ඉලංචේලියන් සහ ලෆාර්! විනිසුරු පත්කිරීම්වලදී අනුරව ඇන්දුවාද? අනුරගේ විනිසුරු පත්කිරීම්වල නොකී කතාව!

ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු ගෙවුණු අවුරුද්දක පමණ කාලය ඉහළ අධිකරණවල පත් කිරීම් ගණනාවක් සිදු කළ කාලයක් විය. අභියාචනාධිකරණ සභාපති දෙවතාවක්ද, අගවිනිසුරු ධුරය දෙවතාවක්ද පිරවීමට ඔහුට සිදු විය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයෙක්ට බරපතල චෝදනාවකට ලක් වන්නට සිදු වූ අතර එයින් ඇති වූ තත්වයට මුහුණදීමටත් සිදු විය.

මතක තබාගත යුත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා සම්පූර්ණ කළ ධුර කාලය පුරාවට අගවිනිසුරු වූයේ ජයන්ත ජයසූරිය මහතාය. එවැනි පසුබිමක මාස කීපයක් තුළ අගවිනිසුරුවරුන් දෙදෙනෙක් පත් කිරීම සුවිශේෂී තත්වයකි. ජනාධිපතිවරයාට ඉහළ අධිකරණ දෙකේම හැඩය තමන්ට ඕනෑ විදියට සකසන්නට පූර්ණ අවස්ථාව තිබුණි.

එවැනි පසුබිමක සමහර විනිසුරුවරුන්ව හලා දැමීමත් ජනාධිපතිවරයාගේ ඍජු තීන්දු ලෙස සැලකීමට සිදු වේ.

2024 සැප්තැම්බර් සිට 2025 ජූලි දක්වා කාලය තුළ, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ස්ථිර විනිසුරුවරුන් 14 දෙනෙකු පත් කිරීමට සිදු විය.

එහෙත්, ඒ කාල සීමාව තුළ වැඩිපුරම කතාබහට සිදුවීම් දෙක වූයේ නිසි අවස්ථාවේදී උසස්වීම් ලබා නොදී විනිසුරු ඉලංචේලියන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත්, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් අභියාචනාධිකරණයේ සභාපති ලෙසත් විශ්‍රාම ගැනීමට සැලැස්වීමයි. යම් විනිසුරුවරයෙකු විශ්‍රාම යන වයස පසු වනතුරු ඊට ඉහළ අධිකරනයට පත් නොකරන්නේ නම් එය සැලකිය හැක්කේ එම විනිසුරු විශ්‍රාම ගන්නාතුරු සිතාමතා උසස්වීම් ලබා නොදීමක් ලෙසය.  

විශේෂයෙන්ම විනිසුරු ඉලංචේලියන්ට මෙම ඉරණම අත්පත් කර දීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ඇයිදැයි බොහෝ දෙනෙකු දැන් විමසයි. එයට පදනම් වූයේ එම විශ්‍රාමික විනිසුරුවරයාම දෙමළ භාෂාවෙන් කළ අදහස් දැක්වීමකි.

ජ්‍යෙෂ්ඨත්වය අහිමි වූ විනිසුරුවරයාගේ කතාව

තම විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් විනිසුරු ඉලන්චෙලියන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලින් එක් පැත්තකින් පෙනෙන්නේ අධිකරණය හැඩගැස්වීම සදහා විධායකයට ඇති බලයයි. අධිකරණ ස්වාධීනත්වය ගැන කෙසේ කිවත් උසස්වීම් හරහා විධායකයට ඇති බලය පාවිච්චි කිරීමේ හැකියාව මෙන්ම අවභාවිත කිරීමේ හැකියාවත් ඇත.

විනිසුරු ඉලංචේලියන් සඳහන් කරන අන්දමට, එලෙස සිදු නොවුනානම් අභියාචනාධිකරණයේ වසර දෙකක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ වසර දෙකක් ලෙස තවත් වසර හතරක් අධිකරණ සේවයේ රැඳී සිටීමට තමන්ට අවස්ථාව තිබූ බවයි.

