලැන්තිය හෝ ඉන්දියාව, චීනය, ඇමරිකාව සමඟ ඇති ඇයි හොදයිය නිසා අපගේ කාන්තා නායිකාවන්ගේ දේශපාලන භූමිකාව අභියෝගයට ලක්වෙනවා නම් ඒවාටත් විරුද්ධව පෙනී සිටීම අපගේ යුතුකම.

කාන්තාවන් දේශපාලනයේදී සංකේතමය වශයෙන් අවභාවිතා වෙනවා. ඔවුන්ගේ ප්‍රතිරුප විවිධ දේශපාලන අවශ්‍යයතා වෙනුවෙන් පාවිච්චි වෙනවා. අපගේ කාන්තා නයිකාවනුත් මේ අවභාවිතාවන්වල ගොදුරු වෙලා තිබෙනවා. ප්‍රගතිශීලි පිරිමින් සිටියදී කාන්තාවන් ස්ත්‍රීවාදී-නාසීන් (අන්තාවාදී ස්ත්‍රීවාදීන්) ලෙස අරුත් ගැන්වෙන්නේ ඒ නිසයි. ඒවාට එරෙහිවත් සිට ගැනීම අපගේ යුතුකම. අපගේ පොදු ස්ත්‍රීවාදී සහයෝගීතාවය යොමු විය යුත්තේ එලෙසයි.

අපගේ කාන්තා නායිකාවන් රැක ගත හැක්කේ ඔවුන් පෙනී සිටි/සිටින දේශපාලනය රැකගැනීමෙන් පමණයි. මේ කාන්තා නායිකාවන්ගේ දේශපාලන අනන්‍යතාවය සුරැකී ශක්තිමත් වන්නේ අපගේ අරගල ජයග්‍රහණය කිරීම තුලයි. ඒ අරගල පරාජය වුවහොත්, අපගේ කාන්තා නයිකාවනුත් දේශපාලනිකව දුර්වල වී, දේශපාලනික පිළිගැනීමක් නැති අය බවට පත්වෙන එක වලක්වන්න බැහැ.

එසේ නොමැතිව ගැහැනුන් එක මිටට හිංසකයින්ට විරුද්ධව සැරෙන් සැරේ හිට ගැනීමෙන් එතරම් පලක් තිබේ යැයි මම විශ්වාස කරන්නේ නැහැ.

හිංසාව මුල්බැස ඇති ධනපති ක්‍රමයට විරුද්ධ ස්ත්‍රීවාදී කඳවුරක් හරිනි, ලක්මාලි, කෞශල්‍යා, රායි … වෙනුවෙන් අවශ්‍යයි.

උපුටාගැනීම – Amali Wedagedara ෆේස්බුක් ගිණුමෙනි

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading