කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේත් CCTV දර්ශන පටිගත වී නෑ…

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සිදුවූ නිවසේ මෙන්ම පදිංචිව සිටි නිවසේ ද CCTV දර්ශන පටිගත වී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මීට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් පොලීසිය මේ බව සඳහන් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද, බාහිර CCTV දර්ශන පරීක්ෂාවේදී 2026 මැයි මස 05 වනදා සහ මැයි මස 07 වනදා අතර කාලසීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයකු එම නිවසට ඇතුළු වී නොමැති බවයි.

කෙසේ වෙතත්, මරණකරු පදිංචි වී සිටි නිවසේද සී.සී.ටී.වී යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම සී.සී.ටී.වී යන්ත්‍ර වලද දර්ශන පටිගත වී නොමැති බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් අදාළ සී.සී.ටී.වී කැමරා සවිකළ සමාගමේ ඉංජිනේරුවරයා අද දින සාක්ෂියට කැඳවා ඇති බවත්, කැමරා පද්ධතිවලට අදාළ ඩී.වී.ආර් (DVR) යන්ත්‍ර පොලිස් භාරයට ගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර දෙන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මීට අමතරව, මරණය සිදුවූ ස්ථානයේ තිබී හඳුනා නොගත් ඖෂධ පෙති වර්ග දෙකක් (එක් වර්ගයකින් පෙති 09ක් සහ අනෙක් වර්ගයෙන් පෙති 11ක්) සොයාගෙන ඇති අතර, ඒවා ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසා තිබේ.

මරණකරු සහ නිවසේ සේවක සේවිකාවන් අතර සිදු වූ දුරකථන ඇමතුම් වාර්තා ලබා ගැනීමට මීට පෙර නියෝග ලැබුණ ද, කාලය මදිවීම නිසා ඒවා ලබා ගැනීමට නොහැකි වූ බැවින් ඒ සඳහා නැවත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන බව ද පොලීසිය සඳහන් කර තිබේ.

මෙම සාක්ෂි විභාගයේදී මරණකරුට ඇප තැබූ පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබියදී ඔවුන් සාක්ෂියට නොකැඳවීමට හේතුව කුමක්දැයි මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පොලීසියෙන් ප්‍රශ්න ඇත. ඊට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයන්ගෙන් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ පළියට සාක්ෂි කැඳවීම මඟහැරිය නොහැකි බවත්, විමර්ශනයක් නිසි ලෙස ඉදිරියට ගෙන යාමට නම් මුලින්ම කළ යුත්තේ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම බවත් පෙන්වා දෙමින් මහෙස්ත්‍රාත්වරයා පොලීසියට දැඩිව කරුණු පැහැදිලි කර තිබේ.

එහිදී අදාළ ඇපකරුවන් දෙදෙනා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලීසිය උසාවියට දැනුම් දුන් අතර, ඊට ප්‍රතිචාර දැක්වූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ඔවුන් රිමාන්ඩ් භාරයේ පසුවන්නේ නම් අධිකරණ නියෝගයක් ලබාගෙන ඉතා පහසුවෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසියට අවස්ථාව තිබූ බවයි.

අද දින සාක්ෂි කැඳවීම සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම අධිකරණයට කැඳවා තිබූ අතර, ඔවුන් සියලු දෙනාගෙන්ම අද දින සාක්ෂි විමසිය නොහැකි බැවින් අනවශ්‍ය පිරිස් මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විශේෂයෙන් සාක්ෂිකරුවන් අතර සිටින පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස රඳවා තබා ගැනීම සුදුසු නොවන බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා, මෙම මරණයට අදාළ සාක්ෂි විමසීම පසුව සිදු කරන බව ප්‍රකාශ කර තිබේ.

Author

Related Posts