විද්‍යා ඝාතන නඩුව සමයේ තමා වෙනුවෙන් දිවි පිදූ ආරක්ෂක නිලධාරියාගේ පවුලට ගරු කරන විනිසුරු ඉලංචේලියන්

එයට පදනම වන්නේ, මහාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 61 දි විශ්‍රාම ගත යුතු වීමයි. අභියාචනාධිකරණයේ විශ්‍රාම වයස අවුරුදු 63ක් වන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ වයස අවුරුදු 65 දක්වා සේවය කළ හැක.

නව ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස තමන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කළ බව ඉලන්චෙලියන් මහතා පැවසීය. එම ලිපියට ගරු කරමින්, ජනාධිපතිවරයා 2024 නොවැම්බර් 28 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවීමට ආරාධනා කළ අතර, විනිසුරුවරුන් දස දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම හමුවට සහභාගී වූ බවත්, එම පිරිසේ සිටි එකම දෙමළ ජාතිකයා තමන් බවත් ඔහු එහිදී කියා සිටියේය

ඔහු සමඟ පැමිණි අනෙකුත් සිංහල විනිසුරුවරුන් විසින්, තමන්ගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් තමා කතා නොකළ යුතු බවට දැනුම් දී, ඔවුන්ම ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බව ඉලන්චෙලියන් මහතා සඳහන් කළේය.

ඔහුගේ ගැටලුව කේන්ද්‍රගත වූයේ නිශ්චිත කාල වකවානුවක් තුළ සිදු විය යුතු උසස්වීමක් සම්බන්ධයෙනි. “2025 ජනවාරි මස 21 වැනිදාට මට අවුරුදු 61ක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණා. එම කාලය වන විට විනිසුරුවරුන් 90 දෙනෙකු විශ්‍රාම ගැනීමට නියමිතව සිටියා. එහි පළමුවැන්නා ලෙස මම (ඉලන්චෙලියන්) සිටියා. අධිකරණ නිවාඩු, නත්තල් නිවාඩු සහ අලුත් අවුරුදු නිවාඩු ආසන්න වූ බැවින්, පත්වීම කඩිනමින් සිදු කරන ලෙසට ජනාධිපතිවරයාට සිහිපත් කළා.”

ආරක්ෂක නිලධාරියාගේ සුසානයට ගරු කරමින්

ජනාධිපතිවරයා තමන් සමඟ සිටගෙන ඡායාරූප පවා ගත් බවත්, එම පින්තූර තවමත් තමන් සතුව ඇති බවත් විනිසුරු ඉලන්චෙලියන් මහතා ප්‍රකාශ කළේය.

උසස්වීම් කඩඉම සහ තීරණාත්මක කාලරාමුව

විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ සිද්ධියේ තීරණාත්මක කඩඉම වන්නේ 2025 ජනවාරි මාසයයි. 2025 ජනවාරි 12 වැනිදා අභියාචනාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්වීම් ලැබීමෙන් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් ඇති වූ බවට ඉලන්චෙලියන් මහතා සඳහන් කළේය.

ඒ අනුව, 2025 ජනවාරි 12 වන දින, හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්. එම්. එස්. රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන් සිව් දෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දෙන ලදී. මෙම එක්වර උසස්වීම් හතර හේතුවෙන් අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතරක් වහාම නිර්මාණය විය.  

ඉලන්චෙලියන් මහතා කියා සිටියේ, මහාධිකරණ විනිසුරුවරුන්ගේ ලැයිස්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පළමු ස්ථානයේ සිටියේ තමන් බවත්, වයස අවුරුදු 61 සම්පූර්ණ වීමට පෙර එම උසස්වීම් ලැබිය යුතු බවත්, එනම් 2025 ජනවාරි 20 වැනිදා තමන් විශ්‍රාම යාමට නියමිතව තිබුණූ බවත්ය. අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු විශ්‍රාම ලබන අනිවාර්ය වයස අවුරුදු 63 වන නිසා, මෙම උසස්වීම ලබා ගත්තේ නම් ඔහුට තවත් වසර 2 ක් සේවය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.  

