නුවන් බෝපගේ
අඟුලාන පොලිසිය සැකකාරයකුට වෙඩි තැබීම නිසා ඔහු මිය ගිය සිද්ධියක් වර්තා උනා. වැලිකඩ පොලිසිය ඇතුළෙදිත් ඒ වගේම සිද්ධි දෙකක් සිද්ධ වුණා. ආයුධ හොයන්න එක්කන් ගිහින් විශාල පිරිසක් පොලිසියෙන් වෙඩි තියලා මැරුවා. එදිනෙදා භාවිතාවේ දී පොලිසිය ඕනෑතරම් කුඩු පැකට් කංසා සුරුට්ටු සාක්කුවලට දමා මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. අරගල සමයේදී සහ පශ්චාත් අරගල සමයේදී පොලිසිය මිනිස්සුන්ට පහර දීපු හැටි කඳුළු ගෑස් ගහපු කිසිවෙක්ට අමතක නෑ. කල් පැනපු කඳුළු ගෑස් වැදිලා අරගලකරුවෙකු මිය ගියා. ජාතික ජන බලවේගයෙ ආධාරකරුවෙකුත් ඒ වගේම සිද්ධියකින් මියගියා.
පොලිසිය කියන්නෙම රාජ්‍යයේ මර්දන යාන්ත්‍රණය කොටසක්. ඒ අතර පොලිස් කොස්තාපල් වරයෙකු නීතිඥවරයෙක්ට බැන වැදීමක් සහ පහර දීමක් සිදුවීම සමාජයේ විශාල අවධානට ලක් වෙලා. ඒත් එදිනෙදා ජීවිතයේදී පොලිසිය තුළ සහ අධිකරණ තුළ පොලිස් සාමාජිකයින් අතින් සාමාන්‍ය මිනිස්සුන්ට පීඩාවන් සහ කායික මානසික අවමන් සහගත ක්‍රියාවන් කොතෙක් තියෙනවද?. ඒවා ගැන අපේ සමාජයේ පීඩිත මිනිස්සු හඬ නගන්නේ නැති තරම්. බොහෝ විට සාමාන්‍ය මිනිස්සුන්ට පොලිසිය වැනි ආයතන මගින් සිදුවන බරපතල මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්නෙත් හඩනගගන්නෙත් වරප්‍රසාදිත පිරිස් හෝ නීතිඥ ප්‍රජාවම තමයි. කොහොම නමුත් ගල්කිස්ස අධිකරණයේ සිදු වූ සිද්ධියත් එක්ක පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් හඬ නගන පිරිස් අධ්‍යනය කළ විට ඔවුන් බහුතරයක් සාමාන්‍ය පන්තියේ පීඩාවට පත් වූ මිනිස්සු. ඔවුන්ට කොස්තාපල්වරයා තමුන්ගේ පන්තියේ පීඩාවට පත් වූ මිනිසෙකු ලෙස හැඟෙන බව පේනවා. අනිත් අතට පොදුවේ නීතිඥ ප්‍රජාවම දෝෂ දර්ශනයට ලක්කරන තත්ත්වයකුත් පේනවා. අවසාන විග්‍රහයේදී ඇත්ත ප්‍රශ්නය යට ගිය බවත් පේනවා.
යම් සංවාදය තුල ඇත්ත වශයෙන්ම සිදුවෙන්නට ඕනේ නීතිඥවරයෙකුට පමණක් නොව පොදුවේ මහජනතාවට පොලිසිය වැනි ආයතන වලින් සිදුවන පීඩාවන් පිටුදැකීම සඳහාත් මානව ගරුත්වය රැකෙන ආකාරයෙන් පොලිස් සේවය නියුතු සාමාජිකයන්ට සිය රාජකාරී කටයුතු කිරීම සඳහා බල කෙරෙන තෙරපීමක් සමාජයෙන් එන්න ඕන. උදාහරණයක් විදිහට අධිකරණ තුළ කමිසයේ උඩ බොත්තම නැතිව එන සාමාන්‍ය මිනිහෙක්ට පවා පොලිසිය පරිභව කරන අවස්ථාවන් කොයි තරම් තියනවද. ඒ නිසා පොලිස් පහරදීම්, වද හිංසා පමණක් නෙවෙයි සාමාන්‍ය ජනතාව කෙරෙහි ඔවුන් තුළ ඇති පසමිතුරු සහ පරපීඩක ආකල්ප වලට විරුද්ධව හඬ නගන සමාජයක් බිහිවෙන්න ඕන.
ඉතා අඩු පඩියකට බැරුක්ක වල දුෂ්කර තත්ත්වයන් යටතේ, ජේෂ්ඨ නිලධාරීන්ගේ අනේකවිධ පීඩාවන් විදිමින් රාජකාරි සිදු කරන්නට බල කෙරෙන තත්වයක් තුළ පොලිස් කොස්තාපල් වැනි කෙනෙකුගේ මානසික ආතතිය සාමාන්‍ය ජනතාව මතින් පිටවීම බොහෝ විට සිදුවන දෙයක්. ඒ නිසා පොලිස් සේවයේ සිටින අයට තමුන්ගේ සගයා කොන්දේසි විරහිතව නිවැරදි කිරීම වෙනුවට වඩා ගෞරවනීය ලෙස රැකියාව සිදු කළ හැකි ප්‍රමාණවත් වැටුප් හිමිවන , පහසුකම් හිමිවන ජ්‍යෙෂ්ඨයින්ගේ මෙහෙකරුවන් නොවන ගෞරවාන්විත රාජකාරියක් සිදු කළ හැකි, වෘත්තිය සමිති අයිතිවාසිකම් හිමි සේවයක් බවට සිය සේවය පත්කර ගැනීම සඳහා අරගලයක් තිබිය යුතුය.
අනෙක් අතට දශක ගණනාවක් පුරාවට සාමාන්‍ය ජනතාවගේ විතරක් නෙවෙයි අසාධාරණයට ලක් වූ පොලිස් සාමාජිකයන් වෙනුවෙන් පවා අඬ අවදි කරන ලද නීතිඥවරයෙකූ ලෙස ගුණරත්න වන්නිනායක මහතා හදුනාගන්න පුළුවන් . මේ සිද්ධියට අදාළව ඒ මහතාගේ හැසිරීම ව්‍යුක්තව ගන්න බැහැ. ඒ මොහොතේ ඔහු සිද්ධියට මුහුණ දුන්නු වින්දිතයෙක්. නීතිඥවරයෙකුගේ භූමිකාවකට වඩා ඒ මොහොතේ ඔහුගේ භාවිතාව වින්දිතයෙකුගේ ප්‍රතික්‍රියාවක් ලෙස තමයි හඳුනගන්න පුළුවන්.
අවසාන වශයෙන් ම බන්ධනාගාර ගතව සිටින කොස්තාපල්වරයාට ඇප ලබා ගැනීමට ඇති අයිතිය ඇතුළු සාමාන්‍ය සැකකරුවකුට හිමිවිය යුතු වරප්‍රසාද හිමිවිය යුතු අතර නීතිඥවරු ලෙස පීඩිත මිනිසුන් වෙනුවෙන් සිදු කරනු ලබන කාර්යභාරය තුල සමාජයෙන් අප වෙත පසමිතුරු ආකල්පයක් ගොඩනැගීම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් වන අතර එබඳු මතයක් ගොඩනැගී ඇත්නම් එය නිවැරදි කිරීමටද මෙවැනි සිද්ධි භාවිතා කරගත යුතුය.
