අධිකරණ ස්වාධීනත්වය පැවතිය යුත්තේ ජනතාව වෙනුවෙන් බවත්, විනිසුරුවරුන්ට හිතුමතයට කටයුතු කිරීමට නොවන බවත්, නරක අධිකරණ පද්ධතියක් තුළින් රටක් විනාශ විය හැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසා තිබෙනවා.
අගවිනිසුරුවරයා මේ බව පැවසුවේ, ඊයේ (02) කොළඹ දී පැවති උත්සවයකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගවිනිසුරුවරයා මෙසේ පැවසුවා.
“පරමාධිපත්‍යයට ප්‍රධාන කොටස් හතරක් තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලයයි. එහිදී අප අයත් වන්නේ තුන්වැන්නටයි, එනම් ජනතාවගේ අධිකරණ බලයටයි. එබැවින් විනිසුරුවරයෙකු ලෙස ඔබ විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ කුමන බලයක්ද? ජනතාවගේ අධිකරණ බලයයි.
ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැත. අප ඔබට බලය ලබා දෙන්නේද නැහැ. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නෙවෙයි.
එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාවයි. ඒ කාගේ යහපත සඳහාද? ජනතාවගේ යහපත සඳහායි. එය සැමවිටම මතකයේ තබා ගත යුතුයි. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයද අයිති වන්නේ ජනතාවටයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘ස්වස්ති’ ලෙස හැඳින්වෙන පූර්විකාව තුළ මේ බව මනාව පැහැදිලි කර තිබෙනවා. එහි සඳහන් වන්නේ, ‘සියලු ජනතාවට නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය සහතික කරන බවයි. අධිකරණයේ ස්වාධීනත්වය යනු ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවල මෙන්ම, යුක්ති සහගත සහ නිදහස් සමාජයක් නිර්මාණය කිරීමේ හා සුරැකීමේ ප්‍රයත්නයට එම පරම්පරාවන් සමඟ එක්වන ලෝකයේ සියලු ජනතාවගේ ගෞරවය සහ යහපැවැත්ම සහතික කරන අස්පෘශ්‍ය උරුමයක් (intangible heritage)’ බවයි.
එසේනම් අධිකරණයේ ස්වාධීනත්වය පැමිණෙන්නේ කොහෙන්ද? ජනතාවගෙන්. එය පරම්පරාවෙන් පරම්පරාවට අස්පෘශ්‍ය උරුමයක් ලෙස හිමි වී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් කරන්නේ එයට සහාය වීම සඳහා රාමුවක් සැපයීම පමණයි. ජනතාවගේ එම අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට අධිකරණ සේවා කොමිෂන් සභාව මැදිහත් වන්නේ ඒ නිසයි. අයදුම්පත් කැඳවීම, විභාග පැවැත්වීම, දැඩි පරීක්ෂණ ක්‍රියාවලියකට ඔබව ලක් කිරීම, තෝරා ගැනීම සහ අවසානයේ පුහුණු කර විවිධ ස්ථාන වෙත අනුයුක්ත කරමින් නිරන්තරයෙන් අධීක්ෂණය කරන්නේ ඒ අරමුණෙන්.
අධිකරණයේ ස්වාධීනත්වය ඔබ තුළ සුරැකිය යුත්තේ ජනතාව වෙනුවෙන්, ඔබ කේන්ද්‍ර කරගත් ඔබේම පටු ප්‍රයෝජනය සඳහා පමණක් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නෙවෙයි.
සමහර අය සිතනවා, “මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි. අධිකරණයේ ස්වාධීනත්වය කියලා දෙයක් තියෙනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්” කියා. නැහැ, ඔබේ කාර්යය කොතරම් දුෂ්කරද කියා බලන්න.
අනෙක් අතට, ජනතාව මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ විශ්වාසය තබා තිබෙන්නේ අධිකරණයට මුදල් තිබෙන නිසා හෝ බලය තිබෙන නිසා නොවෙයි. තම ආරවුල් සාධාරණ ලෙස අධිකරණය මඟින් විසඳනු ඇතැයි යන හැඟීම සහ විශ්වාසය ජනතාව තුළ තිබෙන නිසයි. ඒ අපේක්ෂාව පෙරදැරිවයි ජනතාව පද්ධතිය කෙරෙහි විශ්වාසය තබා ඇත්තේ. රට පුරා විසිරී ඇති අධිකරණ පවත්වාගෙන යාම සඳහා අපට නිපුණතාවයෙන් යුත් පුද්ගලයින් අවශ්‍ය වන්නේ ඒ නිසයි.
රටක් විනාශ වී යා හැක්කේ ස්වභාවික විපත්වලින් පමණක් නොවේ. නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකියි.
නරක අධිකරණ පද්ධතියක් ඉතා කෙටි කාලයකින් රටක් විනාශ කර දමනු ඇති. එය එසේ වුවහොත්, කිසිදු ජාත්‍යන්තර ආධාරකරුවෙකුට හෝ ජාත්‍යන්තර උපකාරයකට මේ රට නැවත ගොඩනැගීමට බැරිවේවි.”