“මගේ නරක වෙලාවට, ජනවාරි 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ සංචාරයකට ගියා. එතුමා 18 වැනි සෙනසුරාදා ලංකාවට පැමිණියා. 20 වැනිදා මම අධිකරණයෙන් විශ්‍රාමිකව පිටත් වුණා,” යනුවෙන් ඉලන්චෙලියන් මහතා පවසා සිටියේය.

මෙම කෙටි කාල පරාසය තුළ, එනම් ජනවාරි 12 වන දින පුරප්පාඩු ඇති වී, ජනවාරි 20 වන දින තමා විශ්‍රාම යාමට නියමිතව තිබූ තත්ත්වය යටතේ, ජනාධිපතිවරයාගේ විදේශගත වීම සහ පසුව පැමිණීම ජනවාරි 13 සිට 18 දක්වා පත්වීම් ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට තිබූ තීරණාත්මක කාලරාමුව අඩාල කළ බව ඔහුගේ අදහසයි.

කෙසේ නමුත්, ඊට දින තුනකට පෙර එනම් ජනවාරි 09 වැනිදා අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් පිරවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. එම අවස්ථාවේ ඉලංචේලියන් විනිසුරුවරයාගේ විශ්‍රාම වයස ගැන ජනාධිපතිවරයා පැහැදිලිව දැන සිටියේය. එනම්, ඔහුට ඉතා පැහැදිලි සිංහලෙන් විනිසුරුවරුන් විස්තරය කියා තිබුණි. ඒ දැන දැනම ජනවාරි 09 වැනිදා ඉලංචේලියන් විනිසුරුවරයා පත් නොකළ ජනාධිපතිවරයා චීනයට ගියේ මේ තත්වය ගැන අනවබෝධයෙන් යැයි සිතීම ඔහුටම කරන අගෞරවයකි. ඒ අනුව ජනාධිපතිවරයා ඉලංචේලියන් විනිසුරුවරයාට විශ්‍රාම යෑමට ඉඩ හැර ඇතැයි කිව හැක.

පත් කිරීම් මාලාවක්

විනිසුරු ඉලන්චෙලියන් මහතා මුහුණ දුන් මෙම තත්ත්වය, ජනාධිපති දිසානායක මහතාගේ සමස්ත අධිකරණ ප්‍රතිව්‍යුහගත කිරීම් ක්‍රියාවලිය හා සැසඳීමේදී විශේෂයෙන් කැපී පෙනේ.

ජනාධිපතිවරයා බලයට පත් වූ පසු 2024 ඔක්තෝබර් 10 වන දින වැඩබලන අගවිනිසුරු ලෙස පත් වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය , 2024 දෙසැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවේ 48 වැනි ස්ථිර අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ඒ අතරවාරයේම ඓතිහාසික තීන්දුවක් ලැබුණි. ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වූ නිශ්ශංක බන්දුල කරුණාරත්න සැකයට සහ චෝදනාවට එල්ල වූ විනිසුරුවරයෙකු බවට තහවුරු කරමින් එවකට ‍ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ ප්‍රීති පද්මන් සුරසේන ලබා දුන් තීන්දුවයි. ඒ මත පදනම්ව අප විසින් නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉල්ලා අස් විය යුතු බවට සමාජ සංවාදයක් ඇති කරන ලදී. 

ජනාධිපතිවරයා පත් වෙද්දීම අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු රැසක් පැවතුණි. එයට ප්‍රධාන හේතුවක් වූයේ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමග ඇති කරගෙන තිබුණු ගැටුමයි. ඒ ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ඉහළ අධිකරණවල පුරප්පාඩු පැවතුණි. පෙර කී බන්දුල කරුණාරත්න පිළිබද තීන්දුව ලැබුණේත් ඒ ගැටුම අතරවාරයේය.

