රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිලට වඩා අඩු මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට හැකි වන පරිදි පවතින අණපනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නි රිට්ටු ග්‍රාමයේ පිහිටි නීරාව ඌට්ටුකුලම් වැව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 1 දා පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව අවධාරණය කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, දැනට පවතින යල් කන්නයේ අස්වැන්න නෙළීමේ කටයුතු ප්‍රදේශ කිහිපයකම ආරම්භ වී ඇති බව පෙන්වා දුන් අතර, ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 130ක් සහ කිරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් ලෙස රජය නියම කර ඇති නවතම සහතික මිල ගණන් ද සිහිපත් කළේය. රටේ පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් වෙත විශේෂ දැනුම්දීමක් කරමින් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, රජය ප්‍රකාශයට පත් කර ඇති මෙම සහතික මිල ගණන්වලට වඩා අඩු මිලකට කිසිම අයුරකින් ගොවීන්ගෙන් වී මිලදී නොගත යුතු බවයි.
ඇමැති ලාල්කාන්ත මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙතෙක් කාලයක් රජය විසින් සිදු කළේ ඉදිරියේදී රජයේ මිලට වඩා අඩුවෙන් වී මිලදී ගන්නා පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගත හැකි වන පරිදි වී අලෙවි මණ්ඩල පනත ඇතුළු අවශ්‍ය අනෙකුත් අණපනත් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ගොවියා සුරක්ෂිත වන අයුරින් වඩාත් වාසිදායක ලෙස මෙම නීති රීති සකස් කිරීමට තමන් ඇතුළු රජය සූදානම් බව ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රජයේ සහතික මිල නිසි පරිදි නොලැබීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අනුරාධපුරය පොලොන්නරුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගොවීන් වී අලෙවි කරගත නොහැකිව දැඩි අර්බුධයකට මුහුණ දී පාරට බහිමින් සිටින පසුබිමක, ඇමැතිවරයා මෙලෙස ප්‍රකාශ නිකුත් කරමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණේ බලය නොමැති කාල වකවානුවලදී ගොවි ජනතාව මුහුණ දෙන පොහොර අර්බුදය, වී මිල, සහ ණය බර වැනි පොදු ගැටලු සම්බන්ධයෙන් සටන් කළ නාමල් කරුණාරත්න වැනි පුද්ගලයන්ට බලය ලැබුණු විට ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසඳීමට නොහැකි වීම රජය මුහුණ පා ඇති පැහැදිලි අර්බුධයකි.
