හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (ජුලි 02) අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂව නියමිත සුදුසුකම් අඩුකර නාවික හමුදාවට බඳවා ගැනීම හා ඉන්පසු විදේශ පුහුණුවීම් ලබාදීම පිළිබඳව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදීය.
එම විමර්ශනය සම්බන්ධයෙන් මීට පෙර වසන්ත කරන්නාගොඩගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණ අතර යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන අත්අඩංගුවට ගත්තේ ඉන්පසුය.
මීට අදාළ යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, 1995 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ නිලධාරීන් පස් දෙනෙකු ශිෂ්‍යත්ව ක්‍රමවේදය යටතේ මෙම පාඨමාලාව සඳහා යවා ඇති නමුත් මෙම සැකකරු සහභාගි වූ පාඨමාලාව වෙනුවෙන් පමණක් රුපියල් 6,284,218.61ක අධික මුදලක් රජයෙන් වැය කර ඇති බවත් සැකකරුගේ මෙම ක්‍රියාව හේතුවෙන් රජයට එකී සම්පූර්ණ මුදලම පාඩු වී ඇති බවයි.
යෝෂිත රාජපක්ෂගෙන් ලබාගත් ප්‍රකාශය අනුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නැවත ප්‍රකාශයක් ලබාදීමට එන ලෙස අල්ලස් හෝ දූෂණ චොද්නා විමර්ශන කොමිසම අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණ අතර ඔහු එය මඟහැර තිබුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