ජනාධිපතිවරයා ශ්‍රෙෂ්ඨාධිකරණයේ ඇති වූ පුරප්පාඩු හතරක් පිරවූයේ ජනවාරි 12 වැනිදාය. ඒ පුරප්පාඩු හතරම පිරවූයේ අභියාචනාධිකරණයෙනි. අප එය ගැන කලින් සදහන් කර ඇත. එහෙත් එහි විශේෂත්වයක් වූයේ එවකට සිටි ජ්‍යෙෂ්ඨම විනිසුරුවරයෙකු වූ මොහොමඩ් ලෆාර්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් නොකිරීමට තීන්දු කිරිමයි. ඔහු මාස කීපයක් ඇතුළත වයස අවුරුදු 63 සම්පූර්ණ වීමට නියමිතව සිටියේය.

ස්ථිර අගවිනිසුරුවරිය ලෙස ජනාධිපතිවරයා විසින් මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කරන ලදී. එයින් පසු 2025 ජූලි 27 වන දින පද්මන් සුරසේන මහතා ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කරන ලදී.  

ජනවාරි 9 වන දින සරත් දිසානායක සහ රෝහිත ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරුවරුන් දෙදෙනා අභියාචනාධිකරණයට පත් කරන ලදී.

එහෙත් මේ සියල්ල අතරවාරයේ නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝගයක් අත්සන් කරමින් පැවතුණි. එම දෝෂාභියෝගය නවත්වාගැනීම සදහා ඔහු ජනාධිපතිවරයාව මුණගැසුණු බව ජනාධිපතිවරයාම ප්‍රසිද්ධියේ කීය. දෝෂාභියෝගය ලාච්චුවේ තබාගැනීමට ජනාධිපතිවරයා එකග විය. ඒ නිශ්ශංක බන්දුල කරුණාරත්න පඩි ලබමින් විශ්‍රාම පූර්ව නිවාඩු යෑමේ එකගතාව මතය. (මුලින් ඉල්ලා ඉස්වීමට එකග වී පසුව එය වෙනස් විය.) එහෙත් මෙලෙස දෝෂාභියෝගය අකුලා චෝදනා සහිත විනිසුරුවරයෙකු සමග පුද්ගලික එකගතාවකට හෙවත් ඩීල් එකකට යෑම ජනාධිපතිවරයා සිදුකළ, විනිසුරු පත්කිරීම්වලට නොගැලපෙන වැරදි සහගත ක්‍රියාවක් යැයි කිව හැක.

කෙසේ නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණයට නොයැවූ විනිසුරු එම්. ටී. මොහොමඩ් ලෆාර් මහතා 2025 පෙබරවාරි 2 වන දින වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.  

ජනවාරි මාසයේ ඇති වූ ඉතිරි පුරප්පාඩු අතරින් තුනක් පිරවීම සඳහා, ඩබ්ලිව්. කේ. එස්. යූ. ප්‍රේමචන්ද්‍ර, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. ප්‍රේමශංකර් යන මහත්වරුන් 2025 මාර්තු 11 වන දින අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දෙන ලදී.  ඒ වෙද්දී ඉලංචේලියන් මහතා විශ්‍රාම ගොස් හමාරය. එහෙත්, ඉහළ අධිකරණවලට පත් කිරීම් සිදුකරන විට නීතිඥවරුන්ව පත් කිරිමේ හැකියාව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉලංචේලියන් මහතාගේ නම යැවීමේ හැකියාව එවරද තිබුණි.

එයින් පසු ජූනි 19 වන දින එතෙක් නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි රෝහන්ත අබේසූරිය මහතා අභියාචනාධිකරණයේ 52 වැනි සභාපතිවරයා ලෙස පත් විය. එම උත්සවයේදීම දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන විනිසුරුවරුන් දෙදෙනා ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දෙන ලදී.  ඒ අනුව අභියාචනාධිකරණයේ පුරප්පාඩු තුනක් එම අවස්ථාවේදී සම්පූර්ණ විය.

