චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය ඇතුළු රටවල සමාගම් විස්සක්, සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීම සදහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන බවට “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කරනවා.
විදේශීය සමාගම් තෙල් පිරිපහදුව පුළුල් කිරීම සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇත්තේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ සම්බන්ධයෙන් ආයෝජකයන්ගෙන් ඉල්ලුම්පත්‍ර කැඳවූ අවස්ථාවේදීයි.
ඉල්ලුම්පත්‍ර කැඳවීමේ අවසන් දිනය පසුගිය සිකුරාදා අවසන් වූ බවට වාර්තා පළ කර ඇතැයි එහිදී සඳහන් වනවා.
අයැදුම්පත් ඉදිරිපත් කළ සමාගම් අතරේ, ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල සමාගම් 20 ක් ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ඩී. ඒ. රාජකරුණා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා තිබෙනවා.
“ඇමෙරිකාව, චීනය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල සමාගම් ලැයිස්තුවේ සිටිනවා. අප තවම ඇගැයීම් කටයුතු ආරම්භ කළේ නැහැ. එම කටයුතු ඉදිරියේ දී කඩිනමින් සිදුවේවි.” යනුවෙන් රාජකරුණා මහතා එහිදී අවධාරණය කළා.
සිවිල් යුද්ධය, කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය හේතුවෙන් විදෙස් ආයෝජන අඩපණ වී තිබුණත්, මේ වන විට රටේ ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, විදෙස් ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ ගොස් තිබීම සතුටට කරුණක් බවත් ඔහු පැවසීය.
සපුගස්කන්ද පිරිපහදුව දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව සඳහා අත්‍යවශ්‍ය සම්පතක් බවත් 2010 සහ 2022 වසරවලදී, පිරිපහදුව පුළුල් කිරීමේ සැලැසුම් සලකා බැලීම සිදුවුවත්, අභියෝග හේතුවෙන් කිසිවක් ක්‍රියාවට නොනැගුණු බව රාජකරුණා මහතා පැහැදිලි කර තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව, මෙරට විශාලතම සහ රජය සතු එකම ඛනිජ තෙල් පිරිපහදුව වන අතර, ඊට සහතික කළ දේශීය ඉල්ලුමක් ද පවතිනවා.
නැව්වලට ඉන්ධන සැපයීම, ගුවන් යානා ඉන්ධන සැපයීම, ලිහිසි තෙල් සහ රසායනික සැපයීම මේ හරහා සිදු කළ හැකියි.
මෙම ව්‍යාප්තියත් සමඟ, ශ්‍රී ලංකාව සිය පිරිපහදු ධාරිතාව දිනකට බැරල් 50,000 සිට බැරල් 100,000 දක්වා දෙගුණ කිරීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වනවා.
