මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනිමෙන් පසු රනිල් වික්‍රමසිංහ විසින් කළායැයි කතාවක් ද ලීඩර් වෙබ් අඩවියේ වාර්තා කර තිබුණි.
එම ප්‍රවෘත්තියෙන් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විජයදාස රාජපක්ෂගේ සුවදුක් විමසීමට ගොස් හරක් කටාගේ සිදුවීම සම්බන්ධයෙන් විජයදාසව නිදොස් කරමින් අදහස් දැක්වූ බවයි. එම වාර්තාවේ මෙසේ සඳහන් විය.
“එදා ආරක්ෂක ඇමති විදිහට මමයි ඒක අත්සන් කළේ. පොලිස්පතිගෙන් ඉල්ලීමක් ආවාම ආරක්ෂක ලේකම් ඒක බලලා මට එවනවා. මගේ ඔෆිස් එකේ නිලධාරීන් අඩුපාඩු බලලා දුන්නාම මම අත්සන් කරලා ආපහු යැව්වා. මේ ක්‍රියාවලියට විජයදාසටවත් වෙන කාටවත් ඇඟිලි ගහන්න කිසිම ඉඩක් නෑ,” යනුවෙන් රනිල් වික්‍රමසිංහ පැවසීය.
එමෙන්ම, සැකකරුට ආරක්ෂාව සපයන ලෙස විජයදාස රාජපක්ෂ පොලිසියෙන් ඉල්ලා සිටීම මානව හිමිකම් කඩවීම් වළක්වා ගැනීමට කළ යුතුකමක් මිස වරදක් නොවන බව රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දුන් බවත්, මෙය හුදෙක් විජයදාස රාජපක්ෂට එරෙහිව දියත් වන මඩ ප්‍රහාරයක් බවත් අදාළ පුවතේ සඳහන් කර තිබුණි.
විජයදාස වෙනුවෙන් රනිල් බොරු කිව්වාද?
‘ද ලීඩර්’ වෙබ් අඩවියේ පළ වූ මෙම ප්‍රවෘත්තිය සීයට සීයක් ඇත්ත නොවේ.
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබා ගත්තේ හරක් කටාගේ රැඳවුම් නියෝග ඉවත් කර, ඔහුව වෙනත් පහසුකම් සහිත බන්ධනාගාරයකට මාරු කිරීමේ පොරොන්දුව මතය. මෙම ගනුදෙනුව බිඳ වැටී අල්ලස් දුන් පාර්ශවය කෝපයට පත්වන්නේ ඔවුනට පොරොන්දු වූ පරිදි DO එක ඉවත් කිරීමට නොහැකි වීම නිසාය.
රනිල් වික්‍රමසිංහ පවසන පරිදි, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 9(1) වගන්තිය යටතේ දින 90න් 90ට දික්වූ මූලික රැඳවුම් නියෝග සඳහා එවකට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔහු අත්සන් තබා ඇති බව සත්‍යයකි. ඔහු 2023 මාර්තු සිට රැදවුම් නියෝග හතරක් අත්සන් කර ඇත.
එහෙත්, 2024 මාර්තු 11 වන දින, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15අ (1) වගන්තිය යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, කොළඹ මහාධිකරණයේ අංක 4834/2024 දරන නඩු විභාගය අවසන් වන තෙක්, තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ (TID) රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගැනීමට නියෝග කෙරිණි.
මෙම නියෝගයට අත්සන් තැබීමට බලය ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය. ඒ අනුව එය අත්සන් කර ඇත්තේ විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න විසිනි.
එබැවින්, හරක් කටා නඩු විභාගය අවසන් වන තුරුම සිරගත කර තැබීමේ තීරණාත්මක නියෝගය නිකුත් කර ඇත්තේ කමල් ගුණරත්න මිස රනිල් වික්‍රමසිංහ නොවේ.
අධිකරණය හමුවේ හෙළි වී ඇති පරිදි, රඛිත රාජපක්ෂලා විසින් කෝටි 12ක් ලබාගෙන ඇත්තේ ඩී.ඕ (DO) ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙනි. එය ඉටු කිරීමට නොහැකි වීම නිසා කෝපයට පත් පාතාල පාර්ශවය තම මුදල් යළි ඉල්ලා බලපෑම් කළ බව අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කර ඇත.
මෙවැනි රැදවුම් නියෝගයක් රනිල් වික්‍රමසිංහ කියන ආකාරයටම පොලිසිය හෝ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරයි. ඔවුන් අත්සන් තබන්නේ තමන්ට ඉදිරිපත් කළ රැදවුම් නියෝගවලටය. එහෙත් ඒවා අත්සන් තැබීමේදී විවිධාකාර අරමුණු තිබිය හැක. උදාහරණයක් ලෙස ඔය රනිල් වික්‍රමසිංහම වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනාව කිසිදු පදනමක් නැතිව රදවා තැබීමට නියෝගවලට අත්සන් තැබීය. එවැනි පසුබිමක රැදවුම් නියෝග ගැසීම මෙන්ම ඉවත් කිරිමත් අතිශය දේශපාලනික ක්‍රියාවකි. හරක් කටා වැනි අය නොව, කිසිදු අපරාධයකට සම්බන්ධ නැති නිර්දෝෂී පුද්ගලයනුත් රනිල් වික්‍රමසිංහගේම රැදවුම් නියෝගවලින් රදවා තබාගෙන සිට පසුව කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කර තිබේ.
තත්ත්වය මෙසේ තිබියදී, හිටපු ජනාධිපතිවරයා යොදාගනිමින් “සියලු ඩී.ඕ අත්සන් කළේ මමයි, විජයදාස නිවැරදියි” යනුවෙන් සමාජගත කිරීමට උත්සාහ කිරීම, හුදෙක්ම මෙම බරපතළ කප්පම් නඩුවෙන් විජයදාස රාජපක්ෂ සහ ඔහුගේ පුත්‍රයාව ගලවා ගැනීම සඳහා දියත් කළ මාධ්‍ය මෙහෙයුමකි.