ඒ සියල්ල මැද ඉලංචේලියන් අධිකරණ සේවයෙන් නොකියාම විශ්‍රාම යැවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. එය ජනාධිපතිවරයාගේම තීන්දුවක්ද? නැත්නම් බලපෑමට සිදු වූවක්ද?

ඔහු අධිකරණයෙන් විශ්‍රාම ගිය පසු ලිපි හතරක් යොමු කළ බවත්, එම ලිපිවලට පිළිතුරු නොලැබුණු බවත් විනිසුරු ඉලන්චෙලියන් මහතා අවධාරණය කළේය. “මගේ කැමැත්තෙන් විශ්‍රාම ගත්තේ නැහැ. බලෙන් විශ්‍රාම ගැන්වීමට සැලැස්වුවා කියලා ලිපි හතරකටම පිළිතුරු ලැබුණේ නැහැ. වරද කොහෙද වුණේ? ඇයි විසඳුවේ නැත්තේ?” යනුවෙන් ප්‍රශ්න කරන ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ, තමන් නීතියට අනුව ලැබිය යුතු අයිතිවාසිකම පමණක් ඉල්ලූ බවත්, එය ප්‍රතික්ෂේප වූ බවත්ය.

මෙම තත්වයට ආසන්න තත්වයක් විනිසුරු ලෆාර් මහතාටද සිදු විය. ඔහු අභියාචනාධිකරණයෙන් විශ්‍රාම යෑමට නියමිත වූයේ ජුනි මාසයේය. ඔහුගේ නම ඇත්තෙන්ම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යවා තිබුණි. එහෙත් චෝදනාව වූයේ ඔහුව පත් කිරිමට ඒ වෙද්දී ප්‍රමාද වැඩි වූවා යන්නය. එනම්, ඔහුගේ නම යවා තිබුණේ ඔහුගේ විශ්‍රාම ගැනීමේ දිනයෙන් පසු දිනයක ඇති වන පුරප්පාඩුවක් වෙනුවෙන් බවය. ඒ ගැන සමාජ සංවාදයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා යැවූ නම සභානායක බිමල් රත්නායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා අස් කරගෙන තිබුණි. විනිසුරු ලෆාර්ගේ නම නැවත සලකා බැලීමකට ලක් වූයේ නැත.

මේ පත් කිරීම්වලදී ජනාධිපතිවරයා ආසන්නයේ සිට බලපෑම් කරන පිරිසක් සිටිනවාය යන්න විශාල සාකච්ඡාවකට ලක් විය. කොටින්ම කිවහොත් ලෆාර් මහතාගේ නම යැවූ පසු එය නැවත හැරවීමටත් බලපෑමක් එල්ල වුණේය යන්න සාකච්ඡාවට ලක් වූ කාරණයකි.

ඉලංචේලියන් මහතා දකුණේ මෙන්ම උතුරේ කීර්තියට පත් මහාධිකරණ විනිසුරුවරයෙකි. මානවවාදී ගති ලක්ෂණ ඇති කෙනෙක් ලෙසත් ප්‍රකට කෙනෙකි. ජනතාව එවැනි විනිසුරුවරුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ රෙඑතිහාසික අභියාචනාධිකරණ තීන්දු මෙන්ම- ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු මූලික අයිතිවාසිකම් නඩු වැනි අවස්ථාවලදී ඓතිහාසික තීන්දු ලැබේයැයි බලාපොරොත්තුවෙනි.

එවැනි විනිසුරුවරුන්ව විශ්‍රාම යැවීමට තීන්දු කළේ ඇයි? කාගේ බලපෑමෙන්ද? ජනාධිපතිවරයා කිව යුතුය. අනෙක් අතට දැනටමත් ප්‍රමාද නැත. මේ සියල්ලන් තවමත් මේ රටේ නීතිඥවරුන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාට ඔවුන්ගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර යැවිය හැක. ඔවුන්ව පත් කරන්නට ව්‍යවස්ථාවෙන් බාධාවක් නැත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